කසළ කළමනාකරණයේ මහජන එකඟතාව | දිනමිණ

කසළ කළමනාකරණයේ මහජන එකඟතාව

 සමෘද්ධිමත් පවුල් බහුලව සිටින වාතාවරණයක අපද්‍රව්‍ය කසළ බවට පත් වෙතත් නාගරිකව දිවි ගෙවන ඇතැම් දිළිඳු ජනයාට එම අපද්‍රව්‍ය වැදගත් ආදායම් මාර්ගයක් විය හැකිය. ලංකාව වැනි රටවල නාගරික ජනගහනයෙන් සියයට එකක්, එනම් අඩු තරමින් දශ ලක්‍ෂ 15ක් පමණ අනුන්ගේ කසළවලින් යළි ප්‍රයෝජනයට ගත හැකි දේවල් තෝරා වෙන් කර ගැනීමෙන් තම දිවි ගැට ගසා ගන්නා බව කියැවේ.

කුණු කඳු ගසා ඇති මීතොටමුල්ල සහ බ්ලූමැන්ඩල් වැනි ප්‍රදේශවලත්, ඒ තැන්වලින් ඉවත් කොට ඒවා යළි ගොඩ ගසන්නට යෝජනා කොට ඇති ඒකල වැනි ප්‍රදේශවලත් සමහරු ජීවිකාව ගෙන යන්නේ එම කුණු කඳුවලට යට වී ඇති විකිණිය හැකි හෝ කෑමට හැකි යමක් සොයා ගැනීමෙනි. මෙසේ කුණු කඳු පීරන අය නොයෙක් ආකාරයේ වස විසවලට ලක් වෙති; ලෙඩ රෝගවලට මුහුණ දෙති. රටක කසළ කළමනාකරණය කිරීමේ දී මොවුන්ගේ ජීවිත වඩා යහපත් තත්ත්වයකට පත් කිරීම ද එම කළමනාකරණයේ කොටසක් බවට පත් විය යුතුව තිබේ.

බොහෝ පාසල්වල දැනට ඇති පරිසරය පිළිබඳ විෂය මාලාවට කසළ කළමනාකරණය ද ඇතුළත් කළ හැකිය. බාලාංශ පංතිවලින් ආරම්භ කොට තරුණ ශිෂ්‍ය කොටස් ද, නිවෙස්වල පවත්වන අධ්‍යාපන කටයුතු මඟින් ඔවුන්ගේ මවුපියන් ද, අවට ගෙවල වැසියන් ද දැනුවත් කොට, අවශ්‍ය පහසුකම් සලසා දී ඔවුන් ද මෙම කටයුත්තට මැදිහත් කරවා ගැනීම කසළ කළමනාකරණ වැඩ පිළිවෙළක වැදගත් අංගයක් වෙයි. කසළ කළමනාකරණය සඳහා පාසල් මත පදනම්ව කරන එවැනි කටයුතු මෙන්ම සාමාන්‍ය ජීවිතයේ දී ප්‍රායෝගිකව කළ හැකි කටයුතු ආකෘතියක් ලෙස යොදා ගෙන කසළ කළමනාකරණය පිළිබඳ ජාතික වැඩ පිළිවෙලක් දියත් කළ හැකිය.

ඛේදවාචකයට ඇති දායකත්වය

මීතොටමුල්ල මෙසේ කඩා වැටුණු පළමු කුණු කන්ද නොවේ. මෙවැනි තත්ත්වයන් ඉදිරියේ ඇති වීම වළකාලන්නට දැනුවත් පියවර නොගතහොත් එය එසේ කඩා වැටුණු අවසාන කුණු කන්ද ද නොවනු ඇත. ලෝකයේ අන් සෑම තැනකම මෙන්ම මිනිස් ජීවිත පරදුවට තබා හුදෙක් ලාභය ප්‍රශස්ත කරන්නට, උපරිම කරන්නට ආයෝජකයන් කටයුතු කරන බවත් එවැනි පාරිභෝගික සමාජයක දිවි ගෙවන ලංකාවේ ජනතාව අල්ලස්, දූෂණ, ලේ වැගිරවීම් සහ මිනීමැරුම් වැනි දේවල යෙදෙන්නට පෙළඹවිය හැකි සහ පෙළඹෙන අයගෙන් සමන්විත බවත් අමතක කොට මෙම කුණු කන්ද ගැන කතා කළ නොහැකිය. මේ කුණු කන්ද අවට වාසය කළ ජන කොටස් වසර ගණනාවක් තිස්සේ කරන ලද උද්ඝෝෂණ වෙත එල්ල කරන ලද රජයේ මර්දන ක්‍රියාවලියම ඊට හොඳ නිදසුනකි.

