සිරි ගුනසිංහ | දිනමිණ

සිරි ගුනසිංහ

ධම්මික සෙනෙවිරත්න

පුද්ගලයෙක් නොවෙයි විප්ලවයක්

අග්‍රගණ්‍ය කවියකු, නවකතාකරුවකු, කලා ඉතිහාසඥයකු, කලා විචාරකයකු ඈ නෙක්විධ කලා ක්ෂේත්‍රවල මාහැඟි සමර්ථතාවක් දැක්වූවකු වන ඔහු, නිදහස් සිංහල කවියේ නිර්මාණාත්මක බව ඔප් නංවනු වස් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ ය. ඒ, 1956 දී පළ කළ ‘මස් ලේ නැති ඇට‘ කාව්‍ය සංග්‍රහය පාඨක දන වෙත තිළිණ කරමිනි. ප්‍රථම වතාවට විඥානධාරා රීතිය අනුව යමින් රචිත සිංහල නවකතාව ලෙස පිළි ගැනෙන ‘හෙවනැල්ල‘ 1960 දී පළ කළ ඔහු, සිංහල භාෂාවේ ද්විරූපතාව අවම කර, කට වහරේ ව්‍යාකරණය ශාස්ත්‍රීය මෙන් ම නිර්මාණාත්මක ලේඛනයට යොදා ගැනීමේ පුරෝගාමියා බවට ද පත් විය. එසේ ම, 1968දී ප්‍රේක්ෂකයා වෙත දායාද කළ, විචාරක සම්භාවනාවට මෙන් ම, සරසවි සම්මාන ගණනාවක් ද දිනූ ‘සත් සමුදුර‘ චිත්‍රපටය, ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සහ එක ම සිනමා කෘතිය වේ. මූර්ධජ ‘ණ‘ සහ ‘ළ‘ අක්ෂර ඉවතලමින් ලේඛනයේ නිමග්න වූ මේ සාහිත්‍යධරයා සිරි ගුනසිංහ නම් වෙයි. මෙරට කලා කෙත වෙනුවෙන් අග්‍රගන්‍ය මෙහෙවරක් ඉටු කළ මේ සොඳුරු සාහිත්‍යධරයා පසු ගියදා, සිය අවසන් සුසුම් පොද වා තලයට මුදාලී ය. මේ වියත් කතාබස් ඒ නිමිත්තෙනි.

සිරි ගුණසිංහ ප්‍රධාන වශයෙන්ම සැලකෙන්නේ කවියකු වශයෙනි. මේ රටේ ආරම්භයේ සිට පැවැත ආ කාව්‍ය ක්‍රමය විප්ලවීය වෙනසකට භාජනය කළ කවියකු ලෙස ද ඔහු හැඳින්විය හැකි ය. අපට තිබුණේ විරිත මුල්කොටගත් කාව්‍ය සම්ප්‍රදායකි. එතැනින් වෙනස් මඟක යාමට ජී.බී.සේනානායක වෑයම් කළ නමුත්, වඩා ප්‍රබල ලෙස විරිතෙන් තොර කාව්‍ය නිර්මාණයට යොමු වූයේ සිරි ගුණසිංහයන් ය. එපමණක් ද නොව, අන්තර්ගතය පවා වඩාත් වෙනස් අතකට යොමු කළ කවියකු ලෙස ද ඔහු සැලකිය හැකි ය.

සිරි ගුණසිංහයන්ගේ කාව්‍ය නිර්මාණවල අපට පැහැදිලිව පෙනෙන ලක්ෂණය විරිතෙන් තොරවීම ය. ඔහු එය හැඳින්වූයේ ‘නිසඳැස්’ යනුවෙනි. ඔහු හඳුන්වා දුන් එකී වෙනස අද වනවිට කවියේ ප්‍රමුඛතම සාධකයකි. අද කවි ලියන කවීන් බහුතරය සිය නිර්මාණකරණයේදී විරිත මුල්කොට නොගනී.

