කලා ශිල්පීන්ගේ බුද්ධිමය දේපළ මංකොල්ලකරුවන්ට නීතිය තදින් | දිනමිණ

කලා ශිල්පීන්ගේ බුද්ධිමය දේපළ මංකොල්ලකරුවන්ට නීතිය තදින්

නිරුෂි විමලවීර
ඡායාරූප සුදත් මලවීර

* මේ වසර විප්ලවීය වර්ෂයක්.... 
* ජනතා කැමැත්තෙන් හැදූ ආණ්ඩුව පෙරළන්න, කුමන්ත්‍රණ කරන්න ඉඩක් නැහැ. මා ඊට ඉඩ තබන්නේත් නෑ.
* ආණ්ඩුව පෙරළන්න දවල් සිහින දකින අයට මම බොහොම පැහැදිළිව කියනවා: 2020ට මෙහා අලුත් ආණ්ඩු හදන්න බැහැ
* අපේ ආණ්ඩුවට රහස් නෑ: රටට ගැලැපෙන ගිවිසුම් විදේශ සමඟ අත්සන් කරනවා

ශ්‍රී ලාංකික සමාජයට දැනුම, අවබෝධය ශාස්ත්‍රීය ඥානය ඇතුළු විශිෂ්ට සේවාවක්, යුග මෙහෙවරක් ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව පසුගිය දශක කිහිපයේ ලබා දුන්නා. ඒ කාලේ ඡන්ද ප්‍රතිළුල හොඳට එන උදේ වෙලාවට දිනන අයට ගුවන් විදුලිය නොඇසී කුරු කුරු ගාන වෙලාවට ජනතාවගේ මුවින් පිටවන වචන මෙතැන කියන්න බැහැ.

අපේ රටේ කලාකරුවන් පිරිසක් පසුගිය දිනක මා හමුවීමට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔවුන් මෙසේ කීවා ජනාධිපතිතුමනි දුෂණ, වංචා, මංකොල්ලෑකෑම් ගැන මාධ්‍ය කතා කරනවා. නමුත් උදේ සිට රටේ ලෝකයේ මංකොල්ලෑ කෑම් ගැන කතා කරන මේ මාධ්‍ය මේ රටේ කලා ශිල්පීන්ගේ බුද්ධිමය දේපළ මංකොල්ලා කනවා. රටේ මංකොල්ල ගැන කතා කරන මාධ්‍යවේදීන් හා ඔවුන්ගේ ප්‍රධානීන් සිදුකරන ලොකුම මංකොල්ලය ගැන කවුරුත් කතා කරන්නේ නෑ. කලා ශිල්පීන්ගේ බුද්ධිමය දේපළ සොරා කෑම මේ ලොකුම මංකොල්ලය යැයිද“ ඔවුමේ කලාකරුවන් මට පැමිණිලි කළා.

විවිධ ක්ෂේත්‍රවල කලාශිල්පීන් වයස්ගතවූ විට ජීවිතය ගෙන යන්නේ කෙතරම් අසීරුතා මධ්‍ය යේද කියා අප දන්නා කරුණක්. තම හ‍ඬේ , ගතේ වාරු ඇතිදා දැක්වූ දස්කම් වෙනුවෙන් වාරු නැතිදා රසාඥතාව, ගුණාත්මක බව ගැබ්වු බුද්ධිමය දේපළ පිළිබඳව මේ රටේ තිබෙන නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එසේම නීතියේ අඩුපාඩු තිබෙනවා. රාජ්‍ය අංශයේ යම් ප්‍රමාණයක්ද මීට හවුල්. පෞද්ගලික අංශයද ඉතාම ඉහළ ලෙස බුද්ධිමය දේපළ මංකොල්ලයේ සිටිනවා.

