සහකම්පනය | දිනමිණ

සහකම්පනය

මනෝ වෛද්‍ය මහාචාර්ය ප්‍රියන්ත ගාමිණී ජයසිංහ

මෙලෙසින් අප හඳුනා ගන්නේ තවත් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවන් හා හැඟීම් වැනි දෑ තමන්ගේ ම අවශ්‍යතා හා හැඟීම් ලෙස දැනීම යි. සහ වේදනය, තදනු භූතිය, සහානු භූතිය (empathy) යනුවෙන්ද මෙය හැඳින්වෙයි. හැඟීම් යනු මොනවාදැයි අපි පසුගිය ලිපියෙන් අවබෝධකර ගත්තෙමු. පුද්ගලයකුට කායික හා මානසික වශයෙන් වූ විවිධ අවශතා තිබේ. නමුත් මෙහි දී තමාගේ ආවේණික ලක්ෂණ බිඳ වැටීමක් සිදු නො වේ. සහකම්පනය පිළිබඳව සලකා බැලීමේදී අප අතර පවතින නොයෙකුත් ගුණාංග තවත් පුද්ගලයකු සහකම්පනයෙන් යුතුව හඳුනා ගැනීම සඳහා වැදගත් වෙයි.

මෙහි දී යම් පුද්ගලයකු පිළිබඳව ඇති විශ්වාසවන්ත භාවයේ වැදගැම්මක් ඇත. මන්ද යත් සහකම්පනය තුළින් අප තව කෙනකුගේ චිත්තවේගයන් හඳුනාගැනීමත් සමඟ ම විශ්වාසවන්ත ලෙස සබඳතාව ගොඩනැගීම ද අවශ්‍ය වේ. තවද සහකම්පනය හෙවත් සහානුභූතිය තවත් කෙනකුට අර්ථවත් වීමට හෙවත් වටිනාකමක් ලැබීමට අවධානය වැදගත් හා ප්‍රයෝජනවත් වෙයි. යම් තැනැත්තකුගේ ගැටලු, ප්‍රශ්න හෝ චිත්තවේගී තත්ත්වයන් සූක්ෂමව සහ අවධානයෙන් යුතුව නිරීක්ෂණය කිරීම මගින් විවිධ වූ පැතිකඩයන් ඔස්සේ එම තත්ත්වය විශ්ලේෂණය කර ගැනීමට හැකියාව ලැබේ.

උදාහරණයක් හැටියට දරුවා පාසල් යාමට නොහැකි යැයි පවසා ගෙදර නැවතුනේ යයි සිතමු. “මම මේ මගෙ කට කැඩෙන ‍ කල් කිව්වත් කෝ ඉතින් අහන එකක් යැ.. ඔය ඉන්නෙ.. යන්න ම බෑ කියලා”, යැයි මවට කිව හැකිය. “කී දවසක් නම් ළමයට ගහල තියනවද ඉස්කෝලෙ පලයන් කියල. හොඳින් කිව්ව. නරකින් කිව්ව..ඒ ළමයින්ගෙ ගණිත සර් ගෙදරට ම ඇවිල්ල කතා කෙරුව.. හරි ම හිතුවක්කාරය.”

දරුවාගේ පියාගේ අදහස් එසේ දැක්විය හැකිය. ‍ සමහර මව්පිය භාරකරුවෝ එතරම් වත් ගණනකට නොගනිති. “එයාට යන්න බෑ කියනව නම් මොනව කරන්න ද? ඔහෙ ගෙදර හිටපුවාවෙ කියල ඉන්න ඇරිය..”

එවැනි හැඟීම් ඇති අයද වෙති.

