පාපන්දු නිලවරණයට දක්ෂයෙක් අපිත් ගේනවා | දිනමිණ

පාපන්දු නිලවරණයට දක්ෂයෙක් අපිත් ගේනවා

ප්‍රින්ස් ගුණසේකර

අපි පාපන්දු පරිපාලනයට අලුත් විකල්පයක් සොයනවා. දැන් මා ඇතුළු ලීග් කිහිපයක් කතා කරමින් ඉන්නවා පාපන්දු ක්‍රීඩා කළ, ඒ වගේම පරිපාලන දැනුමක් ඇති හොඳ කෙනෙක් ඉදිරිපත් කරන්න. එහෙම දක්ෂ කෙනෙක් හොයන එක හරිම අමාරු වැඩක්. නමුත් අපි පිරිසිදු අවංක අයෙකු සභාපති තනතුරට ඉදිරිපත් කරන්න සැලසුම් කරනවා. එහෙම බැරි වුනොත් ක්ලබ් කිහිපයක් කතා කරලා තියෙනවා පාපන්දු නවත්වන්න

සාන්ත බෙනඩික්ට් විදුහල යනු මෙරට දක්ෂ ක්‍රීඩකයන් හා ක්‍රීඩා පරිපාලකයන් බිහිකළ ප්‍රමුඛ තෝතැන්නකි. එම විදුහලෙන් 80 දශකයේදී බිහිවූ පාපන්දු ක්‍රීඩකයන් අතර ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයෙකි රෝහිත ප්‍රනාන්දු. එබැවින් ශ්‍රී ලංකා යොවුන් පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ඔහුට ඉක්මණින්ම උදා විය. පසුව පොලිස් ක්‍රීඩා සමාජය හා ඕල්ඩ් බෙන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ හෙතෙම, මෙයට වසර 20කට පෙර වෙන්නප්පුව නිව්යංග්ස් ක්‍රීඩා සමාජය ආරම්භ කරමින් තවත් පරපුරක් ඉදිරියට ගැනීමේ මංපෙත් විවර කළේය. පාපන්දු පරිපාලනයේද පෙරැළිකාරී චරිතයක් වූ රෝහිත ප්‍රනාන්දු මහතා සමග ඉදිරි පාපන්දු නිලවරණය හා වත්මන් පාපන්දු ක්‍රීඩාව පිළිබඳ කළ සංවාද සටහනකි මේ.

ප්‍රශ්නය: නිව්යංග්ස් පාපන්දු පිලට තවමත් ලොකු ජයග්‍රහණ ලැබුනේ නෑ නේද?

පිළිතුර: නිව්යංන්ග්ස් ආරම්භ කිරීමත් වෙන්නප්පුව ලැබූ ලොකු ජයක්. අද පාපන්දු කිව්වාම නිව්යංග්ස් ඉදිරියෙන්ම සිටිනවා. ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා පිලට දායාද කළා. ක්‍රීඩකයන් රැසක් පාපන්දු නිසා ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙනියනවා. ඒක සතුටක්. නිවියංග්ස් ආරම්භ කරද්දී වෙන්නප්පුවේ පාපන්දු හොඳ මට්ටමක තිබුණේ නෑ. දැන් හොඳ තත්ත්වයක තියෙනවා. හොඳ තරුණ කණ්ඩායමක් මට සිටිනවා. ඒක ලොකු ජයක්.

ප්‍රශ්නය: මා ඇහුව්වේ මුල් පෙළේ පාපන්දු ජයක් ලැබුණේ නෑ නේද කියලයි?

පිලිතුර: අපි ඇතැම් තරගාවලිවලදී ශූරතා අභියසටම ආවා. මෙවර චැම්පියන් ලීග් තරගාවලියත් අපේ ක්‍රීඩකයින් හොඳට කරනවා. නමුත් සම්මේලනය මේ තරගාවලිය වරින් වර නවත්තනවා. තරගාවලි ගාට ගාට යනකොට ක්‍රීඩා සමාජවලට කරගෙන යන්න අමාරුයි. ඒක පාලකයන්ට තේරෙන්නේ නෑ. මේ යන්නේ 2016 තරගාවලිය. එෆ්. ඒ. කුසලානයත් තාම නෑ. මේවා සැලකිය යුතු ප්‍රශ්න.

ප්‍රශ්නය: ඔබත් පාපන්දු සම්මේලනයේ නිලධාරියකු ලෙස සිටියා. එදත් මේ වගේ ප්‍රශ්න තිබුනා නේද?

