ජනාධිපති සිනමා සම්මාන උළෙල මේ වසරේ අභිමානවත් | දිනමිණ

ජනාධිපති සිනමා සම්මාන උළෙල මේ වසරේ අභිමානවත්

අනුර ප්‍රේමලාල්

සිනමා කර්මාන්තයේ සංවර්ධනය හා කලාකරුවන් දිරි ගැන්වීමේ සැබෑ වුවමනාවන් තේරුම්ගෙන වසර අටක් නොපවත්වා තිබු ජනාධිපති සිනමා සම්මාන 2017 අති උත්කර්ශවත් හා අභිමානවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේබව සඳහන් කළේ ඉකුත්(22) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගණි සිනමාශාලාවේ පැවැති 18වෙනි ජනාධිපති සිනමා සම්මාන 2017 හැත්තෑවසරක ශ්‍රී ලාංකේය සිනමාභිනන්දනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කීය...........ලබන (31) සවස 6.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ශවත් හා විචිත්‍රවත් අයුරින් ජනාධිපති සිනමා සම්මාන 2017 උළෙල පැවැත්වීමට කටයුතු ලහිලහියේ සංවිධානය කෙරෙන අතර මෙවර කලාකරුවන්ට සිංහ තිළිණවලට අමතරව මුදල් ත්‍යාග වැඩිකර තිබෙනවා.

මේ වසර දේශීය සිනමාවට අනුස්මරණීය වැදගත් වසරක් ලෙස හැඳන්විය හැකියි. පළමුවෙන් තිරගතවු කඩවුණු පොරොන්දුව චිත්‍රපටයට වසර හැත්තෑවක් පිරෙනවා, සිංහල සිනමාවේ අද්විතීය චිත්‍රපටය ලෙස හැඳින්වෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ රේඛාව සිනමාපටය තිරගතවි වසර හැටක් සම්පූර්ණ වුණා, එමෙන්ම දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් පිහිටුවු ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කොට මේ වසරේදි වසර හතිළිස් පහක් පිරුණා. සිනමාවේ ප්‍රධාන පුද්ගලයා වන්නේ ප්‍රේක්ෂකයා ඔවුන් සිනමාව නරඹන ස්ථානය සිනමාශාලාවයි. ඒවා වර්තමානයට ගැලපෙන ඩිජිටල් කරණය කිරීමේ වැඩපිළිවෙලට මුලපුරා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රයක් මා විසින් ප්‍රකාශයට පත්කර තියෙනවා. ඊට ඕනෑම අයකුට අදහස් ලබාදී සම්බන්ධවි එම කාර්යය සිදුකළ හැකියි.

දේශීය සිනමාවේ වසර හැත්තෑවක ගමන්මග දෙස ආපසු හැරි බැලුවොත් අපි විවිධ අවස්ථාවලදි සුවිශේෂි ජයග්‍රහණ ලබාගත්තා වගේම විවිධ පසුබෑම්වලටත් මුහුණදී තියෙනවා. මෙරට තිබු තුන්සිය අසුවක් පමණවු සිනමාශාලා වසර 2014 අවසානය වන විට ඉතිරිවි තිබුණේ එකසිය අසුහයක් වගේ ප්‍රමාණයකී. ඕ්නෑම කර්මාන්තයක හා කලාවක ඉදිරියට යෑමට අවශ්‍යනම් ඒ ක්ෂේත්‍රෙය් සිටින අය ඇගයීමක් කළ යුතුයි. කලාකරුවන්ට සම්මාන ලබාදීම අද ඊයේ පටන්ගත් එකක් නොවේ එදා රජ දවසේත් කලාකරුවන් ඇගයීමට ලක් කෙරුණා. 1979දී සුවිශේෂි සිදුවීමක් වුණා එවකට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා තීරණය කළා කලකරුවන් ඇගයීමට ජනාධිපති සිනමා සම්මාන උළෙලක් පැවැත්විය යුතුයි කියලා. නමුත් අවාසනාවන්ත ලෙස 2007න් පසු පවත්වන්න නොහැකිවි තියෙනවා. ඒ අනුව අපි කල්පනා කළා කලාකරුවන් දිරිගැන්වීම සඳහා ජනාධිපති සම්මාන උළෙල මෙවර පැවැත්විය යුතුයි කියා. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා දේශීය සිනමාවේ උන්තිය ගැන හිතනවා. අපට හැකිවුණා ඉකුත් වසරේ අයවැයෙන් රුපියල් මිලියන සීයක් වෙන්කර ගෙන සිනමා පාසැලක් හා චිත්‍රපට සංරක්ෂණාගාරයක් ඇති කිරීමේ වැඩපිළිවෙලට මුලපුරන්න.

