ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති රෝයි දිවි මගෙන් සමු ගනී | දිනමිණ

ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති රෝයි දිවි මගෙන් සමු ගනී

 ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු වූ රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත විය.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වැදගත් තනතුරු ගණනාවක්ම හෙබවූ ඒ මහතා මිය යන විට 80 වැනි වියෙහි පසුවිය.

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති ලෙසින් ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කළ රෝයි ද සිල්වා මහතා පළමුව එම කමිටුවේ උපසභාපති ලෙස කටයුතු කළ අතර 1984 වසරේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධූරයට තේරී පත්විය. එතැන් සිට 1997 වර්ෂය දක්වාම එම සභාපති ධූරයෙහි රැඳී සිටීමට ද සිල්වා මහතා සමත් වීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර ක්‍රීඩා සිතියමේ ශ්‍රී ලංකා නාමය සටහන් කිරීමට දායක වූ ඒ මහතා ආසියානු ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැරූ ප්‍රධාන තනතුරු අතර ආසියානු ඔලිම්පික් කවුන්සලයේ උපසභාපති තනතුරද වෙයි. රෝයි ද සිල්වා මහතා දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනයේ නිර්මාතෘ සාමාජිකයෙකු විය.

ඒ මහතා ආසියානු ඔලිම්පික් කමිටුවේ උපසභාපතිව සිටියදී එහි සභාපති ෂෙයික් ෆාඩ් අල් සභා මිය යාමෙන් පසුව එම කවුන්සලය එහි වැඩබලන සභාපති ලෙසින් ද සිල්වා මහතා තෝරා පත්කර ගත්තේය.

මේ වකවානුවේදී ජාත්‍යන්තර කෙළිබිමේ රෝයි ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය ප්‍රධාන වශයෙන්ම සළකුණු වූයේ ඒ මහතා බෙයිජිංහි 1990 ආසියානු ක්‍රීඩා උළෙල විවෘත කළ අවස්ථා‍වේදීය. එතැන් පටන් ඔහුගේ නම ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ නිතර නිතර කියැවිණි. ඊට ප්‍රධාන වශයෙන් හේතුවූයේ ඒ මහතා එහිදී කළ කතාවයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සංවිධානය කිරීම චීනයට බාර දිය යුතු කාලය එළැඹ ඇතැයි එහිදී ඔහු ලොවට කියා සිටියේය. ඒ වන විට චීන ඔලිම්පික් කමිටුව ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටියේය. රෝයි ද සිල්වා කළ එම කතාව මට අද මෙන් මෙසේ මතකයේ රැඳී තිබේ.

“ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප්‍රාකාරය ඉදි කිරීමට චීනයට පුළුවන් නම්, ඔවුනට ඔලිම්පික් උළෙලේ සංවිධානත්වය ලබා දෙන්න බැරි ඇයි. විශිෂ්ට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වීමේ හැකියාව චීන ඔලිම්පික් කමිටුවට තියෙනවා.”

එම අවස්ථාවේදී 60,000ක ජනතාවගෙන් නැගුනු ප්‍රීති ඝෝෂාව මුළු ක්‍රීඩාංගණය පුරා සෑහෙන වේලාවක් යනතුරු දෝංකාර දුන්නේය. අවසානයේදී 2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය චීනයට ලැබිණි.

රෝයි ද සිල්වා මහතා එම කතාව කළ දිනයට පසු දිනයේ බෙයිජිං නුවර සිටියදී මා විස්මයට පත් කරවමින් හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ද සිල්වා මහතාගේ කතාව රූපවාහිනියෙන් දැක තිබූ ජනාධිපතිතුමාට රෝයි ද සිල්වාට සුභ පැතීමට අවශ්‍යව තිබිණි.

ඊට පසු අවරුද්දේ එනම් 1991දී ශ්‍රී ලංකාව ඉතාමත් සාර්ථකව දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සංවිධානය කළ අවස්ථාවේදී ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියේ රෝයි ද සිල්වා යි. මෙතෙක් පැවැති හොඳම සාෆ් ක්‍රීඩා උළෙල 1991 ඉසව්ව බව අප සියළු දෙනාම හොඳින් දන්නා කරුණකි.

ද සිල්වා මහතා ක්‍රීඩාවට කළ දායකත්වයට ගෞරව දක්වමින් ආර්.ප්‍රේමදාස ජනාධිපතිතුමා ‘දේශමාන්‍ය’ නම්බු නාමය රෝයි ද සිල්වා මහතාට ප්‍රදානය කළේය.

රෝයි ද සිල්වා මහතා ‍අප අතරින් වෙන්ව යන්නේ අවුරුදු 80ක් හා මාස 4ක් ආයු වැළඳීමෙන් පසුවය.

“ආදරණීය රෝයි! ඔබ අපේ මතකයේ සදා අමරණීයයි.”

ප්‍රේමා පින්නවල 

නව අදහස දක්වන්න