ඉක්මනින් කේන්තිය මොළයේ ප්‍රශ්නයක් | දිනමිණ

ඉක්මනින් කේන්තිය මොළයේ ප්‍රශ්නයක්

අපි හැමෝටම මොනයම් හේතුවක් නිසා හෝ තරහ යන එක සාමාන්‍ය දෙයක්. ඒත්, අපි අතර සිටින සමහර අයට අසාමාන්‍ය විදියට තරහ යන්න පුළුවන්. මෙසේ කිපීමට සමහර විට හේතුවක් ද නැති තරම්. විද්‍යාඥයන් පිරිසක් මෑතකදී සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කර ගත්තේ, ඉක්මනින් තරහ යන පුද්ගලයන් IED (intermittent explosive disorder) සහ ඔවුන්ගේ මොළයේ ධුසර (grey matter) ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් පවතින බව ය. ඔවුන් කර ඇති පර්යේෂණවලට අනුව, ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන්ගේ මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශවල ධුසර අඩු බව ය.

මෙය කුමක් නිසා සිදුවන්නේදැයි නිශ්චිතව සොයාගෙන නොමැත. පර්යේෂකයන් කණ්ඩායම MRI ස්කෑන් වාර්තා 168ක් ඇසුරෙන් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මේ සඳහා යොදාගැනුණු පිරිස අතර IED තත්ත්වයෙන් නොපෙළෙන පුද්ගලයන් සහ පාලක පරික්ෂණ ලෙස යොදාගැනුණු 58 දෙනෙක් ද විය. ඔවුන් මේ පර්යේෂණයේ ප්‍රතිඵල ඇසුරෙන් නිගමනයකට එළැඹුණේ, මොළයේ ඇති ධුසර ප්‍රමාණය සහ ප්‍රකෝපකාරී හැසිරීම අතර සම්බන්ධයක් පවතින බව ය.

ඔවුන් වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටින්නේ, ඇතැම් පුද්ගලයන් නිතරම තරහා යාමේ ගතියක් පෙන්වන්නේ, ඇතැම් විට ඔවුන්ගේ ගති පැවතුම්වල අඩුපාඩුවක් නිසා නොව, ඔවුන්ගේ මොළයේ ඇති දුර්වලතා නිසා බව ය.

යශෝදා ඉන්දීවරී

නව අදහස දක්වන්න