මෙවැනි ප්‍රශ්න ගැන සැළකිල්ලක් හෝ අවධානයක් යොමු නොකළ මෙතෙක් පැවැති සියලූ රජයන් ද, දේශපාලකයන් හා නිලධාරි පැළැන්තිය ද, මේ ගැන අවධානය යොමු නොකරන සාමාන්‍ය සමාජයේ සියලූ දෙනා ද මේ ඛේදවාචකයට සෘජු ලෙස හෝ වක්‍ර ලෙස දායක වී ඇත. එක්දහස් නවසිය ගණන්වල අවසාන කාලය වන තෙක් ලංකාවේ බොහෝ දෙනා ආහාර අනුභව කරන්නට පාවිච්චි කළේ පිඟන් කෝප්ප, කෙසෙල් කොළ හෝ නෙළුම් කොළ ය. ඒ කාලයේ පළාත් පාලන ආයතන කසළ එක් රැස් කිරීමත් ඒවා බැහැර කරලීමත් සාර්ථක ලෙස කළද, පසු කාලීනව එම කටයුතු අඩාල වී ගියේය.

මෙම ශත වර්ෂයේ එදිනෙදා වැඩ කටයුතුවල දී ඉතාමත් බහුල සහ මිල අඩු අමු ද්‍රව්‍යයක් ලෙස ප්ලාස්ටික් භාණ්ඩ යොදා ගැනීමත් සමඟ එම තත්ත්වය වෙනස් වී ගියේය. ප්ලාස්ටික් භාණ්ඩවල ආයු කාලය කෙටි වීම හේතුවෙන් ඒ හා සම්බන්ධ අපද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් අපේ පරිසරයට එකතු වෙන්නට පටන් ගත්තේය. වරක් පාවිචිචි කොට ඉවත දැමිය හැකි ප්ලාස්ටික් භාජන සහ මලු මෙන්ම ආහාර ඔතන්නට සහ අනුභව කරන්නට යොදා ගත හැකි පොලිතීන් දවටන පරිහරණය කරන්නටත්, ඉන්පසු ඒවා තැන් තැන්වල ගොඩ ගසන්නටත් ලාංකීය සමාජය යොමු විය. කොළඹ නගරය අවට පමණක් නොව ඈත ගම් ප්‍රදේශවලද සුලබ ලෙස මෙම කසළ ගොඩ ගැසුණේය.

ගෝලීය කසළ උත්පාදනය

මෙම කසළ අර්බුදය ලංකාවට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ. පසුගිය අප්‍රේල් 22 දා ලෝක පෘථිවි දිනය සැමරූ බොහෝ රටවල කසළ කළමනාකරණය උත්සන්න වෙන භයංකර ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබේ. ලෝකය පුරා ඉවතලන කැලි කසළ ප්‍රමාණය සමඟ සංසන්දනය කළ විට ඒවා ක්‍රමානුකූලව නිතිපතා එක් රැස් කිරීමේ පහසුකම හිමි වී ඇත්තේ ලෝකයේ ජනගහනයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකට පමණි.

ලෝක බැංකුව 2011 දී කර ඇති ගණන් බැලීම්වලට අනුව හැම අවුරුද්දකම ලොව පුරා නගරවල කසළ ටොන් බිලියන 1.3ක් පමණ උත්පාදනය කෙරේ. මෙම කසළ ප්‍රමාණය වසර 2025 දී ටොන් බිලියන 2.2ක් දක්වා ද, 2100 දී ටොන් බිලියන 4ක් දක්වා ද වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වේ. ලෝකයේ වඩාත්ම කසළ උත්පාදනය කරන රටවල් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයත්, චීනයත්, බ්‍රසීලයත්, ජපානයත්, ජර්මනියත් ය. පසුගිය දශකයේ දී ඔස්ෙට්‍ර්ලියාවේ කසළ උත්පාදනය සියයට 170 න් වැඩිවී ඇත.