හොඳ ගායකයෙකුගේ ගීතයක් වෙනුවෙන් තුටු පඬුරක් ලෙස හෝ යම් මුදලක් නොගෙවා මංකොල්ලය සිදු කරනවා. ගුවන්විදුලියට පනස් වසරක් සපිරෙන අවස්ථාවක. මෙහි ගුණාත්මක බව පිළිබඳ ශාස්ත්‍රාඥයන්, පඬිවරු, ශිල්පීන් ශිල්පිණියන්, එම ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ට බුද්ධිමය දේපළ මංකොල්ලයට එරෙහි වීමට අවශ්‍ය නීති වහ වහා ශක්තිමත් කිරීම රජයක් ලෙස අප කළ යුතුයි. තිබෙන පනතේ අඩුපාඩු තිබේ නම් නව නීති කඩිනමින් ගෙන ආ යුතු බව මම කියා සිටිනවා. අද වැනි දිනක එවැනි උතුම් ක්‍රියාවකට ආරම්භය සනිටුහන් කිරීම සුදුසු බව මගේ අදහසයි. රටේ සියලු මාධ්‍ය ආයතනවලට හා මාධ්‍ය නොවන ආයතන වලට බුද්ධිමය දේපළ පිළිබඳ අවධානය යොමු කරන ලෙස දැනුම් දීමේ හැකියාව ජනමාධ්‍ය අමාත්‍යාංශයට තිබෙනවා. මෙහි නීතිය,චක්‍ර ලේඛණවල තත්ත්වය කෙසේවුවද මනුෂ්‍යත්වය තුළ කටයුතු කරන ලෙස දැනුම් දෙන්නැයි ජනමාධ්‍ය ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයා සිටින මෙම අවස්ථාවේදී මම කියා සිටිනවා.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ ශ්‍රිලංකා ගුවන් විදුලි සංස්ථාවේ විජය කුමාරතුංග ශ්‍රවණාගාරයේදි පෙරේදා(05) සන්ධ්‍යාවේදි පැවැති එහි පනස්වැනි සංවත්සර උළෙලට එක්වෙමිනි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා වසර පනහක් පිරීම, අලූතින් ඉදිකළ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ප්‍රතිසංස්කරණය කරන ලද මැදිරි සංකීර්ණය විවෘත කිරීමද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ එහි සභාපතිවරයා විසින් ගුවන් විදුලි සංස්ථා භූමියට සම්ප්‍රාප්ත වූ ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගන්නා ලදී .

ජනාධිපතිතුමා නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම සංකේතවත් කරමින් සමරු ඵලකය නිරාවරණය කළ අතර ගුවන් විදුලි සංස්ථා නව පරිපාලන ගොඩනැගිල්ල හා ප්‍රතිසංස්කරණය කළ මැදිරි සංකීර්ණය ද විවෘත කළේය. අනතුරුව නව මැදිරි සංකීර්ණය ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා වසර පනහක් සපිරීම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හෂීම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද සඳහන් කළේය.

අද නව ගොඩනැගිල්ල විවෘත කර පැරැණි ගොඩනැගිල්ල අභියසට පැමිණෙන අවස්ථාවේදී 1967 ජනවාරි 05 වෙනිදා ගුවන්විදුලි සේවය සංස්ථාවක් බවට පත් කිරීමට අදාළ සමරු ළුලකය මට පෙන්වූවා.

ගුවන් විදුලි සංස්ථාවේ ඉතිහාසය සමඟින් මගේ සිත අතීතයට ඇදී ගියා. එනම් ඩඩ්ලි සේනානායක මහතා මා මුලින් දුටු දිනය පිළිබඳවයි. වසර 1965 දී පමණ මහමැතිවරණයක් පැවැති අවස්ථාවේදී ඩඩ්ලි සේනානායක මහතා පොළොන්නරුවට පැමිණි අවස්ථාව මගේ මතකයට නැගුණා. එවකට අවුරුදු දහහතරක කුඩා දරුවෙකු ලෙස කොට කලිසමින් සැරසී මම එතුමා බලන්න ගියා. සේනානායක මහතා මෝටර් රථයෙන් බැස කැමරාවක් කරා දමාගෙන සිනහවක් දක්වා වේදිකාවට නැඟී සිටි අයුරු මට අදටත් මැවී පෙනෙනවා.