එසේ නමුත් සහකම්පනය ඇති තැනැත්තාට එසේ ක්‍රියා කළ හැකි නො වේ. සහසංවේදී පුද්ගලයා තම දරුවා පාසල් යන්න බැරි බව කියමින් ගෙදර නැවතීමට හේතු කාරණා, වට පිටාව, ළමයාට ඇති වූ ගැටලුව කුමක්ද? ඊට මූලික වූ කාරණා මොනවා ද? මේ සියල්ල ගැන අවධානය යොමු කරනු ඇත. සමහර විට පන්තියේ ළමයින් අතර හෝ ගුරුවරයකුගේ හෝ තර්ජනය කිරීමක්, පහර දීමක් හෝ එවැනි දේකට බියවීමක් ද නැතහොත් පාසල එපාවීමට බලපෑ කාරණාව කුමක්ද යන්න විමසිලිමත්ව සොයා බලනු ඇත.

මෙහි දී දරුවාට සුහදවී සමීප වී දරුවාට සවන්දීම සිදු කරනු ඇත. දරුවාගේ ප්‍රශ්නය හෝ ගැටලුව මවට ද, පියාට ද, නැතහොත් භාරකරුට ද දරුවාට මෙන් ම දැනිය හැඟිය යුතුය. ගුරුවරයා තමන්ගේ ම දරුවාට මෙන් අන් දරුවන්ට ද සහ කම්පනයෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වේ. තම දරුවා ගැන මෙන් ම අන් හැම දරුවන් ගැන ද ප්‍රශ්නයක දී, ගැටලුවක දී බැලිය යුතු වන්නේ එක ලෙස ය. ගුරුවරයා ගුරුපියකු වන්නේ ද ගුරුවරිය ගුරුමෑණිකෙනකු වන්නේ ද එවිට ය. නො එසේම ඒවා හුදෙක් පුද්ගලයන් හැඳින්වීමට යොදන නිකම්ම නිකම් අරුත් සුන් ගෞරවාර්ථ නොවේ.

එසේ ම යම් තැනැත්තකුගේ සහකම්පනය මගින් අනෙකාට යම් ප්‍රතිලාභයක්, ප්‍රතිඵලයක් ලැබෙනුයේ ඔහු විසින් ගනු ලබන යෝග්‍ය ප්‍රතිචාර (appropriate responses) හෝ අනුකූලතාව දැක්වීම අනුව ය. මෙය තවදුරටත් විශ්ලේෂණය කිරීමේ දී අප සමාජයේ දකින නොයෙකුත් පුද්ගලයන්ගේ අයෝග්‍ය (unsuitable) ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් අනෙක් අයගේ ප්‍රශ්න ගැටලු තවදුරටත් උත්සන්න වීම ද, අවුලෙන් අවුලට පත්වීම ද දැකිය හැකිය.

උදාහරණයක් ලෙස අඹුසැමියන් අතර ආරවුලක් ගැන සිතමු. සැමියා නිතර බීගෙන විත් බිරිඳට පහර දෙන සිද්ධියක නම් එය දකින අයකුට කිව හැකි සාමාන්‍ය දෙය නම් “මිනිහ හැමදාම කටගොන්නක් බීගෙන ඇවිත් තමන්ගෙ ගෑනිට ගහනව....” කියාය. එහෙත් එය වළක්වා ලීමට අවශ්‍ය නම් ඒ කියන පුද්ගලයාට සහකම්පනය අනුව එය තමන්ගේ මෙන් දැනිය යුතු ය. බිරිඳට ඔහු පහර දීමට හේතුව ගැන මඳක් විමසා බැලිය හැකි ය. සමහරවිට ඊටත් වඩා බරපතළ දෙයක් එම බිරිඳ සිදු කරනවා විය හැකිය.

බිරිඳගේ ඇනුම් බැනුම් ගැරහුම් ඉවසුම් නොදෙන හෙයින් ඔහු බීමට ඇබ්බැහි වූවා වීමට ද බැරි නැත. එබැවින් එක්වරම නිගමනයට නොයා ගැටලුවට පාදක වූ හේතු වූ කරුණු පිළිබඳව සොයා බලා ඒවාට විසඳුම් සොයා ගැනීමට ඒ අඹුසැමි යුවළට සහානුකම්පිත පුද්ගලයාට හැකිවනු ඇත.

