ඇඹිලිපිටිය රෝහලට අලුතින් ගොඩනැඟිල්ලක් ඉදිකරන්න තැබූ මුල්ගල පැළවෙලා | දිනමිණ

ඇඹිලිපිටිය රෝහලට අලුතින් ගොඩනැඟිල්ලක් ඉදිකරන්න තැබූ මුල්ගල පැළවෙලා

 රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇඹිලිපිටිය රෝහලට විශාල අඩු පාඩුවක්ව පැවති වාට්ටුවල ඉඩකඩ කඩිනමින් විසදීම සදහා මීට මාස 10කට පමණ පෙර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සත් මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සදහා තැබු මුල් ගල ද පැළවෙන්නට ඉඩ දී එය ටකරන් තහඩුවලින් ආවරණය කර මෙතෙක් එහි ඉදිකිරීම් කටයුතු කිසිවක් ආරම්භ කර නැතැයි රෝගී ජනතාව හා ප්‍රදේශවාසීහු පවසති.

රත්නපුර, හම්බන්තොට, මාතර, මොනරාගල දිස්ත්‍රික් හතරක් කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගුණු මේ රෝහලට දිනපතා බාහිර රෝගීන් දහසකට ආසන්න පිරිසක් පැමිණෙන අතර, නේවාසික රෝගීන් ද දහසකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ගනිති. නේවාසික රෝගීන්ට අවශ්‍ය ඉඩකඩ නොමැති වීමෙන් රෝහලේ වාට්ටු තුළ ඇදන්වල රෝගීන් දෙතුන් දෙනා සිටින අතර , ඇතැම් රෝගීන් ඇදන් යට හා පුටු මත සිටින අයුරු ද රෝහලට යන සෑම අයකුගේම නෙත ගැටෙන සුලබ දර්ශනයකි.

මුල් ගල තැබු වාට්ටු සංකීර්ණයේ පළමු අදියර මාස 18ක් තුළ ඉදි කර නිම කිරීමට සැලසුම් කර තිබුණත් දැනට මාස 10ක් පමණ ගත වී ඇතත් එම වාට්ටු සංකීර්ණය ඉදි කරන්නට තවමත් ආරම්භ නොකිරීම ද ප්‍රශ්නයකි. මේ පමා වීමට හේතුව විමසීමේ දී දැනගන්නට ලැබුණේ මේ වාට්ටු සංකීර්ණයට වෙන් කර ඇති මුදල් සබරගමුව පළාත් සභාව මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ රෝහලට ලබා දීමට කටයුතු යොදා ඇති බවකි. සබරගමුව පළාත් සභාව මගින් ඇඹිලිපිටිය මුලික රෝහලට කුඩම්මාගේ මෙවන් සැලකිල්ලක් දක්වන්නේ නම් මේ රෝහල පළාත් සභාවෙන් නිදහස් කර මධ්‍යම රජය යටතට පවරා ගන්නැයි අසරණ රෝගී ජනතාව හා ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

නව අදහස දක්වන්න