දිවුලපිටිය ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ ආහාර සැකසීමේ වැඩමුළුව | දිනමිණ

දිවුලපිටිය ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ ආහාර සැකසීමේ වැඩමුළුව

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දිවුලපිටිය ප්‍රජා සෞඛ්‍ය ඒකකය මඟින් පසුගියදා අස්සැන්නවත්ත, 104 නැගෙනහිර ග්‍රාම සේවා වසමේ බෝගහමුල ප්‍රජා ශාලාවේදී ආයුර්වේදයට අනුව පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්විණි.

එහිදී කොල්ලු ව්‍යාංජනය, කෙසෙල් මුව කට්ලට්, තැම්බුන් හොද්ද ආදී ආහාර වර්ග කීපයක් සකසන අයුරු දිවුලපිටිය ආයුර්වේද සංවර්ධන නිලධාරිනී රංජනී රාජපක්ෂ මහත්මිය විසින් පැහැදිලි කර දුන්නාය.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ බස්නාහිර පළාත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන ජයකොඩි මහතා ප්‍රකාශ කළේ ගම් මට්ටමින් මේ වැඩසටහන් නැවත ඇරඹිය යුතු බවයි. තම ප්‍රතිපාදන ඉදිරියේදී මේ සඳහා යෙදවීමට කටයුතු යොදන බවට ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට දිවුලපිටිය ආයුර්වේද සංවර්ධන නිලධාරී තාරක වනසිංහ මහතාත්, දිවුලපිටිය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය එච්. ඒ. එම්. හෙට්ටිආරච්චි මහතා සහ ග්‍රාම සේවා වසමේ සමඟි වැඩිහිටි සමිතියේ කාන්තාවෝ සහභාගි වූහ. ග්‍රාම නිලධාරි විජිත් වීරසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය සිදුකෙරිණි.

සටහන සහ ඡායාරූපය-දිවුලපිටිය විශේෂ

නව අදහස දක්වන්න