‍අප තුළ ඇත්තා වූ සහකම්පනය තුළ ක්‍රියා කරමින් අන් අය හා දුක සැප කොයිදේත් බෙදා හදා ගැනීමේ සංස්කෘතිකමය පුරුද්ද අප දියුණු කර ගත යුතු ය. අපගේ කාර්ය මණ්ඩලයේ කෙනකුගේ පවුලේ අවමංගල්‍යයක් සිදුවූ විට එහි කටයුතු සම්පූර්ණකර ගැනීම සඳහා අවශ්‍ය දෑ ගැන සොයාබලා ආර්ථික අමාරු අයකුගේ නම් මිනීපෙට්ටිය ගැනීමට, දානමය පින්කම් පිරිමැසීමට, අට පිරිකර ගැනීමට ආදී වශයෙන් වූ අවශ්‍යතා සොයාබලා ඔවුනොවුන් එකතුවී සම්මාදම් වී ඒවා සම්පූර්ණ කිරීමට සහාය දීම අගය කළ යුතු දෙයකි.

මියගිය අයට කුඩා දරුවෝ සිටිත් නම් ඒ අයගේ අනාගතය ගැන කළහැකි දේ මොනවාද? එවැනි අවස්ථාවල මතුවන ගැටලුවලදී ඒවා බෙදා හදා ගැනීමේ (shared decision) තීරණයකට යා හැකිය. දරුවාගේ වගකීම් භාරගෙන අනාගතය ගැන වගකීමක් ගැනීමට අයකු ඒ පවුලේ නැතිනම් ඒ සඳහා ද පිළියම් සෙවීම ඒ ක්‍රමය මත හැකිවනු ඇත.

අනෙක් කරුණ නම් පුද්ගල ගරුත්වය රැකියුතු බවය. අප යම් අයකුට සුළු උදව්වක් කළ ද එය රට වටේ කියමින් යන අවස්ථා ද දැකිය හැකිය. සහකම්පනය තුළ අනෙක් පාර්ශ්වයට ගෞරවය තැබිය යුතු ම ය. කළ උදව්ව නැවත අන් අය ඉදිරියේ ද මතක් කර දෙමින් පුද්ගල ගෞරවය කෙලෙසීම ඉතා නරක පුරුද්දකි. එහි ඇති සහකම්පනයක් ද නැත. කායික, මානසික හෝ මූල්‍යමය වශයෙන් අවශ්‍ය උදව් කළ හැකි ය. එහෙත් එය ද සිදුකළ යුතු වන්නේ ඒ ඒ පුද්ගලයාට, තැනට උචිත ආකාරයට ය.

උදාහරණයක් ලෙස අප එදා වේල පිරිමහ ගන්නත් බැරිව අන්ත අසරණ දුප්පත් නිවසකට යන විට රුපියල් දෙතුන් දහසක් වටිනා අයිසින් තැවරූ කේක් ගෙඩියක් රැගෙන යාම එතරම් පලදායී නැත. නමුත් ඒ මුදලින් ඔවුනට සති දෙකතුනක් සතුටින් සිටීමට හැකි ආහාර ද්‍රව්‍ය ගණනාවක් රැගෙන යන්නට තිබුණි. හාල් කිලෝ දහයක්, පරිප්පු, සීනි, තේකොළ, එළවළුවක් දෙකක්, වැනි බරට බඩු මල්ලක් රැගෙන විත් එවැනි නිවසකට ලබා දුන්නොත් ඒ අයට කෙතරම් ප්‍රයෝජනවත් වේද?

මෙහිදී අප සාකච්ඡා කළේ අප තුළ තිබිය යුතු ගුණාංග කීපයකි. විශ්වාසවන්තභාවය, අවධානය හා විශ්ලේෂණය කර බැලීම, යෝග්‍ය ප්‍රතිචාරය දැක්වීම, අත්දැකීම් හුවමාරුකරගැනීම හා හොඳ ම ප්‍රතිචාරය තෝරා ගැනීම, ගරුකිරීම මෙන් ම සහයෝගය ද ආදී වශයෙනි.

 

සැකසුම
කරුණාතිලක හඳුන්පතිරණ

නව අදහස දක්වන්න