නාගොඩවිතාන පරාදයි.. බාලසූරිය දිනුම්.. ‘පරසතු මල්’ අන්සතු නොවෙයි.. | දිනමිණ

නාගොඩවිතාන පරාදයි.. බාලසූරිය දිනුම්.. ‘පරසතු මල්’ අන්සතු නොවෙයි..

 සිනමා සක්විති ආචාර්ය ගාමිණී ෆොන්සේකා ශූරීන් අධ්‍යක්ෂණය කළ කුළුඳුල් චිත්‍රපටය ‘පරසතුමල්’ ය. චිත්‍ර බාලසූරිය නිෂ්පාදනය කළ එය තිරගත වූයේ 1966, සැප්තැම්බර් 26 වෙනිදාය. 1967 පැවැත්වූ හතරවෙනි ‘සරසවි’ සම්මාන උළෙලේදී පරසතුමල් හි ‘බොනී මහත්තයා’ ලෙස රඟපෑ ගාමිණී ෆොන්සේකාට හොඳම නළුවා ලෙස සම්මානය හිමිවූ අතර එම චිත්‍රපටයේ තිර රචනය ලියූ හග්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න කවියා හොඳම තිරරචක ලෙසත්, එහි කලා අධ්‍යක්ෂණය කළ වේයන්ගොඩ කුඹල්ඹලුවේ ධර්මසේන හේමපාල හොඳම කලා අධ්‍යක්ෂ ලෙසත් සම්මාන ලැබූහ. මහාචාර්ය ලයනල් අල්ගම ශූරීන් සංගීතවත් කළ පරසතුමල්, චිත්‍රපටය සඳහා මහගම සේකර ශූරීන් ලියූ පරවුණු මල්වල සුවඳ අතීතේ ගීතය ගැයූ විශිෂ්ට ගායිකා විශාරද සුජාතා අත්තනායක හොඳම පසුබිම් ගායිකාව ලෙස ‘සරසවි’ සම්මානය දිනා ගත්තාය.

‘කුරුළු බැද්ද’ හා ‘සිකුරු තරුව’ යන චිත්‍රපට දෙකම ගැමි පරිසරය තේමා කරගත් චිත්‍රපට විය. ඒවායේ කතාරචකයා වූයේ ද එවකට පල්ලෙවෙල පාසැලේ (අද පල්ලෙවෙල මහා විද්‍යාලය) විදුහල්පති වූ හග්ගල්ලේ පී.කේ. ඩී. සෙනෙවිරත්න කවියාය. චිත්‍ර බාලසූරියටද චිත්‍රපටයක් නිපදවීමේ ආශාව ඇති වන්නේ එම චිත්‍රපට නිසාය.

“ඒ කාලෙ කලා ලෝකෙ තවත් මිතුරන් එක්ක අපේ ජ්‍යෙෂ්ඨ නළු ධර්මදාස කුරුප්පුත් ගම්පහදී නිතර මට මුණගැහෙනවා. දවසක් මම කුරුප්පුට කිව්වා චිත්‍රපටයක් කරන්න ආසා බව. කුරුප්පු මාව එක්ක ගියා. ඒ කාලෙ පල්ලෙවෙල ඉස්කෝලෙ මුල් ගුරු පී.කේ. ඩී. සෙනෙවිරත්න කවියා ළඟට තිර කතාව ලියන්න ඔහුට බාර දුන්නා. සුමාන දෙකකින් එය ලැබුණා. මට උවමනා උනේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ලවා අධ්‍යක්ෂණය කරවන්නයි. ඒත් ඒ වෙද්දි ඔහු වෙනත් චිත්‍රපටයක් කරමින් හිටපු නිසා ඔහුම කිව්වා ‘පරසතුමල්’ අධ්‍යක්ෂණය කරන්න ගාමිණීට බාර දෙන්න කියල. ඒ අනුව ගාමිණීට බාර දුන්නා. ගාමිණී බොනී මහත්තයා හැටියට විශිෂ්ඨම රංගනයක යෙදෙමින්ම ‘පරසතුමල්’ අධ්‍යක්ෂණය කළා. පුණ්‍යා හීන්දෙනිය , ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, සිරිමතී රසාදරී, අනුලා කරුණාතිලක, ඩී. ආර්. නානායක්කාර, ධර්මදාස කුරුප්පු, එස්.ඒ. ජේමිස් ඇතුළු හැමෝම ඉතා හොඳින් රඟපෑවා. ලෙස්ටර් - සුමිත්‍රා යුවළගේ සහයෝගයත් ලැබුණා. චිත්‍රපටය පේක්ෂකයන් මොනතරම් වැළඳගත්තාද කියතොත් ඒ අවුරුද්දේ ජනප්‍රියම චිත්‍රපට පහෙන් එකක් හැටියටත් තේරුණා. ගාමිණී ෆොන්සේකා ගැන කතා කරන ඕනෑම අවස්ථාවක ‘පරසතුමල්’ ගැනත් සඳහන් වෙන තරමට චිත්‍රපටය ඉහලින්ම පිළිගැනුනා. ඒ ගැන එහි නිෂ්පාදක හැටියට මම තරම් සතුටු වෙන තවත් නෛක් නෑ.” චිත්‍ර බාලසූරිය කියයි.

එහෙත් චිත්‍ර බාලසූරියගේ ‘සතුට’ කෝපයකට හැරෙන සිදුවීමක් මීට එකොළොස් වසරකට පෙරදී වූ බව ඔහු, කියයි. එනම්, නිෂ්පාදක වූ ඔහුද නොදැන ‘පරසතුමල්’ චිත්‍රපටය පුද්ගලික රූපවාහිනී නාලිකාවක පෙන්වන බවට වූ පූර්ව දැන්වීම් දැකීමය. වහා ක්‍රියාත්මක වූ චිත්‍ර බාලසූරිය සිය නීතිඥවරයා මඟින් අදාළ නාලිකාවට දැනුම් දුන්නත් ඔවුන් ‘පරසතුමල්’ විකාශය කළේ එම දැනුම්දීම නොතකමිනි.

