ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව | දිනමිණ

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව

ගොඩගම - ප්‍රියංගි ජයසිංහ

වාර්තා ලබා දෙන්නැයි බන්ධනාගාර අධිකාරී හා හමුදාපතිට යළිත් නියෝග

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී තිබුණු නියෝගයකට අනුව බන්ධනාගාර අධිකාරීවරයා නොව වෙනත් නිලධාරියකුගේ අත්සනින් යුතුව එම වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ බැවින් එම නියෝගය ද හමුදාපතිවරයාට ද මෙම සිද්ධියට අදාල සිම් කාඩ් 2ක තොරතුරු ලබාදෙන ලෙස දී තිබුණු නියෝගයට අනුව එම වාර්තාවද අඩුපාඩු සහිතව ලබාදී තිබුණු බැවින් හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් පෙරේදා (22) යළිත් එම නියෝගයම හමුදාපතිවරයාටත් බන්ධනාගාර අධිකාරිවරයාටත් නිකුත් කළේය.

2010 ජනවාරි 25 දින හෝ ඒ ආසන්න දිනක මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවටගෙන බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස්වී සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන් බී -7417 යන නඩුඅංකය යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුව පෙරේදා (22) දිනද එම අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත් උදය රණතුංග මහතා වෙත මෙම නඩුව පිළිබඳ වැඩිදුර කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ප්‍රකාශකර සිටියේ මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයේ සිටි අවස්ථාවේ ඔවුන්ට කෑම සැපයූවේ කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු වාර්තාවක් ලබාදී තිබුණු බවත් එම වාර්තාව බන්ධනාගාර අධිකාරිවරයා නොව වෙනත් නිලධාරියකු විසින් අත්සන් කර ඒවා තිබු බවත් මෙම සිද්ධියට අදාල සිම් කාඩ් පිළිබඳව තොරතුරු වාර්තාවක් ලබාදෙන ලෙස හමුදාපතිවරයාට ද නියෝගයක් නිකුත් කළත් එම ලබාදුන් වාර්තාව ද අඩුපාඩු සහිතව තිබෙන බැවින් යළිත් එම නියෝගයම ලබාදෙන ලෙසයි.

මෙම නඩුවේ සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් උදය රණතුංග මහතා මෙම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතුවලට අවශ්‍ය වැඩිදුර වාර්තා සඳහා අධිකරණ ඉල්ලීම් ලබාදෙමින් යළි මෙම නඩුව මැයි මස 4 වැනි දිනට කල්තබන ලද අතර මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර, උප පොලිස් පරීක්‍ෂක ප්‍රේමතිලක මහතා ඇතුළු නිලධාරීහු පෙනීසිටි අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් ලාල් කුලරත්න දර්ශන කුරුප්පු රසික සිරිවර්ධන ඇතුළු නීතීඥවරු පෙනී සිටියහ. 

නව අදහස දක්වන්න