පොලිස් පුවත් නිකුතුවට නව ප්‍රතිපත්ති මාලාවක් | දිනමිණ

පොලිස් පුවත් නිකුතුවට නව ප්‍රතිපත්ති මාලාවක්

විජයානි එදිරිසිංහ

පොලිසිය මඟින් මාධ්‍යයට ප්‍රවෘත්ති නිකුත් කිරීම සඳහා සකස් කෙරුණ නව ප්‍රතිපත්ති මාලාවක් රජය මගින් ඊයේ නිකුත් කෙරුණි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකින් පසු එම නව ප්‍රතිපත්ති මාලාව සකස්කර ඊයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හරහා එම ප්‍රතිපත්ති මාලාව නිකුත් කෙරුණි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා විසින් ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එම නව ප්‍රතිපත්ති මාලාව පිළිබඳ මාධ්‍ය දැනුවත් කළේය.

මේ යටතේ පොලිසියේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාය. රටට වැඩදායක මහජනතාව නොමඟ නොයවන ජාති ආගම් මහජනතාව අතර භේද ඇති නොකරන, ව්‍යාජ තොරතුරු හරහා මහජන සිත් තුළ කුරිරු අදහස් ඇති නොකරන සත්‍ය ඇති සැටියෙන් පෙන්වා දෙන වගකීමක් ඇති ප්‍රවෘත්ති වාර්තා කරන යහපත් මාධ්‍ය ප්‍රතිපත්තියක් ඇති කිරීම මේ නව මාධ්‍ය ප්‍රතිපත්තිය හඳුන්වා දීමේ අරමුණ වෙයි.

නව මාධ්‍ය ප්‍රතිපත්තියට අනුව පොලිස් මූලස්ථානයේ ස්ථාපිත වී ඇති පොලිස් මාධ්‍ය ඒකකය මඟින් පෙරවරු 6,11 සහ පස්වරු 5.00ට සියලු පුවත් නිකුත් කෙරේ.

නව ප්‍රතිපත්තිය යටතේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශ නිකුත් නොකෙරේ. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ කොට්ඨාසය, කොළඹ අපරාධ කොට්ඨාසය වැනි විශේෂ විමර්ශන ඒකකවලට මාධ්‍ය ප්‍රකාශකවරු පත් කෙරේ.

තව ද පොලිස් කොට්ඨාස 42ක ද මාධ්‍ය ප්‍රකාශකවරු පත්කරනු ලබයි.

විශේෂ අවස්ථාවල දී මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සඳහා නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යටතේ තවත් මාධ්‍ය ප්‍රකාශකවරයකු පත් කර ඇත.

රටේ විශේෂ කලබලකාරී සිදුවීමක් ඇති අවස්ථාවල එම මාධ්‍ය ප්‍රකාශකවරයාත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් අවස්ථානුකූල සිද්ධියට අදාළ ප්‍රකාශ නිකුත් කිරීම කරනු ලබයි.

මේ ප්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් සාගල රත්නායක ඇමැතිවරයා විසින් එම අමාත්‍යාංශ‍යෙන් ලබා දී ඇති එම නව මාධ්‍ය ප්‍රතිපත්ති මාලාව ඊයේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත ලබාදීමට නියමිතව තිබිණි.

තව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන ප්‍රවෘත්ති අතර මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම, ප්‍රශංසා කළයුතු අත්අඩංගුවට ගැනීම් , අපරාධ වැළැක්වීම සඳහා වූ ක්ෂණික ක්‍රියාමාර්ග , බරපතළ අපරාධ, බරපතළ රිය අනතුරු, ස්වාභාවික විපත් ඇතුළු කරුණු 11කට අදාළ තොරතුරු නිකුත් කෙරේ. රාජ්‍ය ආරක්ෂාව, මහජන ආරක්ෂාව හෝ නීතිය හා සාමය පිළිබඳ යම් ගැටලුකාරී හෝ සාවද්‍ය ‍හෝ අසම්පූර්ණ කරුණු ඇතුළත් වාර්තාවක් ප්‍රවෘත්ති මාධ්‍ය තුළින් ප්‍රකාශයට හෝ ප්‍රසිද්ධියට පත් වූ අවස්ථාවක දී එහි නිවැරැදි කිරීම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකරනු ලබයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ අමාත්‍යාංශය මඟින් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීමේ දී හැමවිටම නිවැරැදි තොරතුරු ලබාදීම කළ යුතු අතර, මතභේදාත්මක සහ ප්‍රශ්න ගත කරුණු ඇති නොවන ආකාරයට එම තොරතුරු මාධ්‍ය වෙත මුදාහැරිය යුතු බව ද එම ප්‍රතිපත්ති මාලාවේ සඳහන් වෙයි.

පසුගිය කාලයේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරු විසින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමේ දී විවිධ මාධ්‍ය විවිධ ආකාරයට එම තොරතුරු වාර්තා කිරීම හරහා විවිධ ගැටලු සහගත තත්ත්වයන් ඇති වූ බව ද ඉන් මහජනතාවට වැරැදි ආකාරයට තොරතුරු වාර්තාවීම තුළින් හානිදායක තත්ත්වයන් ඇතිවීම නිසා මාධ්‍ය ප්‍රකාශකවරයාට ප්‍රකාශ වශයෙන් නොව ලිඛිත මාධ්‍ය වශයෙන් පමණක් මාධ්‍ය වාර්තා ලබාදීම සිදුකෙරෙන බව ද අමාත්‍යාංශ ලේකම්වරයා මෙහි දී පෙන්වා දුන්නේය. 

නව අදහස දක්වන්න