ලෝකෙ වටේ යාළු මිතුරු | දිනමිණ

ලෝකෙ වටේ යාළු මිතුරු

 ගෝලීයකරණයෙන් මුළු ලොවම එක වහලක් යටට වන බවට පුරසාරම් පවසන නමුත් දෙරටක් පමණක් ‍නොව නිවාස දෙකක් අතරද තාප්පවලින් සීමා මායිම් පැන වෙන්නේ මිතුදමට වඩා පසමිතුරුදම සරුසාර කරමිනි. දෙරටක් අතර සීමා මායිම් සාමයේ සංහිඳියාවේ පාලමක් බවට පත්කර නොගන්නා සංග්‍රාම භූමියක් බවට පත්කර ගන්නා ලොවක සහෝදරත්වයේ, මිත්‍රත්වයේ දෑත් එකිනෙකාට යොමු කරගන්නා රටවල් ඇත්තේ සීමිත ගණනකි. ඒ අතරින් හංගේරියාව සහ පෝලන්තය පෙරමුණ ගනී.

හංගේරියාව සහ පෝලන්තය අතර මිතුදම කොතරම් ඉපැරැණිද කිවහොත් පරපුරෙන් පරපුරට පැවත එන කියමනක් පවතී. ‘හංගේරියානුවන් හා පෝලන්ත ජාතිකයන් සහෝදරයන් එකට දබර කරනවා. එකට මධුවිතෙන් සැනසෙනවා.” ඒ කියමනයි.

2007 වසරේදී දෙරටේම පාර්ලිමේන්තු මඟින් මාර්තු 23 වැනිදා පෝලන්ත - හංගේරියානු මිත්‍රත්වයේ දිනය ලෙස උත්සවාකාරයෙන් නම් කරන ලදී. මේ සබඳතාව හංගේරියානු මහාචාර්යවරයකු අර්ථ දක්වන්නේ වෙන් වෙන්ව වැඩුණු ඕක් ගස් දෙකක මුල් එකම පසක එකට වැඩීමටය. වසර දහසකටත් වඩා ඉපැරැණි දේශපාලන, ආර්ථික, සංස්කෘතික මිතුදමට අපුරු රාජකීය නෑකමක් ද තිබේ.

දාහතරවැනි සියවසේ හංගේරියාවේ රජකම් කළ ලුවිස් රජුට පෝලන්තයේ කිරුළට උරුමකම් කීමට ලැබුණේ මවු පාර්ශ්වයෙන් නෑයකු වූ තෙවැනි කසිමිර් රජු මිය යාමෙන් පසුවය. කසිමිර් රජුගේ මරණයෙන් පසු ඇතිවූ උරුමයේ පුරප්පාඩුව පුරවා දමන ලද්දේ ලුවිස් රජු විසිනි. ඔහු ‍දෙරටම පාලනය කළේය. ලුවස් රජුගේ මරණයෙන් පසු ඔහුගේ දියණිය ජඩ්විගා කුමරිය පෝලන්තයේ පළමුවැනි රැජින විය. අදටත් ඇය එරටට අනුස්මරණීය චරිතයකි.

1576 වසරේදී තවත් හංගේරියානු ජාතිකයකු පෝලන්ත කිරුළට හිමිකම් කීවේය. ඔහු ඉස්ත්වන් බැතරිය. බැතරි පෝලන්ත කිරුළට තේරුණේ පෝලන්ත වැසියන්ගේ මනාපයෙනි. දෙරටේ මිතුදම තවදුරටත් ශක්තිමත් වූයේ ඔස්ට්‍රියානු අධිරාජ්‍යයට එරෙහිව නිදහස උදෙසා සටන් කළ ‍පෝලන්ත වැසියකු වූ ජෝශප් බෙම් නිසාය. අදටත් හංගේරියානුවන් මේ වීරයා “බෙම් මුත්තනුවන්” ලෙස ගෞරවාදරයෙන් සිහිපත් කරනු ලැබේ. පෝලන්ත වැසියන්ට මෙන්ම හංගේරියානු වැසියන්ටද බෙම් යනු ජාතික වීරයෙකි. මේ සාමකාමී දෙරටේ බත ඉදෙන තුරු අඬ දබර පැවැත්වුණු අවස්ථාද නැත්තේ නොවේ.

