අපේ රටේ ථෙරවාදී බුදු දහම සුරක්ෂිතයි | දිනමිණ

අපේ රටේ ථෙරවාදී බුදු දහම සුරක්ෂිතයි

 ජත්‍යන්තර වෙසක් උත්සවය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබීම හේතුවෙන් මේ වර්ෂයේ වෙසක් මංගල්‍යය ශ්‍රී ලාංකික අපට වඩාත් සුවිශේෂී වන බව මහවිහාර වංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ පවසති.

ලොව අන් කිසිදු රටකටත් වඩා ථෙරවාදී බුදු දහම අදටත් නිවැරැදිව සුරක්ෂිත කර ගැනීමේ ගෞරවය දිනාගෙන ඇති අප රට කෙරෙහි ජත්‍යන්තර ගෞරවාදරය හා විශ්වාසය දිනාගත හැකි පරිදි අප රට තුළ පවත්නා ලෝක සාම ලැදියාව හා සාමකාමී සහජීවන පැවැත්ම වඩාත් ඉස්මතු කොට දැක්වීමට මේ ජත්‍යන්තර වෙසක් දිනය උපයෝගී කර ගැනීමට උත්සාහ කළ යුතු බව ද උන්වහන්සේ ප්‍රකාශ කරති.

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් උන්වහන්සේ නිකුත් කළ පණිවිඩයේ මෙසේ ද සඳහන් වෙයි. මිනිසත් බව ලැබීම අපහසුය. මිනිසුන්ගේ ජීවත් වීම ද අපහසුය. සත්‍ය ධර්මය ශ්‍රවණය දුර්ලභ බුදුවරුන්ගේ ඉපදීම අතිශයින්ම දුර්ලභය.

මහා කාරුණික සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේගේ ‍ලොව පහළ වීම, බුදු වීම, පිරිනිවන් පෑම යන අසිරිමත් ත්‍රිවිධ මංගල්‍යයන් සිදුව පූජනීයත්වයට පාත්‍ර වූ වෙසක් පුන් පොහෝ දිනය තුන් ලෝ වැසි සියලු වැසියන්ගේ හිත සුව පිණිස හේතු වීමෙන් පරම පූජනීය ශ්‍රේෂ්ඨ දිනයක් බවට පත්විය. මේ උතුම් වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම උත්තරීතර ආගමික දිනය මෙන්ම ලක්වැසි ජනතාවගේ ජාතික දිනයද වන්නේය.

සමස්ත ‍ලෝකවාසී බෞද්ධයෝ මේ උදාර ශ්‍රේෂ්ඨ දිනයේ දී බුදු හිමියන්ගේ ශ්‍රී නාමයට පත්ව ආමිස පූජාවන් හා ප්‍රතිපත්ති පූජාවන් කෘතවේදී පූජෝපහාර පවත්වති. අතුපැලෙහි වෙසෙන්නන්ගේ සිට මහ මන්දිරයේ වාසය කරන්නා දක්වා සියලු දෙනා විසින් විසිතුරු සැරසිල්ලෙන් ප්‍රදීපා ලෝකයෙන් මනහර තොරණින් අලංකාර කො‍ට පරිසරය ශ්‍රී ශෝභාමත් කරන අතර දාන, ශීල, භාවනා ආදී කුසල ධර්මයන්හි හැසිරෙති. මෙසේ කුසල ධර්මයන්හි හැසිරීමට වෙසක් දිනය පමණක් යොදා නොගෙන දෛනික ජීවිතයේ සෑම මොහොතකම තෙරුවන් කෙරෙහි අචල විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් පින්දහම්හි නරත වීමට බෞද්ධයන් වගබලා ගත යුතුය. තෘෂ්ණාවෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිත මුදා ගෙන කුසල් දහමෙහි හැසිරී මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද යහපත් කර ගැනීමට මේ උතුම් වෙසක් පුන් පොහෝ දින අදිටන් කරගත යුතුය.

සැමට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ආශිංසනය කරම්හ. 

නව අදහස දක්වන්න