ශ්‍රී ලංකාවට ආවේණික ආහාර රටාව මතු පරම්පරාවට උරුම කරදීමට අනුපමේයයි | දිනමිණ

ශ්‍රී ලංකාවට ආවේණික ආහාර රටාව මතු පරම්පරාවට උරුම කරදීමට අනුපමේයයි

උපාලි කරුණාරත්න

මට ලොකු ආසාවක් තිබුණා ආහාර පිළිබඳව සෙවීමට. පුරා විද්‍යා කැනීම් වලින් හෙලිවන යටගිය දේ පිළිබඳව අධ්‍යයනය කළා. ලෝකයේ රට රටවල සංචාරය කරමින් ආහාර රටාවන් පිළිබඳව සොයා බැලුවා. මෙම සොයා බැලීම් වල අතීතය 1968 දක්වා දිව යනවා. ලෝකයේ කුමන රටකට ගියත් මම යන්නෙ මගේ තුනපහ ටික අරගෙන.

මතු පරම්පරාවට නිවැරදි ආහාර රටාවක් හඳුන්වා දීමට දේශබන්දු ආචාර්ය ටී. පබ්ලිස් සිල්වා මහතා දැඩි උත්සාහයක නිරත වී සිටින බව මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහාචාර්යවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා(24) ටී. පබිලිස් සිල්වා මහතා විසින් රචිත මහා සූපවංශය කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ මහතා-

‘මහාසූපවංශය තුළින් මා බලාපොරොත්තු වන්නේ මුළු මහත් මානව ප්‍රජාව මෙන්ම මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණය කෙරෙහි ආහාරය දක්වන දායකත්වයත් ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතියේ ඇති උත්කෘෂ්ඨත්වයත් ප්‍රකාශ කිරීමයි‘ යනුවෙන් මහා සූපවංශය පිළිබඳව පිළිබඳව ටී. පබ්ලිස් සිල්වා මහතා ප්‍රකාශ කරනවා.ආහාරය පිළිබඳව බෞද්ධ සම්ප්‍රදායේ තිබෙන දේවල් අපට ත්‍රිපිටකය කියවා ලබා ගන්න පුළුවන්. අපි වරක් මේ පිළිබඳව දඹානේ ආදි වාසී නායක වන්නිල ඇත්තන්ගෙන් ඇසුවා බුද්ධිල ඇත්තො( බුදුන් වහන්සේ) ආහාරය පිළිබඳව සිතපු දේ පිළිබඳව මොකද සිතෙන්නෙ කියා. එතුමා කීවේ, බුද්ධිල ඇත්තන්ගේ ජීවිතයේ හැම ඉරියව්වක්ම මට සිතෙන්නෙ පාඩමක් කියලයි.

ආචාර්ය පබ්ලිස් සිල්වා මහතාගේ ග්‍රන්ථය සමස්ථයක් ලෙස අධ්‍යයනය කළාම මට දැනිච්ච ප්‍රධාන කාරණා ගණනාවක් තිබුණා.මතු පරම්පරාවට ආහාර හදුන්වා දීම එතුමා ක්‍රියා කරනවා. අප පරිසරයේ තිබෙන වස විසෙන් තොර ආහාර පිළිබඳව අපගේ අවධානය යොමු කරනවා. අහාර වලට වස විස එක් කිරීමේ ඛේදවාචකය පිළිබඳව එතුමා කතා කරනවා. අවට පරිසරයෙන් ලබා නොගෙන සියලු දේ වෙළඳ පොළෙන් ලබාගැනීමේ ඛෙදවාචකය පිළිබඳව පවසනවා. සොභාව ධර්මයේ ආහාර පිළිබඳව අපට තිබෙන දැනුම අල්ප බව කියනවා. වස විසෙන් තොර මුළුතැන් ගෙයක් නිර්මණය කළ යුතු ආකාරය පිළිබඳව සඳහන් කරනවා. ආහාරය නිසි ලෙස සාදා ගත හොත් සෞඛ්‍ය පමණක් නොව ආර්ථිකයද නිසි ලෙස වර්ධනය කරගත හැකිබව පෙන්වා දෙනවා. ආහාරය ඖෂධයක් බව පවසනවා. ආහාර සංස්කෘතියේ අනන්‍යතා හඳුනාගතයුතු බව පවසනවා. ශ්‍රී ලංකාවේ අහාර සංස්කෘතියේ අනන්‍යතාවය විද්‍යමාන වන එක් සුවිශේෂ අංග ලක්ෂණයක් වන්නේ කිසිදු මාංසමය ද්‍රව්‍යයක් යොදා නොගෙන ආහාර සකසා ගැනීමේ ක්‍රමවේදයක් සහ තාක්ෂණයක් ශ්‍රී ලාංකිකයන්ට උරුමව තිබීමයි කියා ප්‍රකාශ කරනවා. එතුමාට මෙ මහා සූප වංශය තුළින් පවතින ආහාර පිළිබඳව සහ පැවතිය යුතු ආහාරය පිළිබඳවද කතා කරනවා.

