ආහාර වේල් මඟහැරියොත් ලෙඩ ගොඩයි | දිනමිණ

ආහාර වේල් මඟහැරියොත් ලෙඩ ගොඩයි

මංජුලා විජයරත්න

වත්මන් කාර්යබහුල ලෝකයේ ජීවත්වන බොහෝ දෙනකුට, තම ආහාර වේල්, වෙලාවට ගැනීම මඟහැරේ. මේ තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් බෙහෙවින් අන්තරාදායක තත්ත්වයක් බව, අමෙරිකා හෘද රෝග සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සංගමය පෙන්වා දෙන අන්දමට, වෙලාවට ආහාර නොගැනීම නිසා ඇති වන්නට පුළුවන් බරපතළම රෝගී තත්ත්වය හෘදයාබාධ ඇතිවීම ය.

ශරීරයේ ඒ ඒ අවයවවල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන පෝෂක කොටස් නියමිත වෙලාවට ලැබිය යුතු බව මොවුන්ගේ අදහස ය. ඔවුන් එහිලා නිදසුනක් ලෙස දක්වන්නේ, ග්ලූකෝස් (සීනී) ශරීරයට අවශ්‍ය වන ආකාරය ය. ශරීරයේ ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව, ග්ලූකෝස් සහිත ආහාර බොහෝ ප්‍රමාණයක් රාත්‍රියට ගත යුතු නැත. එනිසා, රාත්‍රී ආහාරය ලෙස ගත යුත්තේ, තම ක්‍රියාකාරීත්වය ගැන මනා අවබෝධයකින් යුතුව , ඊට ගැළපෙන සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකි. එය නියමිත වෙලාවට ගැනීම ඉතාමත් ම වැදගත් ය.

මේ නිසා, නියමිත ආහාර වේල් සංඛ්‍යාව, නියමිත වෙලාවට ගැනීමට කටයුතු කිරීම අවශ්‍ය ම ය. එමෙන් ම, තමන් ගන්නා කැලරි ප්‍රමාණය දිනය පුරාම ක්‍රමානුකූලව බෙදී යන ආකාරය ගත යුතු බව ද, මේ නිවේදනයේ දැක්වේ. එසේ නැතිව, ඉතා කෙටි කාලයක් තුළ ආහාර බොහෝ ප්‍රමාණයක් ගනිමින්, කැලරි බොහෝ ප්‍රමාණයක් ශරීගත කර ගත්තාට වැඩක් නැති බව පැවසේ. උදේ සිට හවස් වනතුරු “එක එක දේ” කමින් ද, බොමින් ද සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණය සොයා ගන්නට උත්සාහ ගන්නා අය අප අතර කොතෙකුත් සිටිති. අමෙරිකා හෘද රෝග සංගමයේ විද්වතුන් පවසන ආකාරයට, සෞඛ්‍යසම්පන්න දිවියකට ඒ ක්‍රමය ගැළපෙන්නේ නැත.

කොහොම වුණත්, දිනකට තමන්ට අවශ්‍ය කැලරිවලින් වැඩි කොටසක් ගත යුත්තේ, උදෑසන ආහාර වේල මඟිනි. රාත්‍රියට ගත යුතු වන්නේ, සාපේක්ෂව අඩු කැලරි ප්‍රමාණයකි. දවස පුරා වැඩි වෙලාවක් නිරාහාරව සිටිමින්, අඩු කැලරි ප්‍රමාණයක් ගන්නවාට වඩා, රාත්‍රියේදී අඩු කැලරි ප්‍රමාණයක් ගෙන, වැඩි වෙලාවක් නිරාහාරව සිටීම හොඳ බව, අමෙරිකා හෘද රෝග සංගමය කියා සිටී. එනිසා, උදෑසන ආහාර වේල ඉතාමත් වැදගත් ආහාර වේලක් බව පැවසේ. ඒ සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදුකෙරී ඇත.

එම පර්යේෂණවලින් තහවුරුව තිබෙන්නේ, උදෑසන ආහාර වේල මඟ හරින අයට වඩා , උදෑසන ආහාර වේල නියම වෙලාවට ගන්නා අය නීරෝගී බවකි. උදෑසන ආහාර වේල නියමිත පරිදි, නියමිත වෙලාවට ලබා ගන්නා අයගේ ශරීර, ස්ථුලතාවට පත්වන්නේ නැත. එමෙන් ම, ඔවුන්ගේ දේහවල කොලෙස්ටරෝල් වැඩිවීමක් ද සිදු නොවේ. එසේ ම, රුධිර පීඩනය නිසි මට්ටමේ පවතින බවත් අනාවරණය වී ඇත. එපමණක් නොව, ඔවුන් දෙවැනි මාදිලියේ දියවැඩියා තත්ත්වයට ගොදුරු වීමේ ඉඩ කඩ ද අඩු බව තහවුරුව තිබේ.

මේ නිසා, උදෑසන ආහාර වේල කෙතරම් වැදගත්ද? යන්න ඔබට අවබෝධ වේ. ඔබ උදෑසන ආහාර වේල මඟහැර, ඒ වෙනුවට දවස පුරාම ආහාර ගත්ත ද, අත්වන වාසියක් නැති බව විද්‍යාඥයෝ පවසති. එවැනි විටෙකදී සිදු වන්නේ, ශරීරයේ බර වැඩිවීම පමණකැයි කියාත් තහවුරු වේ. එනිසා, උදෑසන අහාර වේල මඟ නොහැර ගැනීමටත්, අනෙක් ආහාර වේල්වලටත් ඒ තරමේම අවධානයක් යොමු කිරීමටත් ඔබට සිදුවනු ඇත.

 

නව අදහස දක්වන්න