ඔහුගේ කවියේ වැදගත් ලක්ෂණය එය පමණක් නොවේ. “මස් ‍ලේ නැති ඇට” කාව්‍යයේ සිට “රතු කැකුළ” වැනි කාව්‍ය දක්වා එනවිට ඔහුගේ කවියේ අන්තර්ගතයේ ඇති වෙනස හොඳින් හඳුනාගත හැකි ය. වෙනදා කිවියකුගෙන් අප දකින තේමාවන්ගෙන් බොහෝ සේ බැහැර වූ තේමා ඔස්සේ ඔහු තම කවි රචනා කළේ ය. “මීහරකා” වැනි කවියක් ඊට හොඳ නිදසුනකි. “පොඩි ළමයෝ බත් ඉවරද කාලා” ආදී වශයෙන් සඳහන් කවිය ද එලෙස ය. මේ සඳහන් කළේ කිහිපයක් පමණි. අනෙක් කවි ද මෙසේ ම ය. අන්තර්ගතය මෙන් ම, කාව්‍ය උපක්‍රම අතින් ද ඒ කවිවල විශේෂත්වයක් විය. මීට පෙර භාවිත වූ කාව්‍ය උපක්‍රමවල වැඩි වශයෙන් දක්නට තිබුණේ උපමා - උපමේය යෙදීම ය. එහෙත්, පළමු වතාවට අපේ කවියට චිත්තරූප හඳුන්වා දුන්නේ ඔහු විය යුතු ය. නිදසුන් ලෙස බුදුන් වඳිනවා යනුවෙන් ඇතැමෙක් කරන වංචාව, ඔහු කවියෙන් මතු කරන්නේ එකී චිත්තරූපී ගුණය ප්‍රකට කරමිනි.

ඔහු එම ආදර්ශය ලැබුවේ ප්‍රංශ කවි බෙහෙවින් ආශ්‍රය කළ නිසා විය යුතු ය. සිරි ගුණසිංහ ප්‍රංශ භාෂාව හොඳින් උගත් විද්වතෙකි. බෝදලයා, ලාමීර්, රම්බෝ වැනි ප්‍රංශ කවීන්ගේ කවිවල තිබූ එම චිත්තරූපී ගුණය සිංහල කවියට හඳුන්වා දුන්නේ සිරි ගුණසිංහයන් විසිනි. බොහෝවිට ඔහු හඳුන්වා දෙන්නේ විරිතෙන් තොර කවි ලියූ කවියා වශයෙන් වුව ද, එපමණකින් නොනැවතී කවියේ ස්වරූපය වෙනස් කිරීමට ද නොබියව ඉදිරිපත් වූ කවියකු ලෙස ඔහු හඳුනාගත හැකි ය. ඔහුගේ කාව්‍ය සමුච්ඡයම අප විග්‍රහකොට ගත යුත්තේ මේ කාරණා මත ය. සිරි ගුණසිංහ නම් කවියාගේ සලකුණ ඔහු සම්බන්ධයෙන් පැවැති විවාදාපන්න බව ය.

ඔහු එක්වරම නිසඳැස් කවිය හඳුන්වා දුන්නා නොවේ. කාලයක් තිස්සේ අපේ සාම්ප්‍රදායික කවිය අධ්‍යයනය කරමින්, එහි තිබූ අඩු-ලුහුඬුකම් හඳුනාගෙන ඔහු මේ කාර්යයට අවතීර්ණ විය. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය නිකුත් වීමටත් පෙරාතුවම ඩේලිනිව්ස් - පුවත්පතට සැපයූ ලිපියක ඔහු මේ කාරණය කල් තබා දක්වා තිබූ බව මතක ය. ඒ වනවිටත් විදේශීය කාව්‍යවල, විශේෂයෙන් ප්‍රංශ කවියේ මේ වෙනස සිදුව තිබිණි. අප ඒ වෙනස කරන්නේ අවුරුදු 50 -60ක් ප්‍රමාද වීය. එසේ ප්‍රමාද වී හෝ එය ක‍ළේ සිරි ගුණසිංහයන් විසිනි. ඔහු එළැඹි සිටි සිහියෙන් පසුවීම ඊට බලපෑවේය.

ඔහු මේ වෙනස කළේ රැඩිකල් වීමට නොවේ. සංස්කෘත විචාරය පිළිබඳ ඔහු ලියා ඇති කාරණාවලින් ඔහු තුළ තිබූ සංස්කෘත දැනුම වටහාගත හැකිවේ. ඔහු මේ වෙනස කළේ එවැනි දැනුම් -තේරුම්කමක් ඇතිව ය. කව්සිළුමිණ ආදී අපේ පැරැණි මහා කාව්‍ය මෙන් ම, සීගිරි කවි ගැන ද ඔහු තුළ හොඳ දැනුමක් තිබිණි. මේ දැනුම සහිතව තම කාර්යය කළා මිස, පෙරළියක් කළ යුතු නිසා වෙනස සිදු කළා යැයි සැලැකීම නිවැරැදි නොවේ. කොළඹ යුගයේ කවිවල තිබූ ඒකාකාරී ස්වභාවය, එම කවීන් යොදාගත් ජීවිත අත්දැකීම්වල තිබූ පටු බව, මේ නිසා ඔවුන්ගේ කවිවල තිබූ සීමිත බව ආදී සියල්ල ගැන මනා අවබෝධයකින් යුතුව ඔහු ඒ වෙනස කළේ ය.

