ජාතික සමගිය අනතුරේ හෙළන පරිසරවේදියෝ | දිනමිණ

ජාතික සමගිය අනතුරේ හෙළන පරිසරවේදියෝ

රීසා යෙහ්යා

මෙම ලිපියේ කතුවරයා ධරණීයතා උපදේශකවරයෙකු හා වරලත් පරිසරවේදියෙකි.

ක්‍රියාකාරීන් වූයේ පරිසරවේදින්ය. මහ හඬින් නගන ලද උද්ඝෝෂණය වූයේ විල්පත්තු වනය දූෂණයට ලක්වන බවයි. ප්‍රතිඵලය වූයේ වන රක්ෂිතයක් ලෙසින් මාවිල්ලූ ගැසට් කරනු ලැබීමය.

එහෙත් එකදු පුද්ගලයකු හෝ වරදකරුවකු ලෙස අත්අඩංගුවට නොගනු ලැබුවා පමණක් නොව පරිසරවේදීන් තමන්ගේ විරෝධතාවය සාධක සහිතව සාධාරණීකරණය කළ බවකුත් නොපෙනේ. ඔවුන් තවත් අසීරුතාවයට පත්කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විල්පත්තුවේ කිසිදු කැලෑ එළිකිරීමක් සිදු නොවන බව ජාතියට තහවුරු කළේය. එසේ නම් ගම්පෙරළිවල පිටුපසින් සිටින්නේ කවුරුන්ද? මෙය පිටුපස අදෘශ්‍යමාන න්‍යාය පත් ඇතැමක් තිබේ. එකක් නම් රටේ කේන්ද්‍රීය භූමි පෙදෙසක දේශපාලන බලය තහවුරු කිරීමය. වනය ආරක්ෂා කිරීම යනු මෙම අරමුණට බැඳ ඇති වෙස් මුහුණක් පමණකි.

අප ර‍ටේ අවංක පරිසරවේදීන් සිටියේ නම් ‘මීතොටමුල්ලක්’ හෝ ‘රතුපස්වලක්’ සිදු නොවන්නට තිබුණි. කොළඹ පෝට් සිටි වැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන්නට තිබුණි. තවද රටේ සහල් ටික තම ස්කාගාරවලට තුට්ටුවට ලබාගන්නට මත්පැන් මුදලාලිලා මෑතක දියත් කළ කුමන්ත්‍රණය පරාජය වන්නට තිබුණි.

අපගේ ඊනියා පරිසර‍වේදීන් තම කාර්යභාරය හරිහැටි හා අවංකව එමෙන්ම රටට වැඩදායීව නොකිරීම නිසා රටට සිදුවුණු හානි, අලාභ හා නස්පැත්තිවල ලැයිස්තුව හනුමාගේ වලිගයටත් එහා යමින් තිබේ. වෙනෙකක් තබා මෙය ලියන මොහොතේ පවා මුලතිව් හා වවුනියාවේ නැවුම් හරිත වන පෙදෙස් සුවසේ එළිපෙහෙළි වෙමින් තිබේ. එපමණක් නොව චීන සීනි සමාගමකට උක් වැවීම සඳහා අක්කර 50,000 ලබාදීමට එරෙහිව - පරිසරවේදීන් නොව - මාදුරුඔය ජාතික උද්‍යානය අවට ජනතාව විසින් අධිකරණයේ නඩුවක් පවරනු ලැබ එය 2017 අප්‍රේල් 27 විභාගයට ගැනීමට නියමිතය. මේවා සිදු වන විට කෝ අපේ පරිසරවේදීන්? ඇත්ත කියනවා නම් මොවුන් රටේ යහපත ගැන කැක්කුමක් ඇති නියම පරිසරවේදීන් නොව දේශපාලන මුදලාලිලාගේ මුදලට අලෙවි වී ගොස් තිබෙන එහෙයියන්ය. අවාසනාවකට මෙරට සිටින පරිසරවේදීන් බහුතරයක්ම රාජ්‍ය නොවන සංවිධානවල වලිගයේ එල්ලී සිටින කෝඩුකාරයන්ය. මොවුන් තමන් පරිසරවේදීන් යැයි කියාගත්තද එම ක්ෂේත්‍රයට අවශ්‍ය විද්‍යාත්මක දැනුම හෝ විශ්ලේෂණාත්මක විමසුම හෝ දැක්ම මොවුන්ට නොමැත.

