ඩී. එස්-මහානාම ‘රන් සටන’ මහා තරගය අද සහ හෙට | දිනමිණ

ඩී. එස්-මහානාම ‘රන් සටන’ මහා තරගය අද සහ හෙට

ප්‍රින්ස් ගුණසේකර
කොළඹ ඩී. එස්. සේනානායක ක්‍රිකට් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට)- ඩිලාන් රත්නායක මහතා (පුහුණුකරු), තත්සර බණ්ඩාර, විහාන් ගුණසේකර, කපිල ප්‍රදීප් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ටොරින් පිටිගල (නායක), ආර්. එම්. එම්. රත්නායක මහතා (විදුහල්පති), ෂේශාද් අමීන් (උප නායක), අයි. එස්. කුලතුංග මහතා (නියෝජ්‍ය විදුහල්පති), නිහාල් ප්‍රනාන්දු මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), ගීතාංජන ඩැනියල් සහ හසිත් දිල්හාර මහතා (සහය පුහුණුකරු), පසු පෙළ (වමේ සිට)- දීමන්ත කෞෂල්‍ය, ඉනෝෂ් ගුණවර්ධන, ශෂික ළහිරු, පසිඳු ආදිත්‍ය, මෙත්සිත් ජයමාන්න, කවිඳු දිල්ෂාන්,

කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර 11 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද සහ හෙට (24-25) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරග ඉතිහාසයේ මේ දක්වා පැවැති තරග 10කදී ඩී. එස්. සේනානායක විදුහල 2014 මහා තරගය ජය ලබා ඇති අතර ඉතිරි තරග ජයපරාජයෙන් තොරව අවසන් වී තිබේ. එක්දින ගැටුම් 6ක් මහානාමය ජය ලබා ඇති අතර 4ක් ඩී. එස්. විදුහල ජය වාර්තා කළේය.

ඩී. එස්. සේනානායක විදුහලෙන් ටෙස්ට් ක්‍රීඩකයන් රැසක් බිහිකර ඇති අතර සුපිරි පිතිකරුවන්වූ අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න හා පුබුදු දසනායක ඉදිරියෙන්ම සිටිති. එයට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කළ බිනුර ප්‍රනාන්දු, කෝසල කුරුප්පුආරච්චි, නවීඩ් නවාස් හා ඉසුරු උදාන යන ක්‍රීඩකයන් ද ඩී. එස්. සේනානායක විදුහලෙන් බිහිවූහ. කොළඹ මහානාම විදුහලෙන් ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා ශ්‍රි ලංකා ක්‍රිකට් පිලට එක්වූ සුපිරි තරුවේ.

මෙවර තරගායේදී ඩී. එස්. සේනානායක ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ටොරින් පිටිගල ද, මහානාම විදුහල් ක්‍රිකට් නායකයා ලෙස මලිඳු මධුරංග ද කටයුතු කරති.

මහානාම විදුහල් ක්‍රිකට් පිල මේ තරග වාරයේ තරග 12 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ 3 ක් ලබා ගැනීමට සමත්ව සිටින අතර ඩී. එස්. සේනානායක විදුහල තරග 14කදී පූර්ණ ජයග්‍රහණ 2ක් හා මුල් ඉනිමේ ජයග්‍රහණ 6ක් ලබා ඇත.

මහානාම ක්‍රිකට් නායක මලිඳු මධුරංග මේ තරග වාරයේ ලකුණු 960 ක් රැස්කර ඉද්රියෙන්ම සිටින අතර හේෂාන් නිකිල ලකුණු 560ක්, උප නායක කවිඳු විලෝචන ලකුණු 510ක් හා දිනුක වැලිකළ ලකුණු 440ක් රුස්කළ මහානාම පිතිකරුවෝ වෙති.

ශ්‍රී ලංකා වයස 15 න් පහළ කණ්ඩායමේ නායකත්වය දරණ 14 හැවිරිදි පවන් රත්නායක පිළිබඳ මේ මහා තරගයේදී වැඩි බලාපොරොත්තු තැබීම විශේෂත්වයකි. ඔහු මේ තරග වාරයේ ලකුණු 500 ක් ඉක්මවා රැස්කරමින් කාගේත් අවධානය දිනා ගැනීමට සමත්ව සිටී. වමත් දඟ පන්දු යවන අෂාන් සංදීප කඩුලු 56ක් දවාගෙන වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටී. ඩී. එස්. සේනානායක විදුහලේ විහාන් ගුණසේකර මේ තරග වාරයේ ලකුණු 610 ක් රැස්කරමින් එයට ශතකයක් හා අර්ධ ශතක 2ක්ද සමග වැඩිම ලකුණුලාභියා බවට පත්ව සිටී. උප නායක ෂේශාද් අමීන් ශතකයක් හා අර්ධ ශතකයක් ද සමග ලකුණු 602ක්, මේ තරගවාරයේ ශතකලාභීන් බවට පත්වූ දසුන් දිමාෂ ලකුණු 546ක්, ශෂික ළහිරු ලකුණු 507 ඉදිරියෙන් සිටින පිතිකරුවෝ වෙති. එමෙන්ම මුදිත ලක්‍ෂාන් ලකුණු 421 හා පසුදි චානක ලකුණු 370ක් ලබා ඇත.

මුදිත ලක්‍ෂාන් මේ තරග වාරයේදී කඩුලු 69 ක් දවා ඇති අතර විහාන් ගුණසේකර කඩුලු 48 ක් දවාගෙන තිබේ.

ඩී. එස්. සේනානායක විදුහලේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අප්‍රේල් මස 9 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස එක්දින තරගය සංවිධාන කර තිබීම විශේෂත්වයකි.

නව අදහස දක්වන්න