සිරි ගුණසිංහයන් සිය කාව්‍ය ව්‍යාපාරයට පිළිපන්නේ එවැනි දැනුමත් - පසුබිමත් ඇතිව ය. එය රැඩිකල් වීමට ඕනෑකමක් තිබූ නිසා කළ දෙයක් නොවේ. ඔහු සම්ප්‍රදාය පිළිබඳ ලියූ කෘතිය අගනා එකකි. සම්ප්‍රදාය යනු සැමදා එකතැන තිබිය යුතු දෙයක් නොව, වෙනස් වන දෙයක් බව ඔහු එහි සඳහන් කරයි. නිර්මාණකරුවා වෙනස කුමක්දැයි තේරුම් ගත යුතු ය. එකී වෙනසට අනුගතවිය යුතු ය. වෙනස් වීමෙන් සිදු වන්නේ, වර්ධනය වීමකි. සිරි ගුණසිංහයන්ගේ ආදර්ශ පාඨය වූයේ, එය බව සැලැකීමට පුළුවන. ඔහු මතුපිටින් රැඩිකල් වූ නිර්මාණකරුවකු නොවන්නේ එබැවිනි. ඔහු ලියූ සෑම කවියක්ම අති විශිෂ්ට කවියැයි පැවැසීමට නොහැකි ය. ඔහුගේ කාව්‍ය ව්‍යාපාරයේ මා දකින වැදගත්ම කාරණය, පෙර කී සීමිත රාමුවෙන් කවිය මුදාගෙන කවි ලිවීමට හැකියාව ඇති නම් කවීන්ට එළියක් වීම ය. ඔහු කවියට සිදු කළ වැදගත්ම සම්ප්‍රදාය, වෙනස් වන සම්ප්‍රදාය මනාව තේරුම් ගෙන, ඊට ගැළපෙන අන්දමේ නවතම කාව්‍ය මාර්ගයක් එලෙස පාදාදීම ය.

නිර්මාණකරණයෙන් ඔබ්බට සිරි ගුණසිංහයන් ගැඹුරු විචාරකයෙක් ද වේ. නූතන කාව්‍ය විචාරය සම්බන්ධයෙන් ඔහුගේ දායකත්වය ප්‍රබල ය. ඔහු විශාල ලෙස විචාර ලියූ විචාරකයකු නොවේ. එහෙත්, ලියූ ටික පමණක් වුව ද ඉතා වැදගත් ය. ඔහුගේ සියලු අදහස් කැටිකොටගත් කෘතිය ද එම විචාර ග්‍රන්ථයයි. සිංහල කවිය යා යුතු මඟ වෙනස් වන සම්ප්‍රදායට අනුව වෙනස්විය යුතු අන්දම, සියලු කලාංග ඊට ඔබින ලෙස සකස් විය යුත්තේ ඇයි වැනි කාරණා සියල්ල ඔහු එහි සාකච්ඡා කර තිබේ.

කවිය හැරුණුවිට ඔහුගේ අනෙක් සම්ප්‍රදායයන් සැලකිල්ලට ගැනීමේදී ද මේ බව පැහැදිලි කරගත හැකි ය.

ඔහු කළේ එක ම චිත්‍රපටයකි. ඒ “සත්සමුදුර” ය. එය සිංහල සිනමාවේ සදාතනික මං සලකුණකි. නවකතාව ගත්විට, “හෙවනැල්ල” ද එසේ ම ය. එහි ම දෙවැනි කොටස ලෙස සැලකිය හැකි “මන්දාරම” ඒ මට්ටමට පැමිණියාදැයි නොසිතේ. එහෙත්, “හෙවනැල්ල” සිංහල නවකතාව, එවක වර්ජිනියා වුල්ෆ් වැනි නවකතාකාරියන් භාවිත කළ “විඥානධාරා රීතිය” සිංහල නවකතාවට හඳුන්වා දුන් පළමු අවස්ථාව ය.

අපේ කලාවට , සාහිත්‍යයට නව්‍යාංග හඳුන්වා දුන් නිර්මාණකරුවකු ලෙස සිරි ගුණසිංහයන් අගැයීමට ලක් කළ යුතුවේ. පසුකාලීනව මඩවල එස්. රත්නායකයන්ගේ නවකතාවලින් පළ වූයේ එකී ආභාෂයයි. කනගාටුවට කාරණයක් නම්, “හෙවණැල්ල” වැනි නවකතාවකින් පෙන්වා දුන් මාර්ගය ඔස්සේ සිංහල නවකතාකරුවන් එපමණ ගමන් නොකිරීම ය. සාම්ප්‍රදායික කතා වස්තුව මුල්කොටගත් නවකතා දිගින් දිගටම ලියැවෙන්නේ එබැවිනි. අපේ බොහොමයක් නවකතා එක ම ආකෘතියක ලියැවුණු ඒවා ය.