“..මම එය විකාශය කරනවා බලාගෙන හිටියා. චිත්‍රපටය පුරාම ’ති.නා.’ කියල අකුරු දෙකක් ගහලා තිබුනා. අවසර නැතුව චිත්‍රපටය පිටපත් කිරීම තහනම් කියලත් සඳහන් කරල තිබුණා. පුදුම වැඩක්නේ. චිත්‍රපටයේ නිෂ්පාදක මමයි. මමවත් නොදැන මගේ චිත්‍රපටය නාලිකාවක පෙන්නන ‘තිස්ස නාගොඩවිතාන’ කියල කෙනෙක් එයාගෙ අවසර නැතුව පිටපත් ගහන්න එපා කියල අවවාදත් දෙනවා. බරපතල අසාධාරණයක්නේ. ජීවත් වෙලා ඉන්න මගේ අවසරයක් හෝ අනුදැනුමක් නැතුව මගේ චිත්‍රපටය මෙහෙම අයිතිකර ගන්න කාටවත් බැහැනේ. මම තිස්ස නාගොඩවිතානට එරෙහිව නීතිය ඉදිරියට ගියා. පුද්ගලික රූපවාහිනී නාලිකාව වරද පිළිඅරන් ලක්ෂ තුනහමාරක් වන්දි ගෙවල සමථයට පත් කර ගත්තා. අවුරුදු එකොළහක් නඩුව විභාග කරල කොළඹ වාණිජ මහාධිකරණය පහුගියදා තීන්දු කළා. නිෂ්පාදකගේ අවසරයකින් තොරව ‘පරසතුමල්’ ප්‍රදර්ශනය කර මුදල් ඉපයීම බුද්ධිමල දේපල පනත යටතේ වරදක් බවට. ඒ අනුව ලක්ෂ 15ක වන්දියක් මා වෙත ගෙවන ලෙසට තිස්ස නාගොඩවිතානට නියෝග කරමින් තීන්දුව ලැබුණා. “චිත්‍ර බාලසූරිය පැවසුවේ අසාධාරණයට එරෙහිව නඩුමගට ගොස් ලද ජය ගැන සතුටිනි. එපමණක් නොව මෙය සමස්ත සිනමාවටම අදාළ වැදගත් තීන්දුවක් බවද ඔහු අවධාරණය කරයි. කුමාර ලියනගම නම් DVD නිෂ්පාදකයා ගීතා කුමාරසිංහ නිපදවූ චිත්‍රපට DVD මගින් එළිදැක්වූ උළෙලේදී ගීතාද අවධාරණය කළේ අතීතයේ තමන් නිපදවූ චිත්‍රපට පසුකාලීනව ප්‍රදර්ශන අයිතිය ‘සංරක්ෂකයන්’ යයි කියා ගන්නා අයට දුන්නත්, DVD මඟින් ඉදිරිපත් කිරීමට අවසර දී නැති බැවින් එසේ කරන ‘ඊනියා’ සංරක්ෂකයන්ට එරෙහිව ක්‍රියා කරන්නට බිය නොවන ලෙසය. සංරක්ෂකයන්ගේ අසාධාරණයට ගොදුරු වන කාටත් චිත්‍ර බාලසූරිය ලැබූ ජයග්‍රහණය පන්නරයක් කොටගෙන නීතිය හමුවට ගොස් සාධාරණය ඉටු කරවා ගත හැකිය.

‘පරසතුමල්’ අන්සතු වන්නට නොදී රැකගත් චිත්‍ර බාලසූරිය තමා නිපදවූ ‘තුංමංහන්දිය’ ද සමඟ එය ඩිජිටල් තාක්ෂණය මගින් නැවත තිරගත කිරීමට බලාපොරොත්තු වෙයි. මෑතදී ඩී.බී. නිහාල්සිංහයන්ගේ ‘වැලිකතර’ ඩිජිටල් තාක්ෂණයෙන් යුතුව තිරගත කළා සේම ‘පරසතුමල්’ හා ‘තුංමංහන්දිය’ ද එසේ තිරගත කිරීම ප්‍රේක්ෂක අමන්දානන්දට හේතුවනු ඇත. උපරිම ප්‍රමිතියකින් යුතුව ටොරානා වීඩියෝ මුවීස් අධිපති කුමාර් ‍ොකතලාවල විසින් ‘පරසතු මල්’ DVD මගින් එළිදක්වා තිබීමද එය නැරඹූ හා නරඹා නැති ප්‍රේක්ෂකයන්ට අගනා අවස්ථාවකි.

අසාධාරණයට ලක් වන බොහෝ දෙනා නිහඬව ගොලුව සිටින යුගයක තම අයිතිය වෙනුවෙන් නීතිය හමුවට ගොස් ජයලැබූ විශිෂ්ඨ නිෂ්පාදක චිත්‍ර බාලසූරියට ‘දිනමිණ’ ‘සත්සරසි’ පිටුවේ සුබපැතුම්! ඔහුගේ මේ පියවර ආදර්ශයට ගෙන නිර්මාණ කොල්ලකෑමට එරෙහිව නැගී සිටින ලෙසද සියලු පාර්ශ්වයන්ට අවධාරණය කරමු.

ආනන්ද පද්මසිරි

නව අදහස දක්වන්න