පාරිසරික විශ්ලේෂණය සඳහා ලොව නූතන විද්‍යාඥයින් ඉපැරණි රේඛීය ප්‍රවිශ්ටය අත්හැර පරිසරයේ අනුකෘතික පැවැත්ම, සමාජය හා ආර්ථිකය වැනි කරුණු මත පදනම් වුණු සාකල්‍ය හා ඒකාබද්ධ පරිසර ප්‍රවේශයක් ආදේශ කරගෙන සිටිති. චිරස්ථායි සංවර්ධනය බිහි වී තිබෙනුයේ මෙම ප්‍රවේශයෙනි. එනමුත් අප රටේ සිටින පරිසරවේදීන්ගේ දෘෂ්ටිකෝණය යල් පිනු එකකි.

අප වර්තමානයෙහි සිටින්නේ වක්‍රාකාර ආර්ථිකයක පර්යන්තයේය. මෙය වනාහී, ද්‍රව්‍යමය සැපයුම් දම්වැල හා අපද්‍රව්‍ය ප්‍රවාහය පෙළගස්වන අභිනව සංකල්පයකි. මෙහි අරමුණ වන්නේ අපද්‍රව්‍ය ප්‍රවාහය නව භාවිතා සඳහා වන නව සම්පත් බවට මාරු කිරීමය. මෙය සැපයුම් දම්වැලේ අංගයක් ලෙසින් කැලෑ හා නාගරික කැලෑ ඒකාබද්ධ කර එමඟින් පාරිසරික තිරසාර බව තහවුරු කරනු පිණිස ස්වාභාවය සමඟ මිනිසා සම්බන්ධ කරයි.

මෙයට පටහැනිව අප රටේ පරිසරය හා සම්බන්ධ චින්තනය ලොප්වෙමින් තිබෙන්නේ 18 වෙනි සියවසේ පැවති ෆොසිලීකරණය කරන ලද කාබනික සංකල්පයේය. රේඛීය පාරිසරික ප්‍රවේශය බොහෝවිට පරිසර සමතුලිතතාවයට හානි ඇති කරමින් පරිසරයට, ආර්ථිකයට හා සමාජයට තර්ජන එල්ල කරන්නක්වම තිබේ. තවද එය පරිසරය, සමාජය හා ආර්ථිකය අතර ගැටුම් නිර්මාණය කර අවසානයෙහි මුළු පරිසර පද්ධතියටම හානි ඇති කරයි. පරිසරවේදීන්ගේ වෑයම් නිසා ඇතිවුණු මාවිල්ලූ රක්ෂිතය තිරසාර නොවන අනාගතයක් සඳහා වන නොවරදින මාර්ගයකි. කලෙක ශ්‍රි ලංකාවේ ‘සහල් බඳුන’ යැයි විරුදාවලි ලත් මාවිල්ලූව පරිසරවේදීන්ගේ ගොදුරක් වනු ඇති අතර ජාතියේ ආහාර සුරක්ෂිතතාවයද ප්‍රශ්නයක් බවට පත් කරනු ඇත.

අතිශය සංකීර්ණ හා තාක්ෂණයෙන් මඟ පෙන්වනු ලබන වත්මන් සමාජයෙහි කඩාකප්පල්කාරී තාක්ෂණය හා කඩාකප්පල්කාරී මනාව හැසිරීම් උදෑසන හා සැන්දෑව අතර ජීවිතයේ ස්වරූපය වෙනස් කිරීමට සමත්ය. මඟ පෙන්වන්නට විද්වතුන්, උගතුන් හා විද්‍යාඥයින් නොමැතිව තනිවම රටක් පාලනය කිරීමට රජයකට නොහැකිය. ශ්‍රී ලංකාව අතීතයෙහි සශ්‍රීක දේශයක්ව තිබුණු අතර යුද්ධයෙන් පසු එම තත්ත්වය වෙනස් විය. යුද්ධයෙන් පසු එක් සුවිශේෂී ජන කොටසකට පමණක් වාසි සැලසෙන පරිදි ආර්ථිකය, සමාජය හා පරිසරය නැවත ගොඩනැඟීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙන නිසා ජාතික සමගියට තර්ජන එල්ල වෙමින් පවතී. මෙය නොකඩවා සිදු‍ වුණොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ කාන්තිය ඉතා ඉක්මනින් නැති වී යනු ඇත. උක්ත ගැසට් නිවේදන නාටකයේ ඇදුරන් කෙ‍තරම් ආත්මාර්ථකාමීද හා ජාතික හැඟීම් නොමැත්තවුන්ද යන්නට මාවිල්ලූ කදිම ලිට්මස් පරීක්ෂණයකි. එමෙන්ම ඔවුන්ගේ පීඩනයට යටත් වී ජාතික සමගිය පවා පරදුවට තබමින් එම ගැසට් නිවේදනය නිකුත් කරන්නට ක්‍රියා කළ රජය කෙතරම් පටුමතධාරී හා අදූරදර්ශීද යන කරුණද මෙයින් පැහැදිලි වෙයි.