මම ජනමාධ්‍ය ඇමති ලෙස වැඩබාරගත් දිනයේදිම කී කතාවක් තමයි මෙම සිනමා සම්මාන උළෙලවල් පැවැත්විය යුතු බව එහිදි නිරහංකාර සතුටක් දැනෙනවා ඉකුත් දෙසැම්බරයේදි ජනමාධ්‍ය අමත්‍යාංශය හා ලේක්හවුස් ආයතනය එක්ව යළි සරසවි සම්මාන උළෙල පැවැත්වීම ආරම්භ කිරීම. මෙය අගමැතිතුමාගේ ප්‍රධානත්වයේන් නෙළුම්පොකුණ රඟහලේ පැවැත්වුණා. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශිර්වාදයෙන් හා එතුමාගේ සම්භාවනීය සහභාගිත්වයෙන් අටවසරකට ජනාධිපති සම්මාන උළෙල පැවැත්වෙන අතර මෙය අඛණ්ඩව වාර්ෂීකව ක්‍රමානුකූලව පැවැත්වීම අපේ අරමුණයි. මෙය නව මුහුණවරකින් පවත්වන්න කටයුතු යොදා තියෙනවා. එහිදි සම්මානවලට අමතරවමූල්‍ය ත්‍යාග වැඩිකොට තිබෙන අතර එයින්ද කලාකරුවන් ඇගයිමට බලාපොරොත්තු වෙනවා.

මෙහිදි සම්මාන විසිපහක් පිරිනැමෙන අතර වසර 2015දී තිරගතවු චිත්‍රපට පදනම් කරගෙන සම්මාන ලබාදීම සිදු කෙරෙනවා. ඒ අනුව හොඳම චිත්‍රපටය,හොඳම අධ්‍යක්ෂ,හොඳම තිරරචක,හොඳම නළුවා,හොඳම නිළිය,හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය,හොඳම කැමරා අධ්‍යක්ෂ,හොඳම ගීත රචක,හොඳම සංගීත අධ්‍යක්ෂ,හොඳම චිත්‍රපට ගීතය,හොඳම පසුබිම් ගායකයා, හොඳම පසුබිම් ගායිකාව,හොඳම සංස්කාරක,හොඳම ශබ්ද සැලසුම් ශිල්පි, හොඳමකලා අධ්‍යක්ෂ, හොඳම වේශ නිරුපණ ශිල්පි, හොඳම නැගි එන නළුවා,හොඳම නැගි එන නිළිය,ජූරියේ විශේෂ සම්මාන,විශේෂ කුසලතා සම්මාන හතක්,උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද සිනමාපටය, විශ්ව කීර්ති සම්මානය,ස්වර්ණ සිංහ සම්මාන හයක්,පුරෝගාමි සම්මාන අටක් පිරිනැමෙනවා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා........මෙම සම්මාන උළෙල ජනමාධ්‍ය අමත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව පවත්වන්න කටයුතු සංවිධානය කෙරෙනවා. මෙරට පැවැත්වෙන සියලුම සම්මාන උළෙලවල් සිනමා කර්මාන්තය භාරව තිබෙන අමත්‍යාංශය ලෙස අගය කරනවා. එනමුත් මේ ජනාධිපති සම්මාන උළලේ යම් විශේෂත්වයක් තියෙනවා එනම් රටේ රජ්‍ය නායකයා අතින් ලබන සම්මානය වීමයි. විවිධ හේතුන් මේ සම්මාන උළෙල අඛණ්ඩව පැවැත්වීමට නොහැකිවි තියෙනවා. නමුත් වත්මන් ඇමති ගයන්ත කරුණාතිලක මහතා එම ධූරයට පත්වනවිට අදාල ක්ෂේත්‍රවල පැවැත්වෙන සියලු ඇගයීම් වෙනුවෙන් සිදුකරන සම්මාන උළෙලවල් පැවැත්වීමට කටයුතු කරන බව පැවසු අතර එය දැන් ඉටුකරමින් සිටිනවා. අපේ සිනමා කර්මාන්තය පිළිබඳ මිශ්‍ර ප්‍රතිචාර ලැබෙන කාලයකයි සිටින්නේ හොඳ නරක දෙකම ලැබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යාන්තරයේ සම්මානයට පත් නිර්මාණද මෑත කාලයේ බිහිවුණා. මේ ක්ෂේත්‍ර යේ ලොකු තාක්ෂණික පෙරළියක් සිදුවෙනවා. අපේ තරුණ අය මෙය ග්‍රහණය කරගෙන කලාවත් සමග මුසු කරමින් තව නිර්මාණ බිහිකරන්න පියවර ගනිමින් සිටිනවා. සම්ප්‍රදායික තේමාවන් අතික්‍රමණය කරමින් නව තේමාවන් සොයා යන ස්වරුපයක් පේනවා. මේ සාධනීය තත්ත්වයන් ගැන සිතමින් රජයක් ලෙස අපි කල්පනා කරනවා මේ ක්ෂේත්‍රෙය් විවිධ අංශවල සිටින අය ජයග්‍රාහි ලෙස ඇගයීමක් අවශ්‍ය බව එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආකල්පයයි ඒ අනුව යමින් තමයි මේ සම්මාන උළෙල වසර අටකට පසු සංවිධානය කෙරෙන්නේ.

සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය ඇමති රංඟන ශිල්පි රන්ජන් රාමනායක මහතා.......... එදා මැතිවරණවලට සල්මාන් ඛාන් හා ජැකොලින්ලා ගෙනැල්ලා රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කළා. නමුත් මෙම සම්මාන උළෙල පවත්වන්න කටයුතු කළේ නැහැ ඒ නිසා මේසම්මාන උළෙල පැවැත්වීමට යෝජනා කළ එය සංවිධානය කරන්න උරදුන් සියලු දෙනා ඇගයීමට ලක් කළ යුතුයි. මේ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව මේ සම්මාන උළෙල පැවැත්විය යුතුයි කියන යෝජනාව ගෙනත් තියෙනවා. මෙපමණ ණය බරක් තිබේද්දීත් කලාකරුවන් වෙනුවෙන් එම තීරණය අරගෙන වැඩිමුදල් ත්‍යාග දෙන්න කටයුතු සූදානම් කර තිබෙන අතර ජනතාවගේ ආශිර්වාදයෙන් කියලා පැමිණ පත්වු උපදේශකයන් මේදේවල් නොකළේ ඇයි කියන ගැටලුව මතුවෙනවා. 2005,2006 කාලයේ සිටම මේ සම්මාන උළෙල පැවත්වූයේ නැහැ. ඒ නිසා එම කාලයත් ආවරණය වන පරිදි සම්මාන උළෙලක් පවත්වන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා නැත්නම් ඒ කලාකරුවන්ට අසාධාරණයක් වෙනවා. ඒ දෙය ඉටුකළොත් වත්මන් ජනමාධ්‍ය ඇමති ඉතිහාසගතවෙනවා. එදා මගේ මාමා විජය කුමාරතුංග මහතාට එ් කාලයේ පැවැති සම්මාන උළෙලවල්වලදී අසාධාරණකම් වුණා. කලාකරුවන් කිසිම පක්ෂයකට , පාටකට හෝ ගෝත්‍රයකට අයිති නැහැ.ඒ බව අපි සරසවි සම්මාන උළලේදි අපි පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා........වසර 2015දී තිරගතවු චිත්‍රපට විසිහතරක් මෙවර ජනාධිපති සම්මාන උළෙලට තොරාගත්තා. ඒ කටයුතු කරන්න ජූරියක් මා විසින් පත් කළා. ඇතැම් සම්මාවල නාමයන් අදට ගැලපෙන ලෙස වෙනස් කර තියෙනවා. ජනමාධ්‍ය ඇමතිතුමාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමා විශාල මුදල් ප්‍රතිපාදනයක් ලබාදී තියෙනවා.කෙටිකාලයකින් වුවත් මේ සම්මාන උළෙල ඉතා අභිමානවත් අයුරින් සංවිධානය කරන්න අපට හැකිවි තියෙනවා.

මෙහිදි හිටපු ඇමති, රංඟන ශිල්පි ජීවන් කුමරතුංග , ප්‍රවීණ රංඟන ශිල්පිණි ශ්‍රීයාණි අමරසේන යන මහත්ම මහත්මීන්ද අදහස් දක්වමින් මීට සුබ පැතුම් එක්කළහ. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමත්‍යාංශයේ නිලධාරින්, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඬල නිලධාරින් හා සංස්කෘති දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්ම මහත්මිහු මේ අවස්ථාවට එක්වූහ. 

නව අදහස දක්වන්න