පාපන්දු ශූරතාව කොළඹට | දිනමිණ

පාපන්දු ශූරතාව කොළඹට

ප්‍රින්ස් ගුණසේකර

සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු ශූරතාව හා රුපියල් ලක්ෂ එකහමාරක මුදල් ත්‍යාගය කොළඹ පාපන්දු සමාජය දිනා ගනියි. මෙයට මාස කිහිපයකට පෙර දිනාගත් ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු ශූරතාව සමග කොළඹ පාපන්දු සමාජය මේ වසරේ දිනාගත් දෙවැනි ශූරතාව මෙය වේ. අනු ශුරතාව සමග රුපියල් ලක්ෂයක ත්‍යාගය ජාවාලේන් පිලට හිමි විය.

කොළඹ සිටිලීග් පිටියේ පැවැති ජාවාලේන් හා කොළඹ අතර අවසන් මහා තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල් එක බැගින් ලබාගත් හෙයින් දඩුවම් පහර මගින් ජයග්‍රහණය තීරණය විය. එහිදී කොළඹ පාපන්දු සමාජය දඩුවම් පහර 4ක් සාර්ථක කරගත් අතර ජාවාලේන් පිලේ දඩුවම් පහර 3ක් සාර්ථක විය.

කොළඹ පාපන්දු සමාජයේ නයිජීරියානු ජාතික අෆීස් ඔලෙයමී, මාමෝස් යාපෝ, ඒ. ආර්. ඒ සස්නී හා සර්වාන් ජෝහාර් දඩුවම් පහර සාර්ථක කරගනිද්දී රවුමි මොහිදීන්ගේ හා මොහොමඩ් රමීස්ගේ පහර ජාවාලේන් ගෝල් රකින ක්‍රිඩක ධම්මික සෙනරත් වලක්වාලීමට සමත් විය.

ජාවලේන් පිලේ මාලක පෙරේරා, ලක්මාල් පෙරේරා හා මොහොමඩ් අලීම් දඩුවම් පහර සාර්ථක කරගනිද්දී මොහොමඩ් රිස්ඛාන්, නවීන් ජූඩ් හා පෙමීන් කුමාර් එල්ල කළ දඩුවම් පහර කොළඹ පාපන්දු සමාජයේ ගෝල් රකින ක්‍රීඩක මොහොමඩ් ඉම්රාන් වලක්වාලීය.

තරගයේ පළමු භාගයේදී ජාවාලේන් පිල ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර 9වැනි මිනිත්තුවේදී නවීන් ජූඩ් ගෝලයක් වාර්තා කළ අතර 53වැනි මිනිත්තුවේදී කොළඹ පිලේ සර්වාන් ජෝහාර් ලබාගත් ගෝලයෙන් දෙපිලම සම තත්ත්වයකට පත් විය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය සර්වාන් ජොහාර්, දක්ෂතම ගෝල් රකින්නා ධම්මික සෙනරත් හා විනීතම කණ්ඩායමට හිමි සම්මානය කොළඹ පාපන්දු සමාජයට හිමි විය.

සිටිලීග් පාපන්දු ලීගයේ සභාපති රාමනාතන් පුවනේන්ද්‍රන් මහතාගේ පෞද්ගලික වියදමින් මෙම තරගාවලිය සංවිධානය කළ අතර මුදල් ත්‍යාගවලට අමතරව සිටිලීගයට අයත් පාපන්දු කණ්ඩායම් 20කට රුපියල් 20000 බැගින් ප්‍රදානය කිරීම ද විශේෂත්වයකි. සභාපති කුසලාන තරගාවලියේ ත්‍යාග ප්‍රධානය ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

නව අදහස දක්වන්න