මොරටුවේ කුණු එකතු කරන මහත්වරුන්ට උපහාර | දිනමිණ

මොරටුවේ කුණු එකතු කරන මහත්වරුන්ට උපහාර

මොරටුව ලුනාවේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය ජනවාරි 01 වැනිදා සවස සුදුවතින් හා සාදුකාර නාදයෙන් ඇලලී ගියේ විශේෂ පින්කමක් උදෙසාය. සැබවින් එය පින්කමක් වූ උපහාර උළෙලක්ය. උපහාර ලබනු ලැබුයේ මොරටුව මහ නගර සභාවේ සේවය කරන පවිත්‍රතා (සෞඛ්‍ය) අංශයේ සේවක පිරිසයි.

මොරටුව නගරය තුළ කුණු කසළ එකතු කරන සේවක මහතුන් 125 දෙනෙකු හට මෙසේ උපහාර උළෙලක් පවත්වා ප්‍රණාමය පුද කරේ ලුනාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් ඇතුළු විහාරස්ථානයේ දායක සභාව හා උපස්ථායක සභාවයි.

මහාචර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන්ගේඋපදේශකත්වයෙන් හා මගපෙන්වීම යටතේ සංවිධානය කළ මෙම උපහාර උළෙල ඉතාමත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබු අතර උපහාර ලැබූ පවිත්‍රතා කම්කරුවන් විහාරස්ථානය අභියසදී නෙලුම් මලක් දීමෙන් පිළිගන්නා ලදී. ඉන්පසු ආගමික වතාවත් වල යෙදීමෙන් අනතුරුව පැමිණ සිටි මහා සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කොට එම සේවකයන් අත පිරිත් නුල් බඳින ලදී. ඔවුන්ගේ සේවය අගයා සහතික පත්‍රයක්ද මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් විසින් ලබාදෙන ලදී. සතියකට සරිලන සේ සෑදු වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් මල්ලක්ද සේවකයන්ට ලබාදුන් අතර එම වියළි ආහාර මලු ලබාදෙන ලද්දේ විහාරස්ථානයේ දායක දායිකා පින්වතුන් විසිනි. ඉන්පසු එදින රාත්‍රී ආහාරයද එම සේවක මහතුන් වෙනුවෙන් පිළියෙළ කර තිබිණි.

මෙහිදී අනුශාසනාවක් කරමින් මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණෝ මෙසේ සඳහන් කළේය. ඔබලා තමයි මේ මොරටුව නගරය සුවඳවත් කරන්නේ අපේ කුණු එකතු කරලා බැහැර කරේ නැත්නම් මුළු නගරයම ගඳ ගහයි. නිවාස වල පමණක් නොවේ පන්සලේ,පල්ලියේ පවා කුණු ඉවත්කරන්නේ ඔබලායි. ඒ නිසා ඔබ කරන්නේ රාජකාරියකට වඩා උතුම් දෙයක්. ඔබලාව පිළිගැනීම සඳහා නෙලුම් මලක් ලබා දුන්නේ ඔබලා මලක් වගේ නිසයි. ඔබලා තමයි අපේ නගරයේ ඉහළම ශ්‍රේණියේ මිනිසුන් ඔබලා තමයි අපගේ හිතවත්ම පිරිස. ඔබලාගේ මෙහෙවර විස්තර කරන්න මට වචන මදි.

මෙම උපහාර උත්සවය සඳහා මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා , මොරටුව මහ නගර සභා නිලධාරී මහතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියේය. ජනවාරි 01 වන දින මෙවන් සිත් පහන් වූ උළෙලකට සහභාගීවීම පිළිබඳව පැමිණ සිටි සියලු දෙනාම මහත් වූ සතුටක් විඳ ගත්හ.

රාවතාවත්ත සමුහ
රෝහණ ද සිල්වා 

නව අදහස දක්වන්න