ආසියාවේ මහ නගර කසළ බැහැර කිරීමේ බරපතළ අභියෝගයකට මුහුණ දෙමින් සිටිති. දශ ලක්‍ෂ 13ක් පමණ වසන පිලිපීනයේ මැනිලා නගරයේ ස්මෝකි කන්ද ලෝකයේ තිබෙන කසළ මඟින් ගොඩ කරන ලද ලොකුම බිම්වලින් එකකි. මෙහි වසන කසළ පරිහරණය කරන දහස් ගණන් ජනයා විෂ දුම්වලට දිනපතා ගොදුරු වෙති. දශ ලක්‍ෂ 12ක් පමණ වසන ඉන්දියාවේ මුම්බායි නගරයේ කසළ යොදා ගොඩ කළ හැකි ඉඩමක් සොයා ගන්නට නොහැකි තරම් ය. දශ ලක්‍ෂ 11ක් පමණ වසන ඉන්දුනීසියාවේ ජකර්තා නගරය කසළවලින් පිරී ඉතිරී ගොස් ඇත. දශ ලක්‍ෂ 10ක් පමණ වසන තායිලන්තයේ බැංකොක් නගරයේ ඇති කසළ කඳු මෑතක දී ගින්නට හසු වීමෙන් සති ගණනක් නගරය දුමෙන් වැසී තිබිණි. පරිසර දූෂණයට මඟ පාදන මෙවැනි තත්ත්වයන් පොදු ජනතාවගේ සෞඛ්‍යයට හානිකර වනවා පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින ඇතැම් රටවල් මුළුමණින්ම පාහේ විෂ වායුවලින් වැසී වැනසී යන තත්ත්වයකට මඟ පෑදිය හැකිය.

කසළ ශූන්‍ය කරමු

ඇමෙරිකාවේ කසළ ශූන්‍ය කරමු (WasteZero) නමැති ආයතනයේ සභාපතිවරයා පවසන්නේ අපට නොපෙනෙන තාක් කල් කසළ කළමනාකරණය ගැටලුවක් ලෙස අප නොසළකන බවයි. ලංකාව සම්බන්ධයෙන් මෙය එසේ යැයි කිව නොහැක්කේ සෑම තැනකම සැම කෙනෙකුටම පෙනෙන්නට කසළ ගොඩගසා ඇති හෙයිනි. විදුලිය, ජලය සහ ගෑස්වලට මෙන් බැහැර කරන කසළ ප්‍රමාණයට අනුව මිලක් ගෙවන්නට සිදු නොවීම කසළ ගැන අඩු අවධානයක් යොමු වන්නට බලපාන එක් කරුණක් ලෙස සැලකේ. ඒ සමඟම වඩා කාර්යක්‍ෂම ලෙස කසළ ඉවත් කිරීමට කටයුතු කිරීමෙන් තවත් වැඩියෙන් කසළ ඉවත දමන්නට අප යොමු කරන බව ද කියැවේ.

මේ අනුව කසළ අඩු කරන්නට නම් නිවෙසකින් බැහැර කරන ප්‍රමාණය හෝ බර අනුව ගෙවීමක් කරන්නට පියවර ගත යුතුයයි ඇතැම් විශේෂඥයෝ පවසති. කසළ මධ්‍යස්ථානයකට ගෙනැවිත් බැහැර කරන හැම කසළ මල්ලකටම මුදලක් අය කරන්නට “කසළ ශූන්‍ය කරමු” (WasteZero) ආයතනය අනුබල දීමෙන් කසළ ප්‍රතිචක්‍රීකරණය දෙගුණයකින් වැඩි වී ඇති බවත්, කසළ බැහැරකරණය සියයට 44කින් අඩු වී ඇති බවත් පැවසේ. එහෙත් තමන්ට ලැබෙන සුළු ආදායමෙන් දැනටමත් අධික බදු බරක් ගෙවන බහුතරයක් ලාංකිකයන්ට මෙය තවත් බර පැටවීමක් වෙනවා ඇත. නිසැකයෙන්ම එය ඔවුන්ට දැරිය නොහැකි බරක් විය හැකිය.

