විකිලීක්ස්ගේ 'වෝල්ට් 07න් CIA නිරුවත් වෙයි | දිනමිණ

විකිලීක්ස්ගේ 'වෝල්ට් 07න් CIA නිරුවත් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධානයේ රහසිගත තොරතුරු රැසක් සහ විද්‍යුත් උපාංගවලට පිවිස තොරතුරු ලබාගැනීම සඳහා එම සංවිධානය යොදාගත් ක්‍රමවේද රැසක් අනාවරණය කිරීමට විකිලීක්ස් වෙබ් අඩවිය කටයුතු කර ඇත.

විකිලීක්ස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම රහසිගත තොරතුරු අනාවරණය කිරීම මෙතෙක් ඉතිහාසයේ සී.අයි.ඒ සංවිධානයේ විශාලතම රහසිගත තොරතුරු හෙළිදරවු කිරීම බවයි.

ජංගම දුරකතන, සන්නිවේදන මෘදුකාංග සහ අනෙකුත් විද්‍යුත් උපාංගවලට අනවසරයෙන් පිවිස දත්තා එක්රැස් කිරීමේ කටයුතුවල යෙදීම සඳහා ඇමෙරිකාවේ සී.අයි.ඒ සංවිධානය භාවිත කළ ක්‍රමවේ ද මේ අනුව විකිලීක්ස් වෙබ් අඩවිය විසින් අනාවරණය කර තිබේ.

මේ වනවිට විකිලීක්ස් වෙබ් අඩවිය ලියකියවිලි දහස් ගණනක් හෙළිදරවු කර ඇති අතර සි.අයි.ඒ සංවිධානය බ්‍රිතාන්‍ය බුද්ධි අංශය හා එක්ව ස්මාර්ට් රූපවාහිනි වැඩිදියුණු කරන ලද නීරික්ෂණ උපාංග ලෙස යොදාගත් අයුරුත් තොරතුරු එක්රැස් කිරීම සඳහා යොදාගත් අනෙකුත් තාක්ෂණික ක්‍රම සම්බන්ධයෙනුත් මේ ඔස්සේ විශේෂයෙන්ම අවධානය යොමු කර ඇත.

මෙම තොරතුරු අනාවරණය කිරීම් විකිලීක්ස් විසින් 'වෝල්ට් 07' යනුවෙන් නම් කරනු ලැබ තිබේ.

මෙම අනාවරණය ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික රහස්‍ය සංවිධානවලට ඩිජිටල් යුගයේදීත් තම රහස්‍ය තොරතුරු ආරක්ෂා කරගැනීමේ නොහැකියාව පෙන්නුම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබිණි.

(ද ගාඩියන් ඇසුරිනි)

නව අදහස දක්වන්න