උදේශිකා කඩුලු 6යි | දිනමිණ

උදේශිකා කඩුලු 6යි

ෆවුස් මොහොමඩ්

උදේශිකා ප්‍රබෝධනීගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ යුද හමුදා ‘බී‘ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදා පිල සමත්විය.

වැලිසර නාවික හමුදා පිටියේ ඊයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා පිලට ඕවර 30.1කදී රැස් කිරිමට හැකිවූයේ ලකුණු 63ක් පමණි. සුපිරි පන්දු යැවීමක නිරතවූ උදේශිකා ලකුණු 17කට කඩුලු 6ක් දවාලීමට සමත්වූවාය.

ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට නාවික හමුදා පිලට වැය වූයේ එක් කඩුල්ලක් සහ ඕවර 18.1ක් පමණි.

යුද හමුදා ‘බී‘ පිල - 63 (ඕවර 30.1) උදේශිකා ප්‍රබෝධනී 17/6යි

නාවික හමුදා පිල - 65/1 (ඕවර 18.1) ප්‍රසාදිනී වීරක්කොඩි නොදැවී 35යි.

චතුරාණීගෙන් තුන්ඉරියව් දස්කම්

පන්දුවෙන් සහ පිත්තෙන් විශිෂ්ට දස්කම් පෑ චතුරාණී ගුණවර්ධන කෝල්ට්ස් පිලට එරෙහිව කඩුලු 6ක ජයක් ගුවන් හමුදා ‘බී‘ කණ්ඩායමට අත්කර දුන්නාය.

කෝල්ට්ස් පිටියේ ඊයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කෝල්ට්ස් පිල ඕවර 50 අවසානයේ කඩුලු 9කට රැස් කළ ලකුණු 187 හඹා ගිය ගුවන් හමුදා ‘බී‘ කණ්ඩායම ඕවර 48.1කදී ජය වාර්තා කළේ කඩුලු 4ක් පමණක් බිඳ දමාගනිමිනි.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ගුවන් හමුදා පිලේ චතුරාණි ගුණවර්ධන නොදැවී ලකුණු 70ක් රැස් කිරීමට සමත්වූවාය. ඊට පෙර ඇය කෝල්ට්ස් ඉනිමේ කඩුලු 2ක් දවාලීමට ද සමත්වූවාය.

කෝල්ට්ස් පිල -187/9 (ඕවර 50) දීපිකා රසාංගිකා 62, ඉරේෂා ශාමලී 54, අමාෂා අංජලී 28 (දර්ශනී ධර්මසිරි 24/3, චතුරාණි ගුණවර්ධන 42/2)

ගුවන් හමුදා ‘බී‘පිල - 188/4 (ඕවර 48.1) චතුරාණී ගුණවර්ධන නොදැවී 70, රුචිනි සමරසිංහ 46, සඳුනි අබේවික්‍රම 26 (පූජනී ලියනගේ 40/2)

ගුවන් හමුදා ‘ඒ‘පිලට ලකුණු 63ක ජයක්

මේ අතර යුද හමුදා ‘ඒ‘ කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ‘ඒ‘පිල සමත්විය.

පනාගොඩ යුද හමුදා පිටියේ ඊයේ පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ යුද හමුදා පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් ගුවන් හමුදා ‘ඒ‘ පිල ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 238ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යුද හමුදා ‘ඒ‘පිලට ඕවර 50 අවසානයේ දී රැස් කිරීමට හැකිවූයේ කඩුලු 9කට ලකුණු 175ක් පමණි.

ගුවන් හමුදා ‘ඒ‘ පිල - 238/8 (ඕවර 50) චමරී අතපත්තු 70, චමරී පොල්ගම්පොළ 63, දිලානි මනෝදරා 44 (ලක්මාලී මෙත්තානන්ද 36/2)

යුද හමුදා ‘ඒ‘පිල - 175/9 (ඕවර 50) නිපුනි හංසිකා 73, ඉමල්කා මෙන්ඩිස් 25, රෝෂිනී පෙරේරා 22 (චමරි පොල්ගම්පොල 25/2, ඕෂධී රණසිංහ 37/2, මල්ෂා ශෙහානී 39/2)

නව අදහස දක්වන්න