පිළිතුර: ඔව් මට වසර 20ක ඉතිහාසයක් පාපන්දු ගැන තියෙනවා. බොහෝ දේවල් දැක්කා. සම්මේලනයේ සහකාර ලේකම්, තාක්ෂණික කමිටු සභාපති ලෙස හිටියා. වසර 10ක් විධායක සභාවේ හිටියා. නමුත් එදා මෙදා කවුරුත් පාපන්දු සංවර්ධනයට වැඩ කළේ නෑ. එහෙම වුනාම අපි ක්ලබ් කරලා වැඩක් නෑ. මා වසරකට නිව්යංග්ස් වෙනුවෙන් මගේ පෞද්ගලික මුදල් රුපියල් ලක්ෂ 40ක් පමණ වැය කරනවා. අපිට අනුග්‍රහකයෙක් නෑ. යාලුවෝ මට සල්ලි ටිකක් හොයලා උදව් කරනවා. අපි එහෙමයි පාපන්දුවට වැඩ කරන්නේ. නමුත් සම්මේලනය මොනවද කරන්නේ. පාපන්දු සංවර්ධනය ගැන හිතන්නේ නෑ.

ප්‍රශ්නය: ඔබත් වගකිව යුතුයි නේද? ඔබ හිටපු නිලධාරියෙක්?

පිළිතුර: අපේ කාලයේ යූත් ඩිවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. නමුත් පසුව ඒක නැවැතුනා. ඒ කාලේ තරණ ක්‍රීඩකයන් ඉදිරියට ආවා. දැන් කෝ?. අපේ ජාතික පිල ශ්‍රේණිගත කිරීමෙන් පහළට බැහැලා. මේකට සම්මේලනයේ දැන් ඉන්න නිලධාරීන් වගකිව යුතුයි. ඇහුව්වොත් කියන්නේ සල්ලි නෑ කියලයි.

ප්‍රශ්නය: රංජිත් රුද්‍රිගූ මහතා සභාපති කාළේ ක්‍රීඩා සමාජවලට සම්මේලනය මගින් දෙන මුදල් වැඩි කළා නේද? ලීග්වලටත් මුදල් දුන් බව කීවා. දැන් සභාපති අනුර මහතා හා ලේකම් බාලේන්ද්‍ර මහතා කිව්වේ අඛණ්ඩව ඒ මුදල් දෙනවා කියලයි. ඔබට සම්මේලනයේ මුදල් ලැබුණේ නැද්ද?

පිළිතුර: ලැබුණා. ඒ පොඩි මුදලින් කොහොමද ක්‍රීඩා සමාජයක් නඩත්තු කරන්නේ. වසරකට විශාල මුදලක් අපට වැයවෙනවා. ක්‍රීඩකයන්ට මාසික වැටුප් දෙන්න විතරක් රුපියල් ලක්ෂ 3ක් විතර යනවා. සම්මේලනය මුදල් දීම ආරම්භ කිරීම හොඳයි. හැබැයි අමතක කරන්න එපා. ඒ මුදල් දුන්නේ එදා ඇති කළ ස්ථාවර තැන්පතුවෙන්. එදා සල්ලි ඉතුරු කළේ යම් ප්‍රශ්නයක් ආවොත් වියදම් කරන්නයි. අනික ලීග්වලට සල්ලි දීලා මොනවද වෙන්නේ කියලා හොයන්න එපැයි. අද ඉන්න අය ලීග් කරන්නේ මොනවද කියලාවත් හොයනවාද? ඇතැම් ලීග් පාපන්දු ගහන්නේ නෑ.

ප්‍රශ්නය: පාපන්දු දියුණුවට ඔබ යෝජනා ඉදිරිපත් කළාද?

පිළිතුර: ඔව්. අද නොවෙයි. එදා ඉදලා කියනවා. කෝ අඩුම තරමින් පාපන්දු විනිසුරුවන්ට සංවර්ධන වැඩ පිළිවෙළක්වත් තියෙනවාද. ඇතැම් විනිසුරුවන්ගේ දැනුම මදි. වැරදි තීරණ හේතුවෙන් තරග අවුල් වෙනවා. ඒවා ඇහුව්වාම මගේ වැරදි කියනවා.

ප්‍රශ්නය: විනිසුරුවන් තුළ මතයක් ඇතිවෙලා නිව්යංග්ස් සමග තරගවලදී හැමැදාම කරදර ඇති වෙනවා කියලා?

පිළිතුර : එහෙම වැරදි මතයක් තිබුණා වෙන්නප්පුවේදී කරදරයි කියලා. වෙන්නප්පුවෙන් පිට කැලණියේදී, අනුරාධපුරයේදී, කොළඹදීත් අපට අසාධාරණකම් වෙනවා නම් ඉවසන්නේ කොහොමද? මා පාපන්දු ක්‍රීඩා කළ නිසා නීතිය දන්නවා. වැරදි තීන්දුවකදී නීතිය පෙන්වා මා අභියෝගයට ලක් කරනවා. ඒක අපේ අයිතියක්. ඕකට තමයි කියන්නේ මා කළබල කරනවා කියලා. අසාධාරණය ඉදිරියේ ඉවසන්නේ නෑ.