මහාසූපවංශය පුරා තිබෙන්නෙ ස්ථානීය අයෝජනයක් කියායි මට සිතෙන්නෙ. සාවද්‍ය පරිභෝජනයක් වෙනුවට නිරවද්‍ය පරිභෝජනයක් පිළිබඳව කෘතිය තුළින් කතා කරනවා. අයෝග්‍ය සංග්‍රහය වෙනුවට නිරවද්‍ය සංග්‍රහයක් පිළිබඳව කතා කරනවා. මේ කෘතිය කියෙව්වහම මට සිතෙනවා පබිලිස් සිල්වා මහත්තයා කියන්නේ දේශපාලනඥයෙක් බව. මේ කෘතිය තුළින් සන්නිවේදන කාර්යයද කරනවා. මුළු තැන්ගෙය ඖෂධ කුටියක් විය යුතු බව පබ්ලිස් සිල්වා මහතා ප්‍රකාශ කරනවා. මිනිසුන්ගේ අධ්‍යාත්මය පිළිබඳවද ආහාර පිළියෙළ කිරීමේදි කතා කළයුතු බව ඔහු කියනවා.

හොද සූපවේදියෙකු වන්නට ආචාර ධර්ම අනුගමනය කළයුතු බව පබ්ලිස් සිල්වා මහතා ප්‍රකාශ කරනවා. සූපවේදියෙකු පිළියෙල කළ ආහාරයක් භුක්ති විදින්නෙකු ලෙඩ වෙනවා නම් අදාළ සූපවේසිදියා හොඳ සුපවේදියෙකු නොවේ. හොඳ සූපවේදියා කලාකරුවෙක් හොඳ නිමැවුම් ශිල්පියෙක් සහ හොඳ පෝෂණ වේදියෙකු බව පබ්ලිස් සිල්වා මහතා කියනවා. වී වර්ග විශාල ගණනාවක් පිළිබඳව මේ කෘතියෙන් අපට දැන ගන්න පුළුවන්.

මතු මතුන් මෙවැනි කෘති ලියවිය යුතු බවයි පබ්ලිස් සිල්වා මහතා පවසන්නෙ. ගෙදරක හදවත මුළුතැන්ගෙය බවයි මෙහි දැක්වෙන්නෙ. උදාර මිනිසෙකු බිහිවිමට හොඳ ආහාර මෙන්ම නිවැරදි පැවැත්ම අවශ්‍ය බවයි පබ්ලිස් සිල්වා මහතාගේ අදහස. මෙරට ආහාර රටාව සූපවේදය පිළිබඳව හදුන්වන්න අලුත් නමක් යෝජනා කරන්න කියා අපෙන් ඇසුවොත් අප කියන්නෙ මධුර හත්ත රසා දේශබන්දු ආචාර්ය ටී. පබ්ලිස් සිල්වා කියායි.

ටී. පබ්ලිස් සිල්වා මහතා-

මට ලොකු ආසාවක් තිබුණා මේ ආහාර පිළිබඳව සෙවීමට. පුරා විද්‍යා කැනීම් වලින් හෙලිවන යටගිය දේ පිළිබඳව අධ්‍යයනය කළා. ලෝකයේ රට රටවල සංචාරය කරමින් ආහාර රටාවන් පිළිබඳව සොයා බැලුවා. මෙම සොයා බැලීම් වල අතීතය 1968 දක්වා දිව යනවා. එදා සිට එකතුව තමයි මේ මහාසූපවංශය කියන්නෙ.

මම දෙයක් සිතුවොත් එය ඉෂ්ටකර ගන්නවා. මම ලෝකයේ කුමන රටකට ගියත් යන්නෙ මගේ තුනපහ ටික අරගෙන. මට ගල්කිස්ස මහ හෝටලයේ අවුරුදු 61ක අත්දැකීම් තිබෙනවා. අපේ රටේ අතීත දේ පිළිබඳව පුදුම සිතෙනවා. බත් ඔරුව, කැඳ ඔරුව, බෙහෙත් ඔරු අපට තිබුණා. හැබැයි බත් ඔරුව පිළිබඳව මට කුතුහලයක් තිබෙනවා. අතීත කී රොටී තැටියෙන් අදත් වැඩ ගන්නවා. අපට අතීතයේ තිබූ සමහර තාක්ෂණයන්ට වර්තමානයේ පිටරැටියන් යොදා ගන්නවා. මගේ මේ ග්‍රන්ථය හැමටම හොඳ අත්පොතක් වේවි.

