ගිරිබාව-වෙරගල ගම්වැසියන්ට දවල් රෑ වන අලි තර්ජන | දිනමිණ

ගිරිබාව-වෙරගල ගම්වැසියන්ට දවල් රෑ වන අලි තර්ජන

අක්කර ගණන් හේන් වගා එක රැයින් වනසලා

කුඹුරු වගාවන් අක්කර ගණනින් පාළු වී ගිරිබාවේ බොහෝ ගොවියන් සුසුම් හෙලමින් සිටිති. නමුත් හේන් වගාවෙන් හෝ තම ජීවිතය ගැට ගසා ගන්නට සැරසෙද්දී එයටද තවත් හෙණ ගෙඩියක් පාත් වන්නේ මුල්ම දහඩිය බිදුවේ සිට හෙලු සියලුම වෙහෙස මහන්සිය පවා ප්‍රතිපල රහිත වී යද්දීය. කුඹුරු අක්කර ගණන් වර්ෂාව නැතිව ගොවි දෑස් ඉදිරියේම විනාශ වී යද්දී ඔවුන්ගේ දෑතින් පණ ලැබූ හේන් වගාවන් අමු අමුවේ වල් අලින්ට දී බලා ඉන්නට ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේරගල ගම්මානයේ ගොවියාට සිදුව තිබේ. අතීතය පුරාමත් අලි මිනිස් ගැටුම පිළිබද ලංකාව තුළ නමක් සටහන් වූ ගල්ගමුව ප්‍රදේශයත් ඒ අවට ප්‍රදේශත් තුළ දැන් ඇත්තේ මිනිස් වාස භූමි සම්පූර්ණයෙන්ම වල් අලින්ට සින්නක්කරව ලියා දෙන්නටය.

මෑතක පටන් දැඩි තර්ජනයක්ව පවතින වල් අලි ගැටලුවෙන් පීඩා විදින වේරගල වැසියන්ගේ ජීවිත කතාව දුක් ගොඩකි. පෑවිල්ලත්, දූවිල්ලත්, නියගයත්, සාගින්නත් එකට තෙරපෙන මේ මිනිසුන්ගේ ජීවිත අද ගෙවෙන්නේ වල් අලින් සමග පොර බදමින් තම හේන් ගොවිතැන රැක ගන්නට ගන්නා වෙර වීරියත් සමගිනි.එම ගම්වැසියෝ මෙසේ කීහ. වේරගල ග්‍රාම නිලධාරී වසමේ ජීවත්වන ඩී. එම්. මනෝජ් මහතා-

අපි අද ගෙවන්නේ මහා පුදුම පව්කාර ජීවිතයක් . ඉස්සරත් අපි මේ ඉඩම්වල වගා කළා. ඒත් මේ වගේ අලි කරදර තිබුණෙ නෑ. අද අපි ජීවත් වෙන්නෙ අලි එක්ක. උදේටත් අලි. දවල්ටත් අලි. රෑ එළිවෙනකල් අලි. එක අතකින් බලද්දි මේක පවක් නෙමේ කරුමයක්. වතුර නැතුව මහ පොළොව එක්ක පොර බැදලා තමයි අපි මේ හේන් කරන්නෙ. ඒත් මේ වල් අලි ඇවිත් මුළු හේනම එක රැයින් කාලා විනාශ කරනවා. මේක සිද්ධ වෙන්න ගත්තෙ වෙන දෙයක් නිසා නෙමේ මහත්තයෝ. වේරගල පන්සල් ඉඩම මුදල් තණ්හාවෙන් විකුණුව නිසා.

එස්. ඒ. සේනානායක මහතා- ගිරිබාවේ මිනිසුන්ට මින් පෙරදී නම් වල් අලින්ගෙන් මේ තරම් දරුණු වද වේදනා තිබුණේ නැත. නමුත් ගිය වසරේ .මේ හැමදේම වුණේ මේ අක්කර 103 ක පන්සල් ඉඩම එළි කරලා කපලා දාලා විනාශ කළාට පස්සෙ. නැතත්තම් අපිට කලිනුත් මේ වගේ අලි ප්‍රශ්න තියෙන්න එපැයි. ඒත් එහෙම තිබුණෙ නෑ. කිසිම ආයතනයකින් අවසර අරන් නැතුව මේ වගේ සත්තු ඉන්න මහා කැලෑවක් කපනවා කියන්නෙ ඒ සත්තු යන්නෙ කොහාටද කියලා ඒ අය හිතන්න ඕනෙ. මගේ අක්කර තුන හමාරක් බඩ ඉරිගු හේන එක රෑට අලි 40 ක් 50 ක් ඇවිත් කාලා විනාශ කළා. අද වෙද්දි මට කිසිම ආදායමක් නෑ. බඩ ඉරිගු කරලක් රුපියල් 20 ගානේ විකුණලා තමා මේ පාර කීයක් හරි හොයා ගන්න උත්සාහ කළේ. ඒත් කරල් කඩන්න හිටපු දාට කළින් රෑ මුළු හේනම කෑවා. අපි ජීවත් වෙන්නෙ මේ හේන් කරලා. දරුවන්ට උගන්වන්නෙ මේ හේන් කරලා. ඒත් දැන් අපිට කිසිම වගාවක් කර ගන්න හැකියාවක් නෑ මේ අලි කරදරේ හින්දා.