ප්‍රශ්නය: ජාතික පිල ගැන ඔබේ අදහස මොකක්ද?

පිළිතුර: දැන් ඉතාම නරක තත්ත්වයක තියෙන්නේ. හොඳ පුහුණුකරුවකු ඕනේ. දැන් ඉන්න ඩඩ්ලි තරුණ සංවර්ධනයට යොදවලා ජාතික පිල පකීර් අලී, චන්ද්‍රසිරි වගේ දක්ෂයන්ට භාර දෙන්න ඕනේ.

ප්‍රශ්නය: විදෙස් පුහුණුකරුවෙක්?

පිළිතුර: මගේ පෞද්ගලික මතය ශ්‍රී ලංකා පාපන්දු පිලට විදෙස් පුහුණුකරුවෙක් අවශ්‍ය වෙන්නේ නෑ කියලයි. අවශ්‍ය වන්නේ පිටරටකින් ට්‍රේනර් කෙනෙක් විතරයි. අපේ රටේ ඉන්නවා දක්ෂ පුහුණුකරුවන්. ඒ අය විශ්වාස කරලා වැඩ කළාම නිවැරදි ප්‍රතිඵල ගන්න පුලුවන්.

ප්‍රශ්නය: විදෙස් ක්‍රීඩකයන් ඉදිරි තරගාවලියකදී ක්‍රීඩා කිරීම නවත්වන බවට ආරංචි එනවා. ඒක ඔබේ ක්‍රීඩා සමාජයට බලපෑමක් ඇති කරයිද?

පිළිතුර: ඔව් සම්මේලනය එහෙම තීරණයක් ගත්තොත් මා එයට විරුද්ධ වෙනවා. ලෝකයේ කිසිම රටක විදෙස් ක්‍රීඩකයන් ක්‍රීඩා සමාජවලට ගැනීම නවත්වන්නේ නෑ. නැගී එන ක්‍රීඩකයන්ට තාක්ෂණය හා ක්‍රමවේද ඉගෙන ගන්න පුලුවන් වෙන්නේ විදෙස් ක්‍රීඩකයන් සමඟ සෙල්ලම් කරද්දී. අපෙන් ඒ අයට ගන්න දෙයක් නෑ. අපේ ක්‍රීඩකයන්ට ඒ අයගෙන් ලැබෙන දැනුම අඩු වෙන එකයි වෙන්නේ.

ප්‍රශ්නය: දැන් පාපන්දු නිලවරණයක් ගැන කතා වෙනවා. ඔබේ අදහස මොකක්ද?

පිළිතුර: දැන් තරගයට එන තිදෙනා ගැනම මගේ විශ්වාසයක් නෑ. අපි පාපන්දු පරිපාලනයට අලුත් විකල්පයක් සොයනවා. දැන් මා ඇතුළු ලීග් කිහිපයක් කතා කරමින් ඉන්නවා පාපන්දු ක්‍රීඩා කළ, ඒ වගේම පරිපාලන දැනුමක් ඇති හොඳ කෙනෙක් ඉදිරිපත් කරන්න. එහෙම දක්ෂ කෙනෙක් හොයන එක හරිම අමාරු වැඩක්. නමුත් අපි පිරිසිදු අවංක අයෙකු සභාපති තනතුරට ඉදිරිපත් කරන්න සැලසුම් කරනවා. එහෙම බැරි වුනොත් ක්ලබ් කිහිපයක් කතා කරලා තියෙනවා පාපන්දු නවත්වන්න.

ප්‍රශ්නය: ඒ කියන්නේ ඔබ දැඩි කළකිරීමකින් පසු වෙන්නේ?

පිළිතුර: ඔව්. වියදම් කරලා ප්‍රතිඵල නැත්නම් ඒ ගැන දුකයි. අපි මහන්සි වෙනවා. සම්මේලනයේ අය තනතුරුවලට පොරකනවා. මේකේ රහස දැන් කවුරුත් දන්නවා. අද විතරක් නොවෙයි හැමදාම මේ සෙල්ලම තිබුණා. ක්‍රීඩා ඇමැතිතුමා වහාම මැදිහත් වෙන්න ඕනේ. පාපන්දුව ගොඩ ගන්න ජනාධිපතිතුමා ළඟට අගමැතිතුමා ළඟට ඉදිරියේදී මා යනවා. ඒ දෙන්නාම හොඳ නායකයෝ. ක්‍රීඩාව ගැන ඇල්මක් දැක්මක් ඒ අය තුළ තිබෙනවා. අපේ හඬට සවන්දී හොඳ දෙයක් කරයි කියලා හිතනවා.

නව අදහස දක්වන්න