කලා බාස්ලා නිසා ටිකක් නිහඬ වී හිටියා | දිනමිණ

කලා බාස්ලා නිසා ටිකක් නිහඬ වී හිටියා

සේමිනී ඉද්දමල්ගොඩ

පුංචි තිරයේ අපූර්ව රංගන කෞශල්‍යයක් විදහාපාන සේමිනී ඉද්දමල්ගොඩ, පසුගිය කාලය තුළ කලාවෙන් දුරස් වූ බවක් පෙනෙන්නට තිබුණි. වසර පහක නිහැඬියාවට විරාමය තබමින් ඈ, නැවතත් කරළියට පැමිණ සිටී. මේ කතාබහ ඇගේ නවතම සිනමා එළැඹුම 28 සහ දිවි තොරතුරු පිළිබඳ ය.

* ප්‍රසන්න ජයකොඩි නම් වූ ප්‍රවීණ නිර්මාණකරුවාගේ 28 සිනමා නිර්මාණය සමඟින් ඔබේ සම්ප්‍රාප්තිය පිළිබඳ කතා කළොත්?

මේ චිත්‍රපටයේ එක ම කාන්තා චරිතය රඟපාන්නෙ මම. එහි විශේෂත්වය වෙන්නේ, මම රඟපාන ‘සුද්දි’ නම් කාන්තා චරිතය මළමිනියක් වීමයි. ජීවතුන් අතරේ සිටින බොහෝ කාන්තාවන්ට කතා කළ නොහැකි හා කතා නොකරන පැත්තක් 28 චිත්‍රපටයේ ‘සුද්දි’ කතා කරනවා. මේ චිත්‍රපටය පුරාවටම තියෙන්නේ චරිත හතරක් විතරයි. මම හැරුණහම අනෙක් චරිත රඟපාන්නෙ, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල හා රුක්මල් නිරෝෂ්. මීට වසර පහකට විතර එහා මම නිහැඬියාවට පෙර අවසන් වරට දායක වූ නිර්මාණය තමයි 28 කියන්නේ.

* මේ වෙද්දි ඒ දිගු නිහැඬියාවට තිත තබලා වගේ?

පහුගිය කාලයේ මට හොඳ නිර්මාණ කිහිපයක්ම ලැබුණා. ඒ වගේම මට සෑහීමකට පත්විය හැකි හා එකඟ විය හැකි පසුබිමක් එම නිර්මාණ තුළ පැවැති නිසා, බොහොම කැමැත්තෙන් ඒවායේ රංගනයට මම එකඟ වුණා.

* උදාවන හෙට දවසේ ඔබගේ රංගනයෙන් හමුවන එම නිර්මාණ මොනවද?

ගිහාන් රෝහණගේ ‘මා ද ඔබම විය’ ටෙලි නාට්‍යයේ, තම ස්වාමියාගේ රැකවරණය වෙනුවෙන්, විවිධ ස්වරූපවලින් පෙනී සිටින බිරියකගේ චරිතයක් රඟපෑවා. මේ ටෙලි නාට්‍ය මේ වෙද්දි විකාශන අනුමැතිය සඳහා රූපවාහිනී නාලිකාවකට ලබාදීලා තියෙන්නෙ. බොහෝවිට ළඟදීම ප්‍රේක්ෂකයන්ට මේ නිර්මාණ දැකගන්නට ලැබෙයි. මී ළඟට සෝමලතා හේරත් මැණිකේගෙ ‘කතා කරන හීන’ ළමා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මට ඇරියුම් ලැබිලා තියෙන්නේ. ළඟදීම එහි වැඩ කටයුතු ඇරැඹීමට නියමිතයි. ඒ එක්කම සුනෙත් මාලිංගගේ ‘සිතැත්තී’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය මම රඟපානවා.

* ඒ කියන්නෙ ඔබ මේ දවස්වල කාර්යබහුලයි?

කාලෙකට පස්සෙ හොඳ නිර්මාණ ටිකක් එක්ක රැඳී ඉන්නවා. ඒ අතරම ‘හිරු මෙගා ස්ටාර්ස්’ සමඟත් මම ඉන්න නිසා, වැඩවලින් පිරුණු කාලයක් ගෙවන්නෙ. ඒත්, රංගනය පැත්තෙන් නම් මම හැමවිටම එක වරකට එක නිර්මාණයක් එක්ක විතරයි රැඳෙන්නෙ. එය මම ක්ෂේත්‍රයට ආ මුල් දිනවල පටන් රැකගෙන ආ ප්‍රතිපත්තියක්.

* කාලෙකට පස්සෙ රඟපාන්න ආවහම, එදාට වඩා වෙනස්කම් අත්වින්දද?

නැහැ. එදා වගේමයි. ඒත්, අලුත් පිරිසක් කලාවට සම්බන්ධ වෙලා. වෙනසකට තියෙන්නෙ, එදා අපි ගත්තට වඩා අඩු මුදලක්, අද අපි ගන්න එකයි.

* පසුගිය කාලයේ ඔබ නිර්මාණවලින් බැහැරව සිටියෙ ඇයි?

අර මම මුලින් කිව්වා වගේ සෑහීමකට පත්විය හැකි නිර්මාණවලට අැරියුම් ලැබුනෙ නැහැ. සමහර ඒවා මෙගා නාට්‍ය. අනෙක් කාරණය, පහුගිය කාලයේ මේ කලාව බාස්ලා කරන දෙයක් බවට පත්වෙලයි තිබුණෙ. මේ පසුබිම තුළ, නිහඬව ඉන්න එක හොඳයි කියලා මට හිතුණා.