මේ රටේ ශ්‍රේෂ්ඨ ජනනායකයෙක් වසර පනහකට පෙරාතුව ආරම්භ කළ ගුවන් විදුලි සංස්ථාවේ ගමන් මඟ ඉතා විශිෂ්ටයි. ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඉතිහාසය ගැන කතා කිරීමේදී අමතක නොවන සිදුවීම් මෙන්ම ශ්‍රීලාංකික සමාජයට දැනුම, අවබෝධය ශාස්ත්‍රීය ඥානය ඇතුළු විශිෂ්ට සේවාවක්, යුග මෙහෙවරක් ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව පසුගිය දශක කිහිපයේ ලබා දුන්නා.

පනහ, හැටේ දශකයේ මැතිවරණ සමයේ රෑ එළි වෙන තෙක් ජනතාව මැතිවරණ ප්‍රතිළුල අසා සිටියේ ගුවන් විදුලියෙන්. එවකට රූපවාහිනී, පරිගණක, ජංගම දුරකථන තිබුණේ නැහැ. ගමකට නිවාස එකකට දෙකකට පමණ එවකට ගුවන් විදුලියක් තිබුණා. කොළඹින් ඈත තිබෙන ගම්වලට ගුවන් විදුලිය පාන්දර වෙද්දී ඇසෙන්නේ නැතිව යනවා. ඒ කාලේ ඡන්ද ප්‍රතිළුල හොඳට එන වෙලාවට දිනන අයට ගුවන් විදුලිය නොඇසී කුරු කුරු ගාන වෙලාවට ජනතාවගේ මුවින් පිටවන වචන මෙතැන කියන්න බැහැ.

තිරසර සංවර්ධන ජාතික වැඩපිළිවෙළ මා මීට දින කිහිපයකට පෙරාතුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී එළි දැක්වූවා. 2017 අවුරුද්ද වන විට වසර දෙකක්වූ අපේ ආණ්ඩුවේ සංවර්ධනයේ පරීවර්ථනීය වසරක්. මේ වසර විප්ලවීය වර්ෂයක්. අප සැලසුම් කළ ප්‍රතිපත්තිය සකස්කළ දේ ක්‍රියාත්මක කරමින් දේශිය විදේශීය උගතුන් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයනගේ, සම්පත් සහ ඥානය දැනුම ලබා ගනිමින්රට සංවර්ධනය කරනවා.

මේ දිනවල ආණ්ඩුව පිළිබඳ බොහෝ විවේචන අපට ඇසෙනවා. සමහර අය කියනවා 2017 මේ ආණ්ඩුව පෙරළන බවත් මේ ආණ්ඩුව හොල්ලන බවත් ඇතැමෙක් පවසනවා. අප ආණ්ඩුවක් ලෙස මේ වසරේ අධිෂ්ඨානශීලිව රට ගොඩනැගීමට පරිත්‍යාගශීලිව ඉදිරියට යන බව කියා සිටින විට මේ ගමන වැරදි බවට බොහෝ විවේචන කරනවා. ආණ්ඩුව පෙරළන කතා කියා සිටිනවා. . ජනතා කැමැත්තෙන් හැදූ ආණ්ඩුව පෙරළන්න , කුමන්ත්‍රණ කරන්න ඉඩක් නැහැ. මා ඊට ඉඩ තබන්නේත් නැතැයි ඒ අයුරින් සිහින දකින අයට මම බොහොම පැහැදිළිව කියනවා.2020 මෙහා අලුත් ආණ්ඩු හදන්න බැහැ.

