කුඩු නැති සාගරය! | දිනමිණ

කුඩු නැති සාගරය!

 ඉන්දීය සාගර කලාපීය සහයෝගීතා සංගමයේ 20 වන සමුළුවේ දී හොඳ ම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අපේ ජනාධිපතිවරයා යැයි කිව හැකි ය. එම යෝජනාවෙන් කියැවෙන්නේ සාගරය ඔස්සේ බලවත් සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමට ඉතා ඉක්මනින් පිළියම් යෙදිය යුතු බව ය. ඉන්දියන් සාගරය ඔස්සේ ඉතා විශාල කර්මාන්තයක් සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කෙරේ. සෑම රටක ම පාහේ ශක්තිමත් නාවික හමුදාවක් ඇතත්; වෙරළ ආරක්ෂණ ක්‍රමවේදයක් ඇතත් මත්ද්‍රව්‍ය ජාවාරම බරපතළ ලෙසින් සිදුවෙයි. ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ප්‍රධාන මාධ්‍යයක් ලෙස ද නාවික ක්ෂේත්‍රය පවතී.

ඉන්දීය කලාපීය සාගරය රටවල් 21ක් ආවරණය කරන අතර තවත් රටවල් හතකට ද මේ සාගර කලාපය සම්බන්ධය. මේ සෑම රටකම පාහේ මත්ද්‍රව්‍ය වෙළෙඳාම පවතී. ඉන්දුනීසියාව වැනි රටවල් මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා දැඩි නීති - රීති හඳුන්වා දී ඇතත් ප්‍රශ්නය මුළුමනින් ම අවසන් වී නැත. පාකිස්ථානය, ඉන්දියාව, බංගලිදේශය, ශ්‍රී ලංකාව, මැලේසියාව වැනි රටවල් මත්ද්‍රව්‍ය උවදුරෙන් හෙම්බත් වූ රටවල් ලෙස හැඳින්විය හැකි ය. ගුවන් මගින් කෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අල්ලා ගත හැකි වුව මුහුදු මගින් කෙරෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අල්ලා ගැනීම දුෂ්කර ය. මේ ප්‍රවාහනය සඳහා රහසිගත මුහුදු මාර්ග ඇති බව හෙළිදරව් වී ඇත.

ජනාධිපතිවරයා ඉහත යෝජනාව සිදු කරන්නේ ගැටලුව හොඳින් වටහාගෙන ය. එම යෝජනාව මූලික වශයෙන් අංශ දෙකකින් සමන්විත ය. පළමු අංශය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සඳහා ශක්තිමත් නෛතික රාමුවක් ඇති කිරීම ය. ඒ සඳහා සාමූහිකව ක්‍රියාකිරීම වඩා වැදගත් ය. ඇතැම් රටවල තදබල නීති ඇතත් ඒවා හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. දෙවන අංශය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ක්‍රියාකාරී සැලැසුමක් ඇති කිරීම ය. එය ඉතා වැදගත්ය. මින් අදහස් කරන්නේ සාගර කලාපයේ මෙහෙයුම් සිදුකළ හැකි සාමුහික ක්‍රියාවලියක් ඇතිකිරීම ය. මේ සඳහා සියලු රටවල නාවික හමුදාව යොදා ගත හැකි ය.

ඉන්දීය සාගර කලාපය එක අතෙකින් ඕස්ට්‍රේලියානු මහාද්වීපය කරා පැතිර යයි. තව අතෙකින් එය අප්‍රිකානු මහාද්වීපය තෙක් ව්‍යාප්ත වී ඇත. ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති භූමි කලාපය ස්පර්ශ කරන ඉන්දියන් සාගරය තවත් අතෙකින් ලෝකයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහිත භූමි කලාපයට ද හිමිකම් කිය යි. ලෝකයේ වැඩ අධික ම හා ප්‍රධාන ම නාවික මාර්ග කිහිපයක් ඇත්තේ ඉන්දියන් සාගරය තුළ ය. තෙල් ප්‍රවාහනය බහුල ලෙසින් සිදුවන්නේ ද ඉන්දියන් සාගරය ඔස්සේ ය. මෙබඳු කලාපයක් ආරක්ෂා කිරීම පහසු නොවූවද එය අවශ්‍යයෙන් ම සිදුවිය යුත්තක් සේ පෙන්වා දිය හැකි ය.

ලතින් අමෙරිකානු රටවල් ගණනාවක මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ රජයේ හමුදා සමඟ මුහුණට - මුහුණලා සටන් කරති. එම රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ත්‍රස්තවාදී සංවිධානවලට සමාන වෙති. ආසියාතික රටවල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් ඒ තරමට ම ප්‍රබල නැති වුව දැන් ශීඝ්‍රයෙන් තම බලය තහවුරු කරගන්නා බවක් පෙනෙන්නට තිබේ. මෙලෙස බලය තහවුරු කරගැනීම සිදුවන්නේ එකිනෙක රටවල ජාවාරම්කරුවන් එකිනෙකා සමඟ සබඳතා පවත්වා ගනිමින් ය. මෙයින් පෙනී යන්නේ බරපතළ අනතුරක පෙර ලකුණු ය. මේ ජාවාරම්කරුවන් අතට විශාල වශයෙන් මුදල් ගලා එන අතර ඒවා මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා පුළුල් ලෙස යොදා ගැනේ. ඔවුන් ජාලගත වී ඇතැ’යි සිතීම ඉතා නිවැරැදිය.