තිරසාර සාමයක්, ආර්ථිකයක් හා පරිසරයක් බිහිකිරීමේ පොදු අනාගත අවශ්‍යතාවය වටහා ගැනීමට නම් මෙම කරුණට සාකල්‍ය විශ්ලේෂණයක් සිදු කළ යුතුය. මාවිල්ලූව පිහිටා ඇත්තෙ අර්බුද සමයෙහි රජය සිය බලය හා ආඥාව අහිමිකරගත් ප්‍රදේශයක වන හෙයින් සිය ජනයා රැකගන්නට රජයට නොහැකි විය. කලෙක එහි මුස්ලිම් වැසියන් කොටි ත්‍රස්තවාදීන්ගේ සමූලඝාතනයට ලක්ව එම පෙදෙසින් පිට වී අවතැන් වූවන් බවට පත් වූහ. දශක ගණනාවක් ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදාව එම භූමියෙහි රුධිරය සැළුවේ හා ජීවිත පූජා ක‍ළේ කුමටද? එහි වන රක්ෂිතයක් ඇතිකරන්නටද? නැත්නම් රජයේ ආඥාව නගා සිටුවන්නටද? මෙහි වාසය කළ මිනිසුන් පරිසරයට ආදරය කරමින් ස්වභාව ධර්මයා සමඟ අන්‍යෝන්‍ය සමගියෙන් කටයුතු කළේ අද ඊයේ සිට නොවේ. එය ඔවුන්ගේ ඉතිහාසයේ සහ චර්යාවේ ගැබ්ව ඇති ගති ලක්ෂණයකි. එය ඔවුන්ට සිහිපත්කරන්නට කෝඩුකාර පරිසරවේදීන් අවශ්‍ය නැත.

යුද්ධයෙන් පසුව පාලනය සියතට ගන්නා රජයක් ප්‍රමුඛතාවය දිය යුත්තේ එකී යුද්ධයෙන් අවතැන් වූවන් 1990 පෙර ඔවුන් සිටි අන්දමට නැවත පදිංචි කිරීමටය. එය එම ජනයාගේ අයිතිවාසිකමක් වන අතර රජයේ වගකීමකි. නමුත් අවාසනාවකට යුද සමයෙහි මෙම මිනිසුන්ව ආරක්ෂා කරන්නට රජය අපොහොසත් වූවා සේම යුද්ධයෙන් පසුවද වෙනත් ස්වරූපවලින් ඔවුන් කරා පැමිණ ඇති උවදුරුවලින් ඔවුන්ව රැක ගැනීමේ වගකීමෙන්ද රජය අපොහොසත් වී සිටියි. ගැසට් මඟින් එම ජනයාගේ පාරම්පරික වාසස්ථාන වන රක්ෂිත යැයි ප්‍රකාශ කරන රජය දිව‍යිනේ අන්තැන්වල මෙයටත් වඩා හරිත වනාන්තර දූෂණය වන්නට ඉඩ හැර බලා සිටියි. යුද්ධය නිසා දශක ගණනාවක් අවතැන් වූ ජනයාට ඉටු කරන සාධාරණය මෙයද?

රටේ අනෙක් ප්‍රදේශවල සිදු කරන වන විනාශය විෂයයෙහි පෙරකී ඊනියා පරිසරවේදීන්ගේ නිහඬතාවය කන් බිහිරි කරන සුළුය. දෙබිඩි පිළිවෙත් ඇති පරිසරවේදීන් රටකට සිටීම පරිසරවේදීන් නැත්තටම නැතිවනවාට වඩා භයානකය.