ජනාධිපති තුමා මතට දුමට තිත තිබ්බා. අප ඒවා අගය කරනවා. බෝ නොවන අසනීප වලින් මේරට ගලවා ගැනීමට ජනාධිපතිතුමාගේ දැඩි අවධානය යොමුකරන්න කියා මා ඉල්ලා සිටිනවා. මගේ දැනුම ලෝකයට ලබාදීමට මා ලැහැස්තියි.

මෙම ග්‍රන්ථයේ පුරා විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක සාධකවලින් හෙළිවන මානව සූපවංශය කොටස යටතේ මානව පරිණාමය හා ආහාර සංස්කෘතියේ පරිණාමය, ප්‍රාග් ශිලා යුගය, ගින්දර භාවිතය සමග ඇතිවූ පරිණාමීය ප්‍රවණතා ද, දකුණු ආසියානු කලාපය ආශ්‍රිත මානව පරිණාමීය සාධක යටතේ ශ්‍රී ලාංකේය ප්‍රාග් ඓතිහාසික පසුබිම, ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයේ ආහාර සංස්කෘතිය, පරිච්ඡේදද, නව ශිලා යුගය යටතේ ශාක සහ සතුන් ගෘහස්තකරණය, ලෝකයේ කලාප අනුව ගෘහස්තකරණය කරන ලද ශාක හා සතුන් පරිච්ඡේදද ඇතුළත්ය.

එමෙන්ම කෘෂිකර්මාන්තයේ බිහිවීම සමඟ ඇතිවූ ආහාර සංස්කෘතියේ විකාශනය, මානව පරිණාමය සමඟ ලුණු භාවිතයේ ඇරඹීම, අනුරාධපුර යුගයේ ආහාර සංස්කෘතිය පිළිබඳ කියැවෙන විවිධ සෙල් ලිපි , ලක්දිව යක්ෂ ගෝත්‍රිකයෝ, රාජකීයයන්ගේ අනුභවය සඳහා යොදාගත් ආහාර සහ දානය පිණිස දුන් ආහාර, දානයට දෙන ලද විවිධ බත් වර්ග,පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, මහනුවර යුගයන්, රොබට් නොක්ස් එදා හෙළදිව තුලින් දැක්වූ ශ්‍රී ලංකාවේ ආහාර පාන, දළදා පූජාව, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භෝජන වැළදූ අන්දම, මහනුවර සමයේ රාජකීය උයනේ අසිරිය ආදී මාතෘකා මෙහි ඇතුළත්ය.

ශ්‍රී ලාංකේය ජන ආහාර සංස්කෘතිය, ආහාරවල වැදගත්කම, ආහාර හා බැදුණු බෞද්ධ ජුද පුජා විධි, වර්තමාන මුළුතැන්ගෙය, සිංහල සූප ශාස්ත්‍රය පිළිබඳ අතීත තොරතුරු, ආදි වාසින්ගේ ආහාර සංස්කෘතිය, නැගෙනහිර පානම් පත්තුවේ, යාපනයේ ආහාර සංස්කෘතිය,විවිධ ජාතීන්ගේ ආහාර වට්ටෝරු, කැද වර්ග , පිට්ටු වර්ග, මැල්ලුම් සහ රසකැවිලි, එළවලු වර්ග ආදී විවිධ මාතෘකා යටතේ ලියැවුණු පරිච්ජේද ගණනාවකින්ද මෙම ග්‍රන්තය සමන්විතය.

ලාංකීය සමාජයේ ආහාර සංස්කෘතිය සහ එහි විකාශණය පිළිබඳව ලියැවී ඇති මෙම මහාසූපවංශය විශ්ව කෝෂයක් ලෙස සැලකිය හැකි බව මෙම අවස්ථාවයට සහභාගි වූ බොහෝ විද්වතුන් ප්‍රකාශ කළ අතර මෙම අවස්ථාව සඳහා වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක හිමිපාණෝ, මල්වතු විහාරස්ථානයේ අනු නායක සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනු නායක විකුම් කුඹුරේ ශ්‍රී සරණංකර විමල වංශ නාහිමි , ආචාර්ය රාජකීය පණ්ඩිත ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමි, අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහ නාහිමි, ඇල්ලේ ගුණවංශ හිමි ඇතුලු නායක හිමිවරුන් මහා සංඝරත්නය, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ, ආගමික නායකයින්, කතානායක කරු ජයසූරිය, ඇමැති එස්. බී නාවින්න මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූහ. පබ්ලිස් සිල්වා මහතාගේ උපන්දිනයද 24දිනට යෙදි තිබිණ.

ඡායාරූප- විමල් කරුණාතිලක

නව අදහස දක්වන්න