* ගෙවී ගිය කාලය නිශ්පල හා හුදෙකලා කාල වකවානුවක්ද?

ඇත්තටම නැහැ. මම ඒ කාලය වැය කළේ මගේ දුවගේ ජීවිතයේ සුබසිද්ධිය වෙනුවෙන්. දැන් ඇය යෞවනියක්. අම්මා කෙනෙක් විදිහට මම නිරන්තරයෙන්ම ඇය අසලම රැඳුණා. මගේ දුවගේ හොඳ ම යෙහෙළිය වෙන්න මට පුළුවන් වුණා. ඒ වගේම, මේ කාල වකවානුව මම බොහෝ දුරට චිත්‍රපට නරඹන්න වැය කළා. ඒ නිසා එය මට, හොඳ හැදෑරිමක් වෙනුවෙන් ගතවුණ කාලයක් කියලා මං හිතනවා.

* රංගනයෙන් ඈත්විම, ඔබේ ආර්ථිකයට බලපෑම් කළේ නැද්ද?

රඟපෑම මගේ රැකියාව නෙමෙයි. මම කලාවේ රැඳෙන්නෙ විනෝදාංශයක් හා මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නයි. ඒත්, මම කලාවෙන් මුදල් හම්බ කරලා තියෙනවා. මම දැනට පෞද්ගලික ආරක්ෂක අංශයට සම්බන්ධ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. එයට මගේ සැමියා ධම්මික මට උදවු කරනවා.

මම හිතනවා ඕනෑම කෙනෙක් කලාව තම ආත්ම තෘප්තිය හා හැකියාවෙන් පල ලබා ගන්නා තැනක් කර ගත්තා නම්, කලාවට මේ වගේ නපුරු කල දසාවක් උදා නොවෙන්න තිබුණා.

* මවගේ චරිතය හෝ වියපත් කාන්තාවකගේ චරිතයක් රඟපෑමට ලැබීම ගැන ඔබ මොකද හිතන්නේ?

මට අවුරුදු විසි ගණන්වලදිත් මම වියපත් චරිත රඟපෑවා. කාලයක් මම පෙම්වතියගේ චරිතය රඟපෑවා කියලා තව දුරටත් මට එවැනි චරිතම ලැබිය යුතුයි කියලා දෙයක් නැහැ. අලුතෙන් දක්ෂ තරුණ පිරිස් ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. ඒ අයට එදා අපි කළ තරුණ චරිත සඳහා ඉඩ දිය යුතුයි. මම වියපත් කාන්තාවගේ චරිතය බාර ගන්නවා. ඒත්, මගේ චරිතය නිර්මාණය තුළ කේන්ද්‍රගත චරිතයක් විය යුතුයි. මෙයින් මම අදහස් කරන්නෙ ප්‍රධාන චරිතය ලැබිය යුතුයි කියලා නෙමෙයි. එය නිර්මාණය තුළ යම් මෙහෙයක් කරන චරිතයක් විය යුතුයි කියන එකයි.

* පසුගිය කාලය ඔබ නිහඬව ගෙව්වා කියා පැවසුවාට, එවැනි නිහඬ බවක නොසිටියා කියලයි හැගෙන්නේ?

සමහරු මම පහුගිය කාලයෙ රඟපෑවේ නැහැ කියලා දන්නෙ නැති තරම්. මීට එක හේතුවක් වුණේ, මම කරපු හැම චරිතයක්ම කැපවීමෙන් හරියට කළ නිසා, ඒවා තවමත් ප්‍රේක්ෂකයන්ගෙ මතකයෙ රැඳී තිබීමයි. අනෙක මම මහ පොළොවෙ පය ගහලා ඉන්න කරුණාවන්ත, සුහදශීලී චරිතයක්. එහෙම කියලා අසාධාරණය ළඟ නම් නිහඬව ඉන්නෙ නැහැ. බොහෝ දෙනෙක් මා තේරුම් අරන් ඉන්නෙ කියලා මම හිතනවා.

* ඔබගේ රංගන දිවිය ආලෝකවත් කළ චරිත ලෙස දකින්නෙ?

ක්ෂේත්‍රයට ඇවිත් ගතවූ විසි අවුරුද්ද පුරාම, මම කළ හැම චරිතයක්ම මගේ මතකයේ රැඳී තිබෙනවා. ඒ අතරින් ‘නේත්‍රා මංගල්‍යයේ පුණ්ණි’, ‘යර්ස් බොස් හි රෝෂනී’ගේ චරිතවලට මම කැමැතියි. කළුවර ගෙදර, ස්වයංජාත වැනි නිර්මාණ මම බොහොම වෙහෙස වෙලා කළ නිර්මාණ. එම කැපකිරීම් මගේ මතක‍යේ තියෙනවා.

* රංගන දිවියේ ඉදිරි බලාපොරොත්තු හෝ ඉලක්ක තියෙනවද?

නැහැ. එහෙම මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. සම්මාන බලාගෙන මම රඟපාන්නෙත් නැහැ.

 

ධම්මිකා සුරංජි පතිරණ
ඡායාරූප ස්ටීව් ආන්ජලෝ

නව අදහස දක්වන්න