රක්ෂිතයට අදාළ 21.05.2017 දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1759/2 ගැසට් නිවේදනයේ GPS ඛණ්ඩාංක මිනුම් වැරදි සහගතය. මෙහි එක් ඛණ්ඩාංක ලක්ෂයක් මරිච්චිකට්ටියේ තිබෙන අතර තවෙකක් අනුරාධපුරයේද, තවෙකක් ගාල්ලෙන් එහා කි.මී.25ක් ඈතින් ද ඇත. එසේම මරිච්චිකට්ටි - කරඩික්කුලි වන රක්ෂිතවලට අදාළ අංක 1779/15 හා 10.10.2012 දින දරන ගැසට් නිවේදනයේ ඛණ්ඩාංකද වැරදි සහගතය. මෙය අංක 2011/34 සහ 24.03.2017 දින දරන සමීපතම ගැසට් නිවේදනය මඟින් අභිභවනය කර මාවිල්ලූ, වෙප්පාල්, කරඩික්කුලි - මරිච්චික්කට්ටි සහ පෙරියමුරිප්පු යන පෙදෙස් මාවිල්ලූ රක්ෂිතයට අයත් ප්‍රදේශය යැයි ප්‍රකාශයට පත් කර ඇත. මෙම ගැසට් නිවේදනයට අදාළ ක්‍රියාවලිය අතිශය සැකසහිතය. මෙම ක්‍රියාවලිය වටා ඇති රහස්‍ය බව සැක ඇතිකරන්නක් වන අතර මේ සඳහා නෛතික ක්‍රමවේද අනුගමනය කර නොමැත. වැරදි ඛණ්ඩාංක අනුව කටයුතු කරමින් අවසානයෙහි අවතැන් වූවන්ගෙන් 35%ක් පමණකගේ පදිංචි ස්ථාන රක්ෂිතයේ මායිම් සමඟ යා කර තිබේ. රටට අහිතකර යමකට ජනාධිපතිවරයකුව එකඟ කිරීමට රජයේ ඉහළ තැන්වල සිටින්නන් එක්ව සැලසුම් කළ ගැඹුරු කුමන්ත්‍රණයක් ලෙසින්ම මෙය පෙනේ.

මන්නාරම දිස්ත්‍රික්කයෙන් පිට වී අවතැන් වූ මුස්ලිම් ජනයාට ලබාදිය යුතු වන්දි ගැන මෙන්ම ඔවුන් නැවත පදිංචි කිරීම ගැන රජය හෝ ජාත්‍යන්තර සමූහය කථා කළේ නැත. නව ගැසට් නිවේදනයත් සමඟ එසේ පිටවූවන්ගෙන් 65%ට නැවත ඔවුන්ගේ වාසස්ථානවලට එන්නට නොහැක. ඔවුන්ව නව රක්ෂිත සීමා ඇතුළට පත් කිරීම නිසා අලි මිනිස් ගැටුම්ද ඇතිවීමේ තත්ත්වය උද්ගත වෙයි. මෙම ස්ථානවලට මා ගිය අතර එවිට මා දුටුවේ මායිම් සලකුණු යොදා ඇත්තේ මෙම උවදුරට අත වනනා ලෙසින් බවයි. අලින්ගේ උවදුර මඬින්නට කෙතරම් වෑයම් කළද එය සම්පූර්ණයෙන්ම සාර්ථක නොවනු ඇති අතර මෙම ප්‍රශ්නය සඳහා තිරසාර විසඳුමක් සෙවීම රජයේ වගකීමකි.

මාවිල්ලූ පිහිටා ඇති මන්නාරම දිස්ත්‍රික්කයේ තිබෙන කැලෑ පෙදෙස වියළි කලාප කටු ලැහැබ් වර්ගයේ කැලෑ පෙදෙසක් වන අතර මෙය බහුල වශයෙන් මීටර් පහට වඩා උසට නොවැඩෙන ගස්වලින් සමන්විතය. ඒ අතර වඩා උසට වැඩුණු ගස්ද තණ බිම්ද අතිරින්පතර මද වශයෙන් ඇත. දිවයිනේ අනෙකුත් කැලෑ හා සසඳන කල මෙහි ජෛව විවිධත්වය අවම වන අතර ශ්‍රී ලංකාවේ 2012 රතු ලැයිස්තු‍ව අනුව මෙහි දක්නට ලැබුණු ප්‍රධාන පැළෑටි ‘ද්විතීය ප්‍රගාමී අනුප්‍රාප්තික’ යැයි වර්ගීකරණය කර තිබුණි. ගැටුම් නිසා ජනයා විසින් අත්හරිනා තෙක් මෙම පෙදෙස නොකඩවා මිනිස් වාසස්ථානයක් ලෙසින්ම පැවතියේය. මෙම තත්ත්වය නිසා ඒකාකාරී නොවන හරිත වර්ධනයක් මෙහි තිබුණු අතර මෙවන් බිම් පෙදෙස් ජාත්‍යන්තර නිර්වචනය අනුව වනයක් යැයි වර්ගීකරණය නොකෙරේ. මෙය අනුව මෙම පෙදෙස රක්ෂිතයක් යැයි ප්‍රකාශයට පත් කළ යුතුය යන තර්කය කිසිසේත් වලංගු නොවේ.

