හිප­පො­ටේ­මස්ගේ දරුවෝ | දිනමිණ

හිප­පො­ටේ­මස්ගේ දරුවෝ

බන්දුල පී දයා­රත්න

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් පොළොන්නරුවේ බස් නැවතුමෙන් බැස්සේ දන්නා කියන ලෙඩෙක් බලන්නට රෝහලට යන්නටය. ඒ අස්සේ වයසක මහත්තයෙක් බස් නැවතුම් පොළේ එහා මෙහා බලමින් යන අයුරු දැක්කේය.

“මට නම් හිතෙන්නේ ටොම්සන් මහත්තයා. අර වයසක මහත්තයා මේ රටේ කෙනෙක් නෙවෙයි වගේ... ඇඳලා තියෙන්නේ නම් කලිසමයි.. කමිසයයි තමයි... ඒත් ඒකත් අමුතුයි.. ලොකු රැවුලකුත් වවලා... කොහොම වුණත් මං හිතන්නේ එහෙ මෙහෙ බලන්නේ කාව හරි හොයනවා වෙන්න ඇති...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“හරි.. ඉතින් අපි ගිහිල්ලා.. බලමු... කාට හරි උදව්වක් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි නේ... මේ... මහත්තයා කාව හරි හොයනවද?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

වයසක මහත්තයා හැරී බැලූවේ තමන්ට කතා කළේ කවුදැයි සිතා ගන්නට බැරිව මෙනි.

“මේ අපි කතා කළේ... මං හිතන්නේ තමුන්නැහේ කාව හරි හොයනවා වෙන්න ඇති... ”

“අනේ ඔව්... මගේ දරුවෝ ටිකක් මෙහේ ඉන්නවා... ඒ ගොල්ලෝ හම්බු වෙන්න කියලා හිතා ගෙන ආවේ... ටිකක් මට උදව් කරනවාද ඒ ගොල්ලෝ මුණ ගැහෙන්ට....” කියා වයසක මහත්තයා ඇසුවේය. සුදු පැහැති රෙද්දකින් මැසූ ඔලගුවක් වයසක මහත්තයාගේ කරේ එල්ලෙමින් තිබූ බව ටොම්සන් මහත්තයා දැක්කේ ඒ වෙලාවේය.

“මුන්නැහේගේ දරුවෝ මෙහේ ඉන්නවාද? එතකොට මුන්නැහේ මේ රටේ කෙනෙක්ද? අපි නම් හිතුවේම මුන්නැහේ පිට රට කෙනෙක් කියලා... බලන්ඩකෝ අපිටත් වැරදිච්චි හැටි... අර කිව්වත් වගේ අපේ රටේ ඔය බර්ගර් වාගේ පිට රට අයත් ජීවත් වෙනවානේ...”

“එහෙමමත් නෙවෙයි... මං මේ රටේ ජීවත් වෙන කෙනෙක්ම නෙවෙයි.. ඒ වුණත් මගේ දරුවෝ මෙහේ ඉන්නවා... මට මේ ඒ ගොල්ලන්ගේ කවුරුහරි මුණ ගැහෙන්න උදව් කරන්න.. පොළොන්නරුවේ රෝහලට මාව එක්ක ගෙන ගියා නං ඇති...”

“හරි... අපි යමු.. අපිත් මේ එහේ තමයි යන්නේ... අපිත් එක්ක යමු.... මුන්නැහේගේ දරුවෝ ලෙඩ වෙලාද? මොන වාට්ටුවේද ඉන්නේ...?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේ ඇවිද ගෙන යන ගමන්ය.

“මෙහෙමයි.. හැම වාට්ටුවේම ඉන්නවා... දැන් බලා ගෙන ගියාම ඒ ගොල්ලෝ ඔක්කොම ලෙඩ්ඩු වගේ තමයි...”

“ඒ කියන්නේ... මට තේරුණේ නෑ...”

“නෑ.. මං කියන්නේ... හරියට ඇඟ පත තිබුණට වැඩක් නෑනේ.... මොළෙත් හරියට වැඩ කරන්න එපායැ... එතකොට මොළේ වැරදියට වැඩ කරනවා නම් ඒ ගොල්ලොත් ලෙඩ්ඩු තමයි... ”

“එතකොට මුන්නැහේ මේ කියන්නේ මේ වාට්ටුවල ඇඳන්වල ඉන්න ලෙඩ්ඩු ගැන නෙවෙයිද? ”

“නෑ... වාට්ටු භාරව ඉන්න ලෙඩ්ඩු ගැන... ඒ ගොල්ලෝ තමයි... වාට්ටුවල ඇඳන්වල ඉන්න ලෙඩ්ඩුන්ගේ ලෙඩ සනීප කරන්නේ... ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ... ඒ ගොල්ලන්ගේ දැන් මොළේ වැරදි විදිහට වැඩ කරන්නේ... දැන් බලන්ඩ... මං මේ තකහනියක් ආවේ... ඊයේ පත්තරේ දාලා තිබුණා නේ... පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු එක් දින සංකේත වැඩ වර්ජනයක් කළා කියලා...”

“එතකොට මුන්නැහේ මේ කියන්නේ වෛද්‍යවරු ගැනද? වෛද්‍යවරු මුන්නැහේගේ දරුවෝ කියලාද ඔය කියන්නේ... ඒක නම් ටිකක් අපභ්‍රංසයක් වගේ තමයි... මං හිතන්නේ මුන්නැහේගේ දරුවෙක් මෙහේ වෛද්‍යවරයෙක් හැටියට වැඩ කරනවා වෙන්න ඇති...” කියා ඇම්බන් මහත්තයා කීවේය.

