ජනපති මෛත්‍රී සහ ඔස්ට්‍රේලියා අගමැති අතර නිල සාකච්ඡා හෙට | දිනමිණ

ජනපති මෛත්‍රී සහ ඔස්ට්‍රේලියා අගමැති අතර නිල සාකච්ඡා හෙට

ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක් සඳහා පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල සාකච්ඡාවක් හෙට (25) කැන්බරාහි පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වේ.

ජනාධිපතිවරයා හා ඔස්ට්‍රේලියානු අගමැතිවරයා අතර නිල සාකච්ඡා අවසන් වූ පසු දෙරටේ රාජ්‍ය නියෝජිතයන් අතර වූ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වේ. දකුණු ආසියාවේ රාජ්‍ය නායකයන් අතර දැඩි අවධානයට ලක් වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ රාජ්‍ය සංචාරය අතිශයින්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර සබඳතා ගොඩනැඟී වසර 70ක් සපිරෙන මොහොතක දී මෙය සිදුවීම නිසා බව ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර 1947 ජුනි මස 29 වැනි දා තානාපති විලියම් චාල්ස් මහතාගේ මැදිහත්වීමෙන් ගෝල්ෆේස් හෝටලයේ දී දෙරට අතර සබඳතා ගොඩනඟා ගත් බවත් ස්කන්ධකුමාර් මහතා පැවසීය. දෙරට අතර පවතින මේ සබඳතා ශක්තිමත්වීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ජනතාවගෙන් සිදු වූ මෙහෙය ඉතා අගේ කරන බවත් හෙතෙම සඳහන් කළේය. 

ටී. චන්ද්‍රසේකර

නව අදහස දක්වන්න