මේ අතර සිලොන් ජර්නල් ඔෆ් සයන්ස් හි පළ වුණු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකු වන රොහාන් පෙතියාගොඩගේ පර්යේෂණ ලිපියක් මඟින්ද උක්ත තර්කයට අභියෝග එල්ල කර ඇත. ශ්‍රී ලංකාවේ අභිනව පරිසර පද්ධතියේ ජෛව විවිධත්ව සංරක්ෂණ යන මැයෙන් ලියා තිබුණු එම ලිපියෙහි කතුවර විද්‍යාඥයා පෙන්වා දෙන්නේ 1959 වකවානුවෙහි 1,600 ක් ව තිබුණු අලි ගහනය 2011 වන විට 6,000ටත් වඩා වැඩි වී තිබෙන බවයි. මෙම සංඛ්‍යාව දක්වා අලින් වැඩි වී තිබෙන්නේ වසරක් පාසා ගොවීන් 100 – 150 ක් පමණ අලින් ඝාතනය කරන අතරමය.

තවද නිදහස ලැබුණු වකවානුවේ පටන් ශ්‍රී ලංකාවේ කැලෑ 23% දක්වා අඩු වූ නමුත් වැවිලි බිම් ආසන්න වශයෙන් දෙගුණයක් (16.4% - 31.0) වී ඇති බවත්, මෙම කාල පරිච්ඡේදය ඇතුළතම මිශ්‍ර ලඳු කැලෑ 20% කින් වැඩි වී තිබෙන බවත් පෙතියාගොඩ වියතා පෙන්වා දෙයි. සිය විද්වත් වලංගු තර්කය තවදුරටත් ඉදිරියට ගෙන යන මෙම කෘතහස්ත පරිසරවේදියා අවධාරණය කරන්නේ ආසියාවේ අනෙකුත් රටවල් හා සසඳන කල ගතවුණු දශකයක කාලය තුළ සිරිලක නාගරික ජනගහනය 15% යන අඩු ප්‍රතිශතයේම විචල්‍යව පවතින බවයි. ඉන්දියාව හා මැලේසියාවෙහි වත්මන් නාගරික ජනගහන ප්‍රතිශත වන්නේ පිළිවෙළින් 30% හා 72% කි (මූලාශ්‍රය : එක්සත් ජාතීන්ගේ සංවිධානය).

ඉහත සාධක සැලකිල්ලට ගන්නා කල පෙනී යන්නේ මාවිල්ලූව රක්ෂිතයක් යැයි තර්ක කරන්නන්ගේ එම තර්කය වලංගු නොවන හිස් තර්කයක් බවයි. මිනිස් වාසස්ථානයක් ලෙසින් දිගු කලක් තිස්සේ පැවතෙන හා වියළි කලාපීය ද්වීතීය වන පෙදෙසක් වන මාවිල්ලූ ප්‍රදේශයේ ඉතිහාසය සැලකිල්ලට ගන්නා කල මෙන්ම වැඩිවෙමින් තිබෙන අලි ජනගහනයද බලන කල අපට පැහැදිලිවම පෙනෙන්නේ කැලෑ අඩු වන විටම තම ජනගහනය වැඩිකර ගැනීමට අලින්ට තිබෙන අනුවර්තක හැකියාවයි. එමෙන්ම සමස්ත වැවිලි බිම් සහ මිශ්‍ර ලඳු කැලෑ වර්ධනය නිසා පරිසර පද්ධතිය ආරක්ෂා කරන්නට අවශ්‍ය හරිත ආවරණයද දැනුදු ලැබෙමින් පවතින බවද පැහැදිලි වෙයි.