මොන දේශපාලන පක්ෂය හෝ බලයට පත්වූ විට ආණ්ඩුවක් කරගෙන යෑමට ඉඩ තිබිය යුතුයි. ඊට අවශ්‍ය සහාය දිය යුතුයි. බලයේ සිටින ආණ්ඩුව නැවත පත් කර ගැනීම හෝ අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීමේ හැකියාව ජාතික මැතිවරණයකදී ජනතාවට හිමි වෙනවා. එක් එක් අයගේ ඔලුවේ තිබෙන නොයෙක් විෂවලට විස අදහස් පටු අදහස් බලය පිළිබඳ කෑදරකම් වලට, බලය වැරදිලෙස භාවිතා කර එහි රසය වැරදි ලෙස පරිභෝජනය කළ අයට නැවත බලය වැරදි ලෙස නැවත භාවිතා කරන්න ඉඩක් නැහැ.

හම්බන්තොට වරාය කර්මාන්තපුරය පිළිබඳව මහා උත්ඝෝෂණයක් යනවා. ත්‍රෛයනිකායික මහා නායක හිමිවරු හමු වී ඉතාවැරදි අදහස් ඉදිරිපත් කර තිබෙනවා. මාධ්‍ය ඔස්සේ වැරදි විග්‍රහයන් කර තිබෙනවා. මීට වසර දෙකකට පෙරාතුව රටේ ප්‍රධාන මහජන සේවකයා ලෙස ජනතාව මාව තෝරා ගත්තේ විශාල විශ්වාසයක් ඇතිවයි. එම විශ්වාසය මාතෘභූමිය සහ ජනතාව වෙනුවෙන් මම කිසිඳු විටක කඩ කරන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ.

හම්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය සම්බන්ධයෙන් ගිවිසුමක් මෙතෙක් හදා නැහැ. තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර එහි වාර්තාව මෙතෙක් හදා නැහැ. අමාත්‍යාංශ ලේකම්වරුන් තිදෙනෙකුගේ කමිටුවේ වාර්තාව මෙතෙක් එළි දක්වා නැහැ. හත්වැනිදා ගිවිසුමක් අත්සන් කරන බවට සාවද්‍ය ප්‍රචාරයක් යනවා. එසේ අත්සන් කරන්න ගිවිසුමක් මෙතෙක් හදා නැහැ. එවැනි එකගතා රටට ගැලපෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැලපෙන අයුරින් සකස් කරනවා. වෙනත් රාජ්‍ය සමගින් ගිවිසුම් අත්සන් කරන්න මම කැප වී සිටිනවා. අපේ ආණ්ඩුව තුළ කාර්ය කිරීමේදී කිසිම තැනකදී රහස් නැහැ. රහස් නැඅපේ මාතෘභූමියට ගැලපෙන අයුරින් රටේ ආරක්ෂාව භාරකාරිත්වය සියල්ල සුරැකෙන අයුරින් විදේශ ති ආණ්ඩුවක් ලෙස රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා. අප කටයුතු කරන්නේ ඉහළ විවෘත බවකින්. මෙම නව ගිවිසුම රටේ ව්‍යවස්ථාවට, රටට ගැලපෙන, රටේ ගෞරවය සුරැකෙන ලෙස සකස් කිරීමට මම උපදෙස් දී තිබෙනවා.