කවියේ, නවකතාවේ හෝ සිනමාවේ ඔහු විශාල කෘති ගණනක් ඉදිරිපත්කොට නැත. එහෙත්, ඒ සියලු කෘති පුරෝගාමී ය. එකී පුරෝගාමී බව ද නිර්මාණකරුවකු ලෙස ඔහුගේ මූලික ලක්ෂණයකි. සැම විටම අධ්‍යයනයක ප්‍රතිඵල වශයෙන් එය මතු විය. ඔහු වැනි කුශාග්‍රයකු බොහෝ කාලයකට පහළ නොවනු ඇතැයි අපට කිව හැක්කේ එබැවිනි.

සංස්කෘත, ප්‍රංශ, ඉංග්‍රීසි භාෂා තුනම පිළිබඳ පෘථුල දැනුමක් ඔහුට තිබිණි. ඔහු වැනි නිර්මාණකරුවකුගේ නික්ම යාමත් සමඟ ඇතිවන හිඩැස පිරවීමට අසීරු ය. එහිදී මට දැනෙන හැඟීම ද මෙහි සඳහන් කළ යුතු ය. එය හරියාමට හෝ වැරැදීමට ඉඩ තිබේ. එහෙත් එය කිවයුතු ය. සිරි ගුණසිංහයන් ලංකා පො‍ළොවේ සිටියානම්, මීටත් වඩා හොඳ බවයි. ඔහුට මේ බිමෙන් යාමට සිදු වූයේ විශ්වවිද්‍යාලයෙන් සිදු වූ වරදකි. රටින් පිට වීමට තරම් ඔහුට ඒ කලකිරීම බලවත් විය. ඔහු කැනඩාවේ විශ්වවිද්‍යාලයක ඉගැන්වීමට ගියේ මේ වරද නිසා ය. එහෙත්, තව දුරටත් ඔහු ලක් පොළොවේ සිටියා නම්, ඔහු අතින් තවත් බොහෝ නිර්මාණ බිහි වීමට ඉඩ තිබිණි. මේ බව විශ්ව සාහිත්‍යයෙන් ද සනාථ වන්නේය. ලේඛකයන් කුමන හේතුවක් නිසා හෝ තම මවු පොළොව අත්හැර ගියවිට, මවු බිමේ සුවඳ ආශ්වාස කිරීමට නොලැබීම නිසා, නිර්මාණ ජීවිතයට බලපෑමක් ඇතිවන බව පැහැදිලි වී තිබේ. එය සිරි ගුණසිංහයන්ට ද එලෙසින් ම අදාළ වූවා යැයි සිතේ. එය එසේ නොවේයැයි කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත්, එය එසේ වූ බව අපගේ විශ්වාසයයි.

රටේ මිනිසුන් සමඟ ගැවසීමෙන්, ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න - ගැටලු සමඟ ජීවත් වීමෙන් නිර්මාණකරුවාට අවශ්‍ය උත්තේජය ලැබේ. එසේ නොමැති වූ කල, ඒවා මතුවන්නේ ද අඩු වශයෙනි. සිරි ගුණසිංහයන්ගේ අභාවයත් සමඟ, තවත් පහන්ටැඹක් නිවී ගොස් තිබේ. ඔහු වැනි පහන් කණුවලින් අපට ගත හැකි මහඟු ආදර්ශයක් නම්, නිරන්තර අධ්‍යයනයයි. නිර්මාණකරණය පමණක් නොව, අදාළ සෑම අංශයක් ගැනම පත-පොත කියවමින් ඔවුහු නිරන්තර පෝෂණය ලැබූහ. අද වනවිට එවැනි තත්ත්වයක් දක්නට නොලැබේ. ඉදිරියේ දී ඔහු වැනි ප්‍රාඥයන් පහළ වේදැයි සැකයක් අප තුළ ඉතිරිවන්නේ එබැවිනි. එය දුක්ඛදායක හැඟීමකි. එවැනි පහන්ටැඹ තවමත් දක්නට ඇත්නම් ඒ විරල වශයෙනි.

වර්තමාන සන්නිවේදන මාධ්‍ය ක්ෂණික ප්‍රතිඵල ලබාදීමට වෑයම් කරන, ඊට රුකුල් දෙන ස්වභාවයක් දක්නට තිබේ. ඒ නිසා සිදුවන්නේ, ගැඹුරින් දැනුම හෝ ඥානය සොයායාම අඩාල වීම ය. එය ගැටලුවක් ලෙස නිරන්තර අප තුළ රැව් නැ‍ඟේ. සරච්චන්ද්‍රයන්, කේ.ජයතිලක, අමරදේවයන්, සිරිගුණසිංහ ආදී පහන්ටැඹ ගණනාවක්ම නිවී ගොසිනි. ඒ වෙනුවට තවත් පහන්ටැඹ පහළ නොවන්නේ ඇයි යන කුකුස අප තුළ ඉතිරි වී තිබේ.

නව අදහස දක්වන්න