මේ අතර මෙගා පොලිස් සංකල්පය නිසා තවත් වසර 15කින් පමණ 30 -40% කින් දක්වා නාගරික පෙදෙස්වලට ජනයා ඇදී යාමේ ප්‍රවණතාවය වැඩිවීමේ වාතාවරණයක් නිර්මාණය වනු ඇති හෙයින් නාගරික නොවන පෙදෙස්වල භූමි ප්‍රදේශ තවතවත් ජනශූන්‍ය වී එයට සාපේක්ෂකව එම පෙදෙස් වගා බිම් ලෙසින් හා හරිත වනාන්තර ලෙසින් පුළුල් වනු නිසැකය. ඒ අනුව විද්‍යාත්මක නිරීක්ෂණ හෝ ප්‍රායෝගික ඇගයීම් කිසිවක් නොමැතිව සිදු කර ඇති ඊනියා පරිසරවේදීන්ගේ තර්ක යථාර්ථයේ අභියෝගය ඉදිරියේ වලංගුව යයි.

මුස්ලිම් බහුතරයක් වාසය කළ මාවිල්ලූ පෙදෙසේ කොටින් මුස්ලිම් සංහාරයක් සිදු කරමින් එම ජනයාව ගැටුම් සමයෙහි පෙදෙසින් එළවා දැමූහ. කොටින්ගේ අරමුණ වූයේ සම්පූර්ණ උතුරු පළාතම කොටින්ට සහය දක්වන දමිළ ජනයා පමණක් වාසය කරන භූමි පදෙසක් බවට පත් කිරීමය. යුද්ධයෙන් පසුව වර්තමානයෙහි රජය උපාය මාර්ගික කෝණයකින් කල්පනා කරමින් උතුරේ විශාල භූමි ප්‍රදේශයක් රක්ෂිතයක් යැයි ප්‍රකාශයට පත් කිරීම මඟින් උතුර ෆෙඩරල් පාලනයට පත් වුවද එම විශාල භූමි පෙදෙස මධ්‍යම රජයේ පාලනය යටතේ තබා ‍ගන්නට හැකි වනු ඇත යැයි සිතනවා විය හැකිය. එසේ රජය කල්පනා කරනවා නම් ඒ අතරම රජයට ඈත අතීතයේ පටන් කවදත් සහයට සිටි මුස්ලිම් ජනයා එහි නැවත පදිංචිවීමට එරෙහි නීති පැනවීම හරහා උතුර තනි දමිළ පෙදෙසක් බවට පත් කිරීමේ කොටි සිහිනයට වක්‍රව දර දිය ඇදීමක් බවද සිතා බැලිය යුතුය.

උතුර දමිළ ජනයා පමණක් වාසය කරන ප්‍රදේශයක් බවට පත්වන විට කොටින් එදා ඉදිරිපත් කළ නිජබිම් සංකල්පයද ජාත්‍යන්තරය ඉදිරියේ තවත් වලංගු වනු හා ශක්තිමත් වනු වැළැක්විය නොහැකිය. උක්ත ගැසට් නිවේදනය කොටි සිහිනයට කෙතරම් පිටිවහලක්දැයි බලන විට මෙම ගුප්ත හා අවලංගු තර්ක මත සිදු කරන ඊනියා පරිසරවේදීන් යැයි තමන් හඳුන්වා ගන්නවුන්ගේ හා බෞද්ධ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාවලිය ගැන ඇති සාධාරණ සැකය තවතවත් උත්සන්න වෙයි.

අත්‍යන්ත ප්‍රතිලාභීන් වන්නේ දමිළ කොටි සංකල්පය නොනැසී තබා ගන්නට වෑයම් කරන්නන් හෙයින් පෙදෙසින් මුස්ලිම් ජනයා පලවා හැරීමේ මෙම උපක්‍රමයට ඊනියා පරිසරවේදීන්ට සහ බෞද්ධ අන්තවාදීන්ට වක්‍රව මුදල් යොදවන්නේ දමිළ ඩයස්පෝරාවද යන සාධාරණ සැකයක් මතුවීමද වැළැක්විය නොහැක. මේ නිසා අත්‍යන්තයෙහි දැවැන්ත හානියක් හා අවාසියක් ඇති වන්නේ මාවිල්ලුවේ කුඩා මුස්ලිම් පිරිසකට නොව මුළු මහත් ජාතියටමය යන කරුණ මොවුන්ට නොපෙනීම සැබවින්ම රටේ අභාග්‍යයකි. 

 

නව අදහස දක්වන්න