වයසක මහත්තයා ගණනකට නැතිව දිගටම කතා කළේය.

“දැන් බලන්ඩ...වෛද්‍යවරයකුට ස්ථාන මාරුවක් ලබා දුන්නා කියලා නේ මේ වර්ජනය... රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලජ්ජා නැතිව ප්‍රකාශයකුත් කරලා තියෙනවානේ... වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වුණා කියලා... ඒවා පරිපාලනයත් එක්ක බේරා ගන්න ඕනෑ ප්‍රශ්න... මේ වගේ වෘත්තියක් ඇතුළට මේ විදිහට දේශපාලන ව්‍යාපාර අර ගෙන ආවාම වෙන්නේ මොකක්ද? කෝ දීපු දිවුරුම...?” කියා වයසක මහත්තයා ඇසුවේ මහත් සිත් වේදනාවකිනි.

“ඒක නම් ඇත්ත තමයි.. දැන් ඔය අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක තියෙන ගනුදෙනුව ඔය කාගේ හරි ස්ථාන මාරුවක් වගේ එකක් එක්ක එකට තියලා කිරලා බලන්ඩ පුළුවන්ද? පොළොන්නරුව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, ගල්අමුණ, පුලස්තිගම, අරලගංවිල, වැලිකන්ද කියන රෝහල් ඔක්කොම අක්‍රිය කළා නේ... විශේෂඥ වෛද්‍ය සායනවලට ආපු තුන්දාහක් විතර අනාථයි නේ.. ඇයි.. බාහිර රෝගී අංශවලට ආපු දාස් ගානක් රෝගීන් මොන තරම් පීඩාවකට පත් වුණාද? ” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“වෛද්‍ය පරිපාලනයත් දැන ගන්න ඕනෑ.. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නේ නැතිව විධිමත් විදිහට පරිපාලනය කරන්න... හැබැයි ඒක නිදහසට කරුණක් නෙවෙයි නේ... මේ වගේ අහිංසක රෝගීන් ඇපයට තියා ගන්න... අනික වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න ඕනැ තරම් ක්‍රම තියෙනවා... ඔය සංකේත වැඩ වර්ජනය ඕනැ නම් පැයක් කරන්න තිබුණානේ.. එහෙම නැතිනම් සංකේතයක් හැටියට එක දවසක් කළු පටියක් අතේ පැලඳ ගෙන වැඩ කරන්න තිබුණා නේ...”

“ඒක තමයි මං කිව්වේ... මුන්නැහේලාගේ ඇඟපත තිබුණට, සමාජයේ වරප්‍රසාද ලබා ගෙන හිටියට, නිදහස් අධ්‍යාපනයෙන් මේ තනතුරු ලබා ගත්තට, මොළේ හැදිලා නෑ... සංවේදීබවක් නෑ... එක අතකට මං ගිහිල්ලා වැඩකුත් නෑ.. මේ ගොල්ලෝ මුණ ගැහෙන්න... මගේ දරුවෝ කියලා කියන එක මටත් ලජ්ජයි... අර මගේ නමින් දිවුරුමක් දෙන එක ගැනත් මට ලජ්ජයි... ” කියා වයසක මහත්තයා යමින් සිටි ගමන නතර කළේය.

“ඒ කියන්නේ මුන්නැහේ හිපොක්‍රටීස්ද? දැන් නේ තේරුණේ.. අනේ අපිට සමා වෙන්න ඕනෑ... හිපොක්‍රටීස් මහත්තයා.. අපි ඔබතුමාට බොහොම ගරු කරනවා.. ඒ ගරු කිරීමම තමයි මේ වෛද්‍යවරුන්ටත් අපි ලබා දෙන්නේ... ඒ වුණාට උන්නැහේලා අපේ රටේ සිවිල් පුරවැසියන්ට ගරු කරන්නේ නෑ...ඒක තමයි මේ ප්‍රශ්නේ... ” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ඔව්.. ඒක තමයි.. ඒ හින්දා මේ නම වෙනස් කළෝතින් හොඳයි කියලයි මට හිතෙන්නේ...”

“ඒ කියන්නේ?”

“ඒ කියන්නේ හිපොක්‍රටීස් දිවුරුම කියලා මට ලජ්ජා කරන්න ඕනැ නැහැ... හිපොක්‍රටීස්ගේ දරුවෝ කියලා මට ලජ්ජා කරන්න ඕනැත් නෑ.. මං දරුවෝ හැදුවේ මෙහෙම නෙවෙයි... රෝගීන් තමයි අංක එක.. අනික් ඒවා ඔක්කොම ඊට යටයි.. ඒවට ක්‍රම විධි හොයා ගන්න ඕනෑ... ඒ හින්දා මං හිතන්නේ මීට පස්සේ කියන්න ඕනෑ හිපොක්‍රටීස්ගේ දරුවෝ කියලා නෙවෙයි.. හිපපොටේමස්ගේ දරුවෝ... එතකොට මට දුකක් නෑ... එහෙනම් මේ මහත්තුරු දෙන්නා ගිහින් ලෙඩා බලලා ඉන්න... මං ආපහු යනවා...”

 

හිපොක්‍රටීස් මහත්තයා ආපසු හැරී යන දෙස ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් බලා සිටියේ මහත් කම්පාවෙනි. 

නව අදහස දක්වන්න