සහෝදර බැම්මේ උත්කර්ෂය උදාවූවේ පෝලන්ත සරණාගතයන් ලක්ෂයකට 1939 දී හංගේරියාව සුහද සරණාගත කඳවුරක් වීම නිසා ය. ජර්මනිය පෝලන්තය සමඟ යුද වැදුණු අතර හංගේරියාව පෝලන්ත වැසියන්ට සරණවීම ජර්මානුවන්ගේ සිත රිදවන කාරණයක් විය.

1956 දී හංගේරියාවේ බුඩාපේස්ට් වැසියන් බෙම් වීරයාගේ ප්‍රතිමාව වටා ඒකරාශි වූයේ රුසියාවේ බලපෑමට එරෙහිවය. එහි ප්‍රතිඵලය වූවේ 1956 දී ඇතිවූ හංගේරියානු ලේ හැළෙන විප්ලවයයි. විප්ලවයෙන් තුවාල ලද සිය ගණනක් වූ හංගේරියානුවන්ට රුධිරය පරිත්‍යාග කරන ලද්දේ පෝලන්ත වැසියන්ය. හංගේරියාවේ 1939 උපකාරයට පෝලන්තයෙන් 1956 දී ප්‍රතිඋපකාර ලැබුණේ එලෙසය. 2016 වසරේදී හංගේරියානු පාර්ලිමේන්තුව 2016 වසර හංගේරියානු පෝලන්ත මිතුදමේ හැටවැනි වසර ලෙස සැමරුවේය.

දෙරටේ මිත්‍රත්ව දිනය මාර්තු 23 වැනිදායි. වාර්ෂිකව එම දිනය උත්සවාකාරයෙන් දෙරටම සමරන්නේ ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන්ගේ පුරෝගාමිත්වයෙනි. වාර්ෂිකව එදිනට සිනමා නිෂ්පාදන, චිත්‍ර ප්‍රදර්ශන මඟින් හංගේරියාවේ සහ පෝලන්තයේ දිගු කාලීන මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කෙරේ. දීගතල මඟින්ද ඉපැරැණි පෙම අලුත් කරගන්නා දෙරටේ වැසියන් එකිනෙකා ගැන පවසන්නේ එකම වදනකි. ඒ අපි සදහටම මිතුරෝ යන්නයි.

පෝලන්ත හංගේරියානු මිතුදම තරමටම ගැඹුරු ‍නොවුණද චීනය සහ පකිස්තානය අතර පවතින මිතුදමද නරක නැත.

අමෙරිකාව සහ කැනඩාව භාෂාව, ආහාර, දේශසීමා, සංස්කෘතිය, නයගරා දියඇල්ල බෙදා හදා ගන්නේ අදක ඊයක සිට නොවේ. කැනේඩියානුවන්ගෙන් සියයට අසූවක් ජීවත් වන්නේ අමෙරිකානු දේශ සීමාවල සිට කිලෝමීටර් සියයක් ඇතුළතය. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සති අන්තයේදී සාප්පු සවාරි යන්නේ අමෙරිකාවේය.

කැනේඩියානුවන්ට අමෙරිකාවට යාමට වීසා අවශ්‍ය නැත. අමෙරිකාවද කැනඩාව විදෙස් රටක් ලෙස පිළිනොගනී. කැනඩාවට යන ඇමෙරිකානුවන්ට තමන් විදෙස් රටකට ගිය බවක් ද නොදැනෙයි.

අන්තර්ජාලයෙනි
ම්පිකා දීපානි රණසිංහ

නව අදහස දක්වන්න