මාවනැල්ල කෙහෙල්පන්නල-ගල්පාය ගම්මානවලට යන මාර්ග සංවර්ධනය කර නෑ | දිනමිණ

මාවනැල්ල කෙහෙල්පන්නල-ගල්පාය ගම්මානවලට යන මාර්ග සංවර්ධනය කර නෑ

 පළාත් දෙකක මායිමේ පිහිටි කඳුකර ජනපදයක පවුල් 30කට වැඩි පිරිසක් මේ වන විට ගමට යෑමට පාරක් සහ ජලය නොමැති කමින් පීඩා විඳින අතර ඒ වෙනුවෙන් මෙතෙක් කිසිවකුගේ අවධානය යොමු නොවීම හේතුන් ඔවුන් එම දුෂ්කරතා මධ්‍යයේ අපහසුවෙන් ජීවිකාව ගෙන යන බව ගම්වැසියෝ මැසිවිලි නගති.

මෙම ගම්මානය එක් මධ්‍යම පළාතටත් තවත් කොටසක් සබරගමු පළාතටත් අයිති වන අතර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කලාපයට අයත් කෙහෙල්පන්නල නැගෙනහිර හා මධ්‍යම පළාතට අයත් ගල්පාය ග්‍රාම සේවා වසමට අයත් ගම්මානවල පවුල් ඉතා අමාරුවෙන් ජීවිකාව ගෙන යයි. මෙ ගම්මානය රිලාගල සහ 17 කොටස ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති. මුහුදු මට්ටමේ සිට අඩි 1000 කට වඩා වැඩි උසකින් මේ කඳුකර ගම්මානය පිහිටා ඇත.

හෙම්මාතගම හරහා කෙහෙල්පන්නල, පුහුල්හේන පසුකරමින් වාහනයකින් ගමන් කරන කෙනකුට එතැන් සිට මේ ගමට අඩි පාරවල් ඔස්සේ ගමන් කර පිවිසිය හැකි අතර කඳු හෙල් සහිත ගල් බොරලු තරණය කරමින් මෙ ගමන යා යුතුයි. නැතිනම් මධ්‍යම පළාතේ ගම්පොළ මීතලාව මාර්ගයේ පැමිණ අලුගොල්ල හන්දියෙන් ගම්මානය වෙත පිවිසිය හැකියි. පරම්පරාගතව ජීවත් වෙන ඔවුන් බොහෝ දෙනා ජීවත් වෙන්නේ වැවිලි බෝග වගාවෙන් හා කෘෂි කර්මික ජීවන කටයුතු සහ කුළි වැඩ කටයුතු කරගනිමින්ය. රජයේ රැකියා කරන අය මෙ ගම්මානයේ නොමැති බව එහි ගිය අපට ගම්වාසිහු පවසති.

පී. ජි. පියදාස මහතා කෙහෙල්පන්නල -

මහත්තයෝ මෙ ගම්මානයේ අපි ජීවත් වෙන්නේ ගොඩාක් අමාරුවෙන් ඇත්තෙන්ම නියඟයත් සමග මෙ වන විට අපිට ජලය නොමැති කම නිසා විශාල කරදරයකට මුහුණ පාන්න සිද්ධ වේලා තියෙනවා. ගමට එන්න පාරවල් ගණනාවක් තිබුණත් එන්න තියෙන කෙටිම ගමන් මාර්ගයන් තියෙන්නේ මීතලාව ගම්පොල පාරේ ඇවිත් අලුගොල්ල හන්දියෙන් ඉදලා අඩිපාර දිගේ ගමට කිලෝමිටර් තුන හතරක් පයින් එන එකයි.

පවුල් 30කට වැඩි දෙනෙක් ගමේ ඉන්නවා. ඉතින් මේ බොහෝ පවුල් වල ඉන්න දරුවන් පාසල් යවන්න තමයි මේ ගමේ අය ගොඩාක් කරදරයකට මුහුණ පාන්නේ ඒ මොකද යන්න එන්න පාරක් නැති නිසා ගෙදර කවුරු හරි දරුවන් එක්කරගෙන පාසල් යවන්න යන්න ඔනෑ. පාසල අලූත්ගම, මීතලාව ගල්පාය පාසලට තමයි යන්නේ.

