නිල් මහ සටන එක්දින ජය සා.තෝමස් පිලට | දිනමිණ

නිල් මහ සටන එක්දින ජය සා.තෝමස් පිලට

සුලෝචන ගමගේ
සා.තෝමස් නායක රොමේෂ් නල්ලප්පෙරුම 1991 වසරේ රාජකීය විදුහල් ක්‍රිකට් පිලේ නායකයා ලෙස කටයුතු කළ රොහාන් ඊරියගල්ල මහතා අතින් ජයග්‍රාහී කුසලානය ලබාගත් අයුරු. සාන්ත තෝමස් විද්‍යාලාධිපති මාර්ක් බිල්මෝරියා පියතුමා, රාජකීය විදුහල්පති බී.ඒ.අබේරත්න සහ ඩයලොග් ඒසියාටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී අමලී නානායක්කාර මහත්ම මහත්මිහු ද මෙහි වෙති.

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර පැවැති 42වැනි නිල් මහ සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක ජයක් අත්කර ගැනීමට සා.තෝමස් විදුහල සමත් විය.

එස්.එස්.සී පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සාන්ත තෝමස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 258ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය රාජකීය පිල ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 247ක් පමණි.

සාන්ත තෝමස් පිල වෙනුවෙන් රවිඳු කොඩිතුවක්කු පන්දු 113කදී හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 95ක් රැස්කළ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ‍රොමේෂ් නල්ලප්පෙරුම ලකුණු 53ක් (පන්දු 70, 4x3) වාර්තා කළේය. ඔවුන් දෙදෙනා සිවුවැනි කඩුල්ල ලකුණු ලකුණු 73ක් එක් කළහ. පන්දු යැවීමේදී හේලිත විතානගේ කඩුලු 4ක් බිඳ දැමීමට සමත් විය.

තෙවිඳු සේනාරත්න ලකුණු 71ක් රැස්කරමින් රාජකීය පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. පන්දු 69කට මුහුණදුන් ඔහු හතරේ පහර 8ක් හා හයේ පහර 3ක් ඉනිමට එක්කර ගත්තේය.

තරගයේ වීරයා සම්මාන සාන්ත තෝමස් විදුහලේ රවිඳු ‍කොඩිතුවක්කුට හිමිවිය.

සා.තෝමස් - 258/7 (ඕවර 50) රවිඳු කොඩිතුවක්කු 95, රොමේෂ් නල්ලප්පෙරුම 53, ඉෂේන් පෙරේරා නොදැවී 36 (හේලිත විතානගේ 42/4, ගනිත් සන්දීප 45/2)

රාජකීය - 247/9 (ඕවර 50) තෙවිඳු සේනාරත්න 71, ලකිඳු නානායක්කාර 44, හේලිත විතානගේ 33 (පවිත් රත්නායක 37/3, කලණ පෙරේරා 47/2)

නව අදහස දක්වන්න