රටක ජාතික ආදායමට සමාන වත්කම් ඇතැම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ළඟ ඇතැ’යි සිතන්නට පුළුවන. ඇතැම් ජාවාරම්කරුවන් කිසිසේත් ම හඳුනාගත නොහැකි ය. ඔවුන් නාවික යාත්‍රාවලින් සංචාරය කරමින් ද සුඛෝපභෝගී ජීවිත ගත කරමින් ද ලෝක‍යට වෙනස් මුහුණුවරක් පෙන්වන බව හෙළිදරව් වී ඇත. සාගර කලාප ඔවුන්ගේ නිදහස මෙන් ම ජාවාරමද තහවුරු කර ඇතැ’යි සිතන්නට පුළුළුන. පැතිර ගිය විශාල මුහුදු කලාපයක් ඇති බැවින් මේවා නිරීක්ෂණය කිරීම අපහසු ය. තව අතෙකින් ජාවාරම්කරුවන් නව මුහුදු මාර්ග සොයාගෙන ඇති බවද හෙළිදරව් වී ඇත. මෙයින් පෙනී යන්නේ විමර්ශනය කිරීමේ ඇති දුෂ්කරතාව යි.

සාමූහිකව ක්‍රියා නොකරන්නේ නම් මේ ගැටලුව විසැඳීම හැම අතින් ම අපහසු ය. ජනාධිපතිවරයා කරන යෝජනාව සාර්ථක කරගත හැකි සාධනීය ලක්ෂණ ගණනාවක් ම පවතී. එක අතෙකින් රටවල් විසි එකක නාවික හමුදා සහයෝගයෙන් ක්‍රියා කළහොත් විශාල සාගර කලාපයක් ආවරණය කළ හැකි ය. තවත් රටවල් හතක සහයෝගය ද මේ සඳහා ලබාගත හැකි ය. මේ රටවල්වල තෝරාගත් කණ්ඩායම් මෙහෙයුම් සඳහා යොදා ගත හැකි ය. මේ හැරෙන්නට අන්තර්ජාතික සංවිධානවල සහයෝගය ද අපට ලබා ගත හැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම මුළු මහත් ලෝකයට ම හිසරදයක් බැවින් එම සහයෝගය නොඅඩුව ලැබෙනු ඇත.

මුහුදු කොල්ලකරුවන්ගේ ප්‍රශ්නයට ද සාගර ත්‍රස්තවාදය පිළිබඳ ගැටලුවට ද මේ මගින් යම් විසැඳුමක් ලැබෙනු ඇතැ’යි සිතන්නට පුළුවන. මේ ගැටලු දෙක ම දැන් ඉන්දියා සාගර කලාපයට ඇතුළු වී තිබේ. තෙල් නැව් කොල්ලකෑම හා කප්පම් ගැනීම ද සිදුවන බව රහසක් නොවේ. ශ්‍රී ලාංකිකයන් නම දෙනකු ද මෑතකදී ප්‍රාණ ඇපයට ගෙන තිබිණි. ඔවුන් නිදහස් වී පැමිණියේ දින 152 කට පසුව ය. මීට පෙර ද මෙබඳු සිද්ධි කිහිපයක් වාර්තා වී තිබිණි. මුහුදු කොල්ලකරුවන්, ත්‍රස්තවාදී කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එකට වැඩ කරන අවස්ථාද තිබේ. කුමක් වුව මේ සංවිධානවල ක්‍රියාකාරකම් එක සමාන ය. මේ සියලු කල්ලි මර්දනය කළ යුතුව තිබේ.

ජනාධිපතිවරයාගේ යෝජනාවට ඉතා ඉහළ ප්‍රතිචාරයක් ලැබුණු බව වාර්තා වී ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කර ඇත්තේ අපේ කලාපයට බරපතළ උවදුරක් වී ඇති මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැළැක්වීමට අදාළ සුදුසු ම යෝජනාවකි. ජකර්තා නුවර පැවැති රාජ්‍ය නායක සමුළුවේ පළමු දේශනය ලැබී ඇත්තේ ද අපේ ජනාධිපතිවරයාට ය. මේ කලාපයේ රටවල් ශ්‍රී ලංකාව හා එහි රාජ්‍ය නායකයාට ඉහළ ම පිළිගැනීමක් ලබාදීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව දෙස මේ කලාපයම මහත් උනන්දුවකින් බලාසිටින බව ය.

නව අදහස දක්වන්න