දුවිඳු තිලකරත්න බදුරලියට ජය ගෙනෙයි | දිනමිණ

දුවිඳු තිලකරත්න බදුරලියට ජය ගෙනෙයි

නිරෝෂාන් ප්‍රියංකර

දුවිඳු තිලකරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටස යටතේ එන්.සී.සී ක්‍රීඩා සමාජය සමග සරේ ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට බදුරලිය ක්‍රීඩා සමාජය ඊයේ සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් එන්.සී.සී පළමු ඉනිම ලකුණු 185කට සීමා කළ බදුරලිය ක්‍රීඩකයෝ පිළිතුරු ලෙස පළමු ඉනිම ලකුණු 330ක් රැස් කළහ‍. නදීර නාවෙල ලකුණු 86, ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 85ක් හා සහන් විජේරත්න ලකුණු 79ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී තරිඳු කෞෂාල් කඩුලු 5ක්ද චතුරංග ද සිල්වා කඩුලු 4ක්ද දවා ගත්හ. බදුරලිය පිල එන්.සී.සී දෙවැනි ඉනිම ලකුණු 239කට සීමා කළේ ජයග්‍රහණය සඳහා ලකුණු 95ක ඉලක්කයක් ලබාගනිමිනි. එම ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී සපුරා ගැනීමට ‍ඔවුන්ට හැකිවිණි.

තෙවැනි පළමු පෙළ තරගයට ක්‍රීඩා කරමින් බදුරලිය ජයග්‍රහණය කරාගෙන ගිය 20 හැවිරිදි දුවිඳු තිලකරත්න තරගයකදී හොඳම පන්දු යැවීම සටහන් කරමින් ඉනිම දෙකේදී කඩුලු 11ක් දවා ගත්තේය. එන්.සී.සී පළමු ඉනිමේදී ලකුණු 78කට කඩුලු 6ක් දවා ගැනීම ඔහුගේ ඉනිමක හොඳම පන්දු යැවීම වෙයි.

එන්.සී.සී පළමු ඉනිම - 185 (44.4) පවන් වික්‍රමසිංහ 42 (දුවිඳු තිලකරත්න 78/6, අලංකාර අසලංක 41/3) සහ දෙවැනි ඉනිම - 239 (ඕවර 55.4) (දුවිඳු තිලකරත්න 81/5, අලංකාර අසලංක 84/3)

බදුරලිය පළමු ඉනිම - 330 (ඕවර 85.5) නදීර නාවේල 86, ෂෙහාන් ප්‍රනාන්දු 85, සහන් විජේරත්න 79 (තරිඳු කෞෂාල් 86/5, චතුරංග ද සිල්වා 139/4) සහ දෙවැනි ඉනිම - 96/3 (ඕවර 15.3) නදීර නාවේල නොදැවී 51 

නව අදහස දක්වන්න