ජා-ඇළ දඬුගම නීති විරෝධී ඉඩම් ගොඩකිරීම් ජනපති නවත්වයි | දිනමිණ

ජා-ඇළ දඬුගම නීති විරෝධී ඉඩම් ගොඩකිරීම් ජනපති නවත්වයි

 ජා-ඇළ දඬුගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදී නීතිවිරෝධී අයුරින් මහා පරිමාණ ලෙස සිදු කෙරුණු ඉඩම් ගොඩකිරීම් දෙකක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි වහාම නවතා දැමීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම ඉඩම් ගොඩකිරීම් පිළිබඳ ප්‍රදේශවාසීන් විසින් ඊයේ (04) ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව අදාළ පාර්ශ්ව සමග වහාම එම ස්ථානයට ගොස් විමර්ශන කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වෙත උපදෙස් ලබාදෙනු ලැබීය.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන් ජා - ඇළ පොලිසිය සමග අද එම ස්ථාන වෙත ගොස් විමර්ශන කටයුතු ආරම්භ කළ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම අනවසර ඉඩම් ගොඩකිරීම් වහාම නවතා දැමීමට පියවර ගන්නා ලදී.

මුතුරාජවෙල කඩොලාන පාරිසරික පද්ධතියට හානි පමුණුවමින් විශාල භූමි භාගයක සිදු කෙරුණු මෙම අනවසර පහත් බිම් ගොඩකිරීම් කළ පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. පරිසරයට සහ ජෛව විවිධත්වයට හානිවන අයුරින් සිදුකෙරෙන මෙම අනවසර ඉඩම් ගොඩකිරීම්වලට එරෙහිව පවතින නීති - රීති යටතේ උපරිම දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයා ‍මීට පෙර ද උපදෙස් ලබා දී තිබේ.

නව අදහස දක්වන්න