එම ගිවිසුම නීතිපතිවරයාට, ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි එකඟතාට, අත්සන් කිරිම සඳහා යොමු කරන්නේ කියා කිව යුතුයි. රට පිළිබඳ වගකීමක් යුතුකමක් ඇති සෑම කෙනෙකුම නව ලෝකයේ නව තාක්ෂණය සමඟින් මේ තත්ත්වය තේරුම් ගත යුතුයි. අප විශාල ණය බරකින්, විශාල ආර්ථික අර්බුදයකින් සිටින බව අප පිළිගත යුතුයි. එය රහසක් නොවෙයි. එයින් ගොඩ ඒමට නව දේශීය කර්මාන්ත ආරම්භ කිරිමට කටයුතු කළ යුතුයි. නව ලෝකයේ නව දැනුම අවශ්‍යයි. ඊට මිත්‍ර රාජ්‍ය වල සහාය අවශ්‍යයි. අපේ රට සමඟ සියලු රාජ්‍ය මිත්‍රයි. ලෝකයේ සියලු රටවල දැනුම අප ලබා ගත යුතුයි. අපට අවශ්‍ය වන්නේ විදේශ දැනුම සහ සම්පත් පමණයි. එහිදී අප ඉතා ඉහළ වගකීමකින් කටයුතු කළ යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු කටයුතු සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙසේ සඳහන් කළේය. ගුවන් විදුලිය රසාඥතාව ප්‍රවෘත්ති ප්‍රකාශයන්, නාට්‍යමය, සංගීතමය වැඩසටහන්, වෙළඳ දැන්වීම පවා ප්‍රමිතිය සහ ගුණාත්මක බව ආරක්ෂා කිරීමට ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව සෑමවිටම කටයුතු කර තිබෙනවා. ඇතැම් කාලවලදී අනවශ්‍ය දේශපාලනීකරණයන්ට ගුවන්විදුලිය මුහුණ දුන් බව අප කවුරුත් දන්නා කරුණක්. ගුවන් විදුලිය නැමැති කිරි කලයට ගොම එක්වූ අවස්ථාද නොතිබුණා නොවෙයි.

මම ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත්වී අමාත්‍යාංශයේ රාජකාරී අරඹූ දිනයේදී මාදුළුවාවේ සෝභිත හිමියන් සිදු කළ අනුශාසනාව මගේ මතකයට නැගෙනවා. ගුවන් විදුලියේ තිබු ඇතැම් වැඩසටහන් පිළිබඳ මහත් කම්පාවෙන් උන්වහන්සේ කතා කළා. එම වැඩසටහන් වෙනස් කර යහපත් මාර්ගයට ගුවන් විදුලිය පත් කරන ලෙස ඉල්ලීමක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට දෙවසරකට පෙරාතුව රටේ රාජ්‍ය නායකයා බවට පත්වීම තුළින් ගුවන් විදුලිය එවැනි මඬ ගොහොරු වලින් අද නිදහස් කර ගැනීමට හැකිවී තිබෙන බව අද අභීමානයෙන් ප්‍රකාශ කරනවා. අපේ රටේ බිහිවූ විශිෂ්ට කලාකරුවන් රැසකගේ මහ ගෙදර මේ ගුවන්විදුලි සංස්ථාව බව කිය යුතුයි. ඔවුන් අමරණීයත්වය පත් කිරීමට ගුවන්විදුලිය ක්‍රියා කළා.

නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන

ව්‍යක්ත කථිකයෙක්, හොඳ සන්නිවේදකයෙකු සහ රසවතෙකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ගුවන් විදුලියේ නව ගොඩනැගිලි සංකීර්ණය අද දින විවෘත කරනු ලැබුවා. අවුරුදු හතළිහකට පසු විශාල තාක්ෂණික අභිවර්ධනයක් ගුවන් විදුලිය අත්පත් කර ගෙන තිබෙනවා. සියලු මැදිරි නවීන තාක්ෂණය යටතේ නවීකරණය වී ජාතිය අතට පත් වී තිබෙනවා. ගුව තොරතුරු තාක්ෂණය කරා අප පියමනිනවා. පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද,සෙසු ආගමික නායකන්ද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ, එකසත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති කාවන් රත්නායක, කර්තෘමණ්ඩල අධ්‍යක්ෂක සමන් වගආරච්චි, රූපවාහිනී සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන ශ්‍රීලංකා ගුවන් විදුලියේ අධ්‍යක්ෂක ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි යන මහත්වරන්ද ආදී වාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ඇතුළු විවිධ සමාජ මට්ටම් නියෝජනය කරමින් විශාල පිරිසක් විවිධ මෙම අවස්ථාවට එක්වී සිටියහ.

නව අදහස දක්වන්න