මැඩගස්කරයට-සයිප්‍රසයට නව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල | දිනමිණ

මැඩගස්කරයට-සයිප්‍රසයට නව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල

මහින්ද අලුත්ගෙදර

විදෙස් රටවල් සමඟ පවත්නා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කරමින් සහ ඒ ඒ රටවල වෙසෙන ශ්‍රී ලංකිකයන්ගේ අවශ්‍යතා සඳහා කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් මැඩගස්කරයේ සහ සයිප්‍රසයේ නව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල දෙකක් ආරම්භ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කරයි.

ඊට අමතරව ඉදිරියේ දී අවශ්‍ය ස්ථානයන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගන්නා අතර අවශ්‍ය සේවාවන් සැපයීමක් නොමැති තානාපති කාර්යාල වසා දැමීමට පියවර ගන්නා බවද විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. මෙතෙක් තානාපතිවරු පත්කර නොමැති රටවල් සදහා ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල නොතිබුණ ද ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වියහැකි ආකාරයේ තානාපතිවරු පත්කිරීමට පියවර ගන්නා බව පවසන ඒ මහතා ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සඳහා විධිමත් සේවාවක් ලබාදෙමින් අමාත්‍යාංශය සහ විදේශයන්හි පිහිටි තානාපති හා කොන්සියුලර් කාර්යාල පූර්ණ වෙනසකට ලක්කරන බවද ඒ මඟින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා කඩිනම් විසඳුම් ලැබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශය නව පරිශ්‍රයක විවෘත කිරීම සහ ඉලෙක්ට්‍රොනික ලේඛන සාක්ෂ්‍යකරණ පද්ධතියක් හඳුන්වාදීම වෙනුවෙන් කොළඹ දී ඊයේ (06) පැවැති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඉදිරියේ දී විදේශ කටයුතු අමාත්‍යාංශ මානව සම්පත් කළමනාකරණය සම්පූර්ණයෙන්ම විද්‍යුත් තාක්ෂණයට අනුව සිදුකරන බවත් තානාපති කාර්යාල සහ කොන්සියුලර් කාර්යාල විද්‍යුත් තාක්ෂණයට සම්බන්ධ කරන බවත්ය. ඉදිරියේ දී මෙවැනි වෙනස්කම් රැසක් සිදුකිරීමට අපේක්ෂා කරන අතර රටේ සියලු ප්‍රදේශවල ජනතාවට පහසුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශයෙන් ලබාදෙන සේවාවන් ලබාදීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සදහා අවධානය යෙමුකර තිබෙන බවද පැවසීය.

නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසළ වීරකෝන්, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාශයේ ලේකම් වසන්ත දේශප්‍රිය, විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් සේන විදානගේ, විදේශ කටයුතු අමාත්‍යාංශ කොන්සියුලර් අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත ගනේගමආරච්චි, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක්, කළමනාකාර අධ්‍යක්ෂ මුහුන්දන් කනකේ, ආගමන විගමන කොමසාරිස් ජනරාල් නිහාල් වීරසිංහ, චීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති රංජිත් උයංගොඩ මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න