අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රාශියක් | දිනමිණ

අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රාශියක්

සිතාරා සේනානි
නිරෝෂ් බටේපොල
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් දරුවන් වෙත පෙළ පොත් කට්ටල පිරිනැමූ අවස්ථාව. විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් රාශියක් මේ වසරේ සිදුකෙරෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව පාසල් අධ්‍යාපනයට අදාළව ප්‍රතිසංස්කරණ රාශියක් මේ වසරේ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමටත්, වසර 13 ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමටත්, සෑම පාසල් සිසුවකුට ම සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමටත්, අ.පො.ස. උසස් පෙළ හදාරන සියලු සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමටත්, එම ටැබ් පරිගණකවලට අවශ්‍ය විෂය නිර්දේශ හා ඉගෙනුම් පහසුකම් ඇතුළත් කිරීමටත් මේ වනවිට කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කරයි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ඊයේ (5) පැවති 2017 වසර සඳහා පෙළපොත් බෙදා දීමේ ජාතික මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එමෙන්ම අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වසරේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා ලෙස තමා විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට උපදෙස් ලබා දුන් බවත් ඇමැතිවරයා මෙහිදී සඳහන් ක‍ළේය.

2017 වසර සඳහා රජයේ පාසල්වල පළමු වසරට ළමයින් ඇතුළත් කිරීම සාධාරණව සිදු කිරීමට තමන් පියවර ගත් බවද, එහිදී චක්‍රලේඛ අනුව කටයුතු නොකරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව ද කී ඇමැතිවරයා, දේශපාලන සම්බන්ධතා හෝ හිතවත්කම් මත කිසිවකුට විශේෂත්වයක් නොදක්වන බව ද අවධාරණය කළේය.

රට පුරා පාසල්වල ඉගෙනුම ලබන හතළිස් තුන් ලක්ෂකට අධික පාසල් සිසුන් වෙනුවෙන් මෙවර පෙළපොත් මිලියන 42ක් මුද්‍රණය කර ඇති අතර, ‍පෙළපොත් වර්ග 410ක් එයට ඇතුළත් ය. පාසල් පෙළ පොත් මුද්‍රණය, බෙදාහැරීම ඇතුළු කටයුතු සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5,415 කි. 2017 වසර වෙනුවෙන් දෙවැනි ශ්‍රේණිය සහ 8 වැනි ශ්‍රේණිවලට මෙවර නව විෂය නිර්දේශ හඳුන්වා දී ඇති අතර, ඊට අදාළව අලුත් ම පෙළ පොත් වර්ග 53ක් ද මේ වනවිට සියලු පාසල් වෙත නිකුත් කර අවසන් ය.

ඉදිරියේ දී තෝරාගත් විෂයයන් කිහිපයක් සඳහා ඉලෙක්ට්‍රොනික් පෙළ පොත් සකස් කිරීමට ද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති අතර, එහි ආරම්භක පියවරක් වශයෙන් අ.පො.ස උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව යටතේ මෝටර් කාර්මික විද්‍යාව සහ ජෛව රසායන විද්‍යාව විෂයයන්ට අදාළව සිංහල සහ දෙමළ මාධ්‍යයෙනුත්, 11 ශ්‍රේණියේ විද්‍යාව විෂයට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙනුත් ඊ පෙළපොත් ලබාදීමට කටයුතු සැලසුම් කර තිබේ.

එමෙන් ම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන සියලු පෙළ පොත්වල මෘදු පිටපත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමේ හැකියාව ද සලසා දී ති‍බේ.

මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා- අද පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් වන දරුවාට තමන්ගේ අධ්‍යාපනය අවසන් කරන විට ඇතුළත් වීමට තිබෙන රැකියාවල ස්වභාවය අද තිබෙන රැකියාවලට වඩා බොහෝ ලෙසින් වෙනස්වී තිබේවි. එදාට දැන් තිබෙන රැකියා බොහෝ ගණනක් නැතිවී ගොස් අලුතින් ම රැකියා නිර්මාණයවී තිබේවි. නවීන තාක්ෂණයේ ශිඝ්‍ර වෙනස්වීම එවැනි වෙනසක් ඇතිවීමට හේතුවයි. මේ වෙනසට ගැලපෙන පරිදි අපේ අධ්‍යාපනයත්, අපේ පෙළ පොතත් වෙනස් විය යුතුයි. ඉංග්‍රීසි විෂය සම්බන්ධයෙන් අප තවදුරටත් සිතා බැලිය යුතුයි. අපේ දරුවන්ගේ අධ්‍යාපනය ඉංග්‍රීසි බසින් කරන්න පුළුවන් නම් එය අපේ අධ්‍යාපනයේ දැවැන්ත ඉදිරි පිම්මක් බවට පත්වේවි.

අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න