ජේ. ඒ. දයානි අරුණි මහත්මිය - ‘‘මමයි මහත්තයි දෙන්නම කරන්නෙ ගොවිතැන්. මේ පළාතේ හුගක් අය ගොවිතැන් කරලා තමා ජීවත් වෙන්නෙ. මේ පාර අපිට කුඹුරු වැඩ කරන්නත් වතුර තිබුණෙ නෑ. ඒකයි අපි හේන් වගාව කරන්න හැදුවෙ. අපි හදපු කුරක්කන් අක්කර 2 ක් එහෙම් පිටින්ම වල් අලි විනාශ කළා. රටකජු අක්කරයක් විතර කෑවා. මොකුත්ම ඉතුරු වුණේ නෑ. අලි 40 ක් 50 ක් ඇවිත් හේනක් වනසද්දි අපිට උන් එක්ක පොර බදන්න බෑ. අපි මේ අලි එක්ක හැප්පිලා ජීවත් වෙන්නෙ ආසාවකින් නෙමේ. අලි මේ තරම් විනාශයක් කරන්නෙ උන්ට කන්න තිබුණ ඉන්න තිබුණ කැලේ නැති කරපු නිසා. නැත්නම් මෙහෙම දරුණු විදිහට උන් හැසිරෙන්නෙ නෑ. අද අපි විදින අපා දුකින් අපිව බේරලා දෙන්න කියලා බලධාරීන්ගෙන් අපි ඉල්ලනවා.

ටී. එම්. ජයන්ත මහතා -

‘‘අද වෙද්දි අපේ දරුවෙකුට පාරක යන්න බෑ. ඉස්කෝලෙට යන්න බෑ. අලි කොහෙන් කොහොම එවනද කියලා අපි දන්නනෙත් නෑ. වෙනදා අලි ආවේ රෑට. දැන් දවස පුරාම මේ පැත්තෙ අලි. අලි එලවන්න වන ජීවි කාර්යාලයට ගියාම කියනවා අලි වෙඩි නෑ කියලා. අලි වෙඩි නැතුව අපි කොහොමද මේ යුද්දෙ කරන්නෙ මහත්තයෝ. ගිරිබාවේ වනජීවි නිලධාරීන් පුළුවන් විදිහට අලි ටික එළවලා දෙනවා. එත් අපිට අලි වෙඩි නැතුව මේ අලි පන්නන්න බෑ. අක්කර ගණන් කාලා යනකල් අපිට බලාගෙන ඉන්න බෑ. අක්කර ගණන් කැලෑ එළි කරලා ඒ අයට කිසිම නීතියක් නෑ. ඒත් අපි අලියකුට තුවාලයක් හරි කළොත් අපිට හිරේ යන්න වෙනවා. අපි අද ගොඩක් අසරණයි.

ඩබ්ලිව්. එම්. ජානක බන්ඩාර - ‘‘අද වෙද්දි මේ වේරගල ගමේ මිනිස්සු විතරක් නෙමේ පොතානේගම, මාදුරාගම, ගිරිබාව, වරාවැව පැත්තේ මනුස්සයොත් විදින්නේ අපා දුකක්. මේ කැලෑව එළි කරන්න කළින් කැලෑව ඉස්සරහා ඉදිවෙන නිවාස ව්‍යපෘතියෙත් වැඩ ආරම්භ වුණා. ඒත් අලි කරදර තිබුණෙ නෑ. නමුත් දැන් මේ හදන ගෙවල් උඩින් තමා අලි යන්නෙ. නිවාස 25 ක් මේ ව්‍යාපෘතියේදි හදනවා. සජිත් පේමදාස මහත්තයා තමා මේක ආරම්භ කළේ. ඒත් අපිට දැන් හිතෙන්නෙ අපි හදන ගෙවල් අලින්ට දීලා අපිට කැලෑවට යන්න වෙයිද කියලා. මොකද කිලෝ 1500 ක් විතර එක අලියෙකුට කන්න තිබුණ කැලේ එහෙම් පිටින්ම කපලා දැම්මා. අද වෙද්දි සත්තු මැරිලා යනවා. අලින්ට කන්න දෙයක් නෑ. ඉන්න තැනක් නෑ. යන්න තැනක් නෑ. උන් ඒකයි මේ විදිහට හේන් විනාස කරන්නෙ.

ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න