විදේශ පුහුණුව ලබාදෙමින් ත්‍රිවිධ හමුදාව සවිමත් කරනවා | දිනමිණ

විදේශ පුහුණුව ලබාදෙමින් ත්‍රිවිධ හමුදාව සවිමත් කරනවා

චමීර ඇල්ලදෙණිය

යුද්ධයක් නොමැති වුවත් රණවිරුවන්ගේ පුහුණු ක්‍රම, යුද උපක්‍රම හා විදේශ පුහුණුව ලබාදෙමින් ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් නවීන තාක්ෂණය ත්‍රවිධ හමුදාවට හඳුන්වා දෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

රටක් ලෙස අනාගතයට මුහුණදීමේදී කලාපිය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව ඉතා වැදගත් බවත් අපේ ආරක්ෂක හමුදා ඊට සරිලන පරිදි ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් සිරිසේන මහතා කීවේය.

රණවිරුවන්ගේ සුබසාධනය වැඩිකිරීමටත් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ බවත් ජනාධිපතිවරයා අනාවරණය කළේය.

පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසල දී අට වැනි ජාතික රණවිරු සැමරුමට ඊයේ (19) සහභාගීවෙමින් එසේ කී ජනාධිපතිවරයා ඉදිරියේ දී සෑම රණවිරුවකුටම නිවසක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද හෙළි කළේය.

අපේ ආරක්ෂක හමුදා සංවර්ධනයට යොදා ගන්නවා වගේම මේ රටේ සිදුවූ ජාතික ආපදා තත්ත්වයන් තුළදී විශාල දායකත්වයක් සපයා ඇති බවත් විශේෂයෙන් සාමසර කන්ද නායයාම, මීතොටමුල්ල නායයාම, සාලාවේ පිපිරීම්වලදී රණවිරුවන් විශාල දායකත්වයක් ලබාදුන් බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගොඩනැගීමට ඩෙංගු මර්දනයටත් රණවිරුවන්ගේ කාර්ය භාරය ඉතා විශාල බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

රණවිරු සේවා අධිකාරිය විසින් මෙම රණවිරු සැමරුම සංවිධාන කර තිබූ අතර, මැති ඇමැතිවරුන් ඇතුළු රණවිරු පවුල්වල විශාල සංඛ්‍යාවක් මෙම උත්සවය සඳහා එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න