රජයේ සංවර්ධනයට බාධා කරන්න ඉඩ දෙන්නේ නෑ | දිනමිණ

රජයේ සංවර්ධනයට බාධා කරන්න ඉඩ දෙන්නේ නෑ

ශිරෝමි අබයසිංහ

යම් අයකු සංවර්ධන වැඩපිළිවෙළට බාධා කළහොත් වාඩි වී නිකම් බලා නොසිට එළියට බැස රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ආරක්ෂා කිරීමට තමා සහ එක්සත් ජාතික පක්ෂය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ගැ‍‍‍ටලු ඇතිනම් සාකච්ජා කර විසඳා ගත හැකි බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුමන බාධා සහ බලවේග පැමිණිය ද රටේ සංවර්ධනය සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන බවද එයට බාධා කිරීමට කිසිවකුට ඉඩ නොදෙන බව ද කීය.

බිය නොවී සටන ඉදිරියට ‍ගෙන ගොස් ලබා ගෙන ඇති ජයග්‍රහණයන්, සංවර්ධනය සහ අනාගතය ආරක්ෂා කර ගැනීමට කැප වෙන ලෙස අගමැති වික්‍රමසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ආපස්සට නොගොස් අද සිට ඉදිරියටම ගමන් කර සුරක්ෂිත අනාගතයක් සහිත බලගතු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ සටන අවසන් කර 2020 දී ඊළඟ ජනවරම ලබා ගන්නා බවද අගමැති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ කැම්බල් පිටියේ දී ඊයේ (01) පැවැත්වු මැයි දින රැලිය ආමන්ත්‍රණය කරමිනි.

අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මැයි දින රැලිය එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ සහ සංවිධාන ගණනාවක් එක් වී සිටියහ. 

නව අදහස දක්වන්න