අලුගොල්ල මීතලාව සෝමපාල මහතා-

අපිට දැන් අවුරුදු 10 කට කලින් විදුලිය ලැබුණා. නමුත් අලුගොල්ල හරහා පාර හැදුනා නම් ගොඩාක් වටිනවා. දැන් වතුර ගෙන්නත් අම්බුළුවාට යන්න ඔනෑ කිලෝමීටර් දෙක තුනක් ඒ කන්ද බැහැලා නැවත වතුර අරන් කන්ද නගින්න ඔනෑ. දේශපාලඥයන් කියලා කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ ගමය ඇවිත් නැහැ. සබරගමු පළාත් සභා මන්ත්‍රී මිල්ලන්ගොඩ මහත්තයා නම් මෙ ගමට ඇවිත් තියෙනවා. පාසල් එක්ක යන ළමයින් පිටත් වෙන්නේ උදේ 6ට පාසල වෙත පයින් ගිහින් යනකොට 7.30 වෙනවා. අපිට කියලා රජයෙන් මොනවාවත් හම්බ වෙන්නේ නැහැ. වගා කටයුතු ගම්මිරිස්, කරාබු, වාගේ දේවල් නිසා ජිවත් වෙන්න සල්ලි හොයා ගන්නවා. රබර් වගාවත් තියෙන නිසා ගැටලූවක් නැහැ. නමුත් මෙහෙම වැස්සේ නැත්නම් මෙ බෝග වුනත් ගස් පිටින් මැරෙන්න බැරි නැහැ. ඒවාට වතුර දාන්න වුනත් මෙ කන්දේ සියලූම උල්පත් මෙ නියගයත් එක්ක දැන් නැති වෙලා තියෙනවා.

අයි. ජී. ජේන් නෝනාමහත්මිය -

වතුර නැති නිසා අපි මෙ කන්දේ වතුර ඇදපුවාම පුදුම අමාරුවක් තියෙන්නේ. පොඩි අයට පාසල් යන්න ගල්පාය විද්‍යාලයට යන අලූගොල්ල පාරත් කැලෑ පාරක් වැස්ස දවසට යන්න අමාරුයි. වැස්ස දවසට පාර දිගේ කදු වලින් පාර හරහා වතුර ගලා ගෙන යනවා. එහෙම වුණාම මේ ගමේ පාසල් යන දුවලා පුතාලා යන්නේ ගොඩාක් අමාරුවෙන් දෙමාපියොත් ඒ පස්සේ යන්න ඔනෑ සමහර තැන් වල අගාධ සහිත ස්ථාන තියෙනවා පාලූ ස්ථාන තියෙනවා. සතා සිවුපාවන් ගැන බලන්න ඕනෑ.

අපේ රටේ හැම තැනම සංවර්ධන වුනත් අපේ ගමේ කිසිම සංවර්ධනයක් නැත්තේ ඇයි කියලා වේලාවකට හිතෙනවා. ඒ නිසා මෙ වාගේ ගම්මාන ගැනත් සධාරණය ඉටු කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

වයසක කෙනෙකුට ලෙඩක් හැදුනොත් කදක තියාගෙන තමයි ගෙනයන්නේ. මේ ගමේ ඉන්නවා වයස අවුරුදු 100 කටත් වඩා වැඩි අම්මා කෙනෙක්. ඒ අම්මාට ලෙඩක් හැදුන වේලාවට කඳක තියාගෙන තමයි අරන් යන්නේ. මහන්සි වේලා වැඩ කරන අය ඉන්න නිසා දෙයියන්ගේ පිහිටෙන් ලෙඩ දුක් අඩුයි.

පි. ජි. සෝමදාස තරණහේන මහතා -

අද මම නිවාඩු දවසක් නිසා මේ කන්ද පැත්තේ ආවේ අපේ ගමට අල්ලපු ගම නිසා මමත් ආවේ මේ කැලෑ අඩි පාර දිගේ කන්ද නැගලා. ඉතින් මේ අපේ නැදෑයෝ ඉන්න මේ ගම සැහෙන්න දුෂ්කරයි. ගම්පොළ අලුගොල්ල පැත්තෙන් පාර කොන්ක්‍රීට් කරලාවත් දුන්නා නම් ඉතා වටිනවා. සමහර අය මේ පාරක් තොටක් නැති නිසා මේ ගෙවල් අත හැරලා ගිහින් ඉන්නේ දරුවන් පාසල් යවන්න ඕනෑ නිසා. ‍

සටහන හා ඡායාරූප මාවනැල්ල
සමන් විජය බංඩාර

නව අදහස දක්වන්න