කසළ උත්පාදනය සහ කළමනාකරණය

ලංකාව වසරකට උත්පාදනය කරන්නේ කසළ ටොන් මිලියන 15කට වඩා අඩුවෙනි. එහෙත් බොහෝ පළාත් පාලන ආයතනවලට මෙම කසළ ප්‍රමාණය පවා කළමනාකරණය කිරීම මහත් බරක් වී ඇත. ඒ ආයතනවල ආදායමෙන් සෑහෙන කොටසක් මේ සඳහා වැය වෙයි. ජනගහනයේ වර්ධනයත් සමඟම නාගරීකරණයට, කාර්මීකරණයට සහ පාරිභෝගීකරණයට වඩාත් භාජනය වීම නිසා උත්පාදනය කරන කැලි කසළ ප්‍රමාණය ඉහළ යනවා පමණක් නොව ඒවායේ ස්වභාවය (උදාහරණ ඉලෙක්ට්‍රොනික කසළ) ද වෙනස් වෙමින් ඇත. රටේ භූමි ප්‍රමාණයත් ජනගහන ඝනත්වයත් සමඟ සැසඳූ විට මෙය එතරම් සුබදායක තත්ත්වයක් නොවේ. දේශපාලකයන්ගේ වාග් මාලාවන් හැරුණු විට දැනට පවතින හෝ ඉදිරියේ වැඩි වෙන කසළ ප්‍රමාණය කළමනාකරණය කරන්නට අවශ්‍ය කරන කාලෝචිත ප්‍රතිපත්ති සමුදායක් හෝ ඊට අනුකූල පැහැදිලි වැඩපිළිවෙලක් හෝ පෙනෙන්නට නැත.

කසළවල සංයුතිය වෙනස් වෙන බවත්, කසළ උත්පාදනය වඩා වේගවත් වන බවත්, බැහැර කිරීමට වඩා කසළ එක් රැස් කිරීමට යන වියදම වැඩි බවත්, විශේෂයෙන්ම කසළ එක් රැස් කිරීම ඉතාමත් අකාර්යක්‍ෂම තත්ත්වයක පවතින බවත් එවැනි සැලැස්මක් සඳහා සැළකිල්ලට ගත යුතු වන වැදගත් කරුණු සමහරකි. අවට ඇති කුණු කඳු වෙනත් ප්‍රදේශවලට ගෙන යාමෙන් ප්‍රශ්නය මඟ හැරිය හැකි යැයි බොහෝ දෙනා කල්පනා කරතත්, එයින් සිදු වන්නේ වෙනත් ප්‍රදේශයක ජනයා මත එම ප්‍රශ්නය පටවාලීම පමණි. එළිමහනේ හෝ භස්මකයන් (incinerators) මඟින් හෝ කසළ පුළුස්සා දැමීමෙන් මෙය විසඳා ගත හැකි යැයි තවත් අය කල්පනා කරති. මෙවැනි පියවර විසඳුමේ කොටසක් ලෙස යොදා ගත හැකි නමුත් ප්‍රශ්නය සඳහා ඇති සැබෑ විසඳුමක එක පියවරක් වන්නේ කසළ කාර්යක්‍ෂම ලෙස එක් රැස් කරන්නට කටයුතු කිරීමයි. එහෙත් සමාජ සහභාගිත්වයෙන් තොරව, එහි වසන මිනිසුන්ගේ සංස්කෘතික ආකල්ප සහ හැසිරීම් රටා වෙනස් කරන්නට කටයුතු කිරීමෙන් තොරව කසළ කළමනාකරණය පිළිබඳ සාකල්‍ය විසඳුමක් ඇති කර ගත නොහැකිය.

1970 දී පමණ නුවර එළියේ වතු වගාවල දී ඇතැම් නිවැසියන් පහ කරන මළ පොහොර ලෙස යොදා ගන්නවා මා දැක ඇත. සනීපාරක්‍ෂාවට හානිකර වීමත්, නිකුත් වෙන දුර්ගන්ධය ඉවසා සිටින්නට නොහැකි වීමත් හේතුවෙන් පසුව මෙම ක්‍රියාවලිය නතර වන්නට ඇත. ගම් සහ නගරාසන්නයේ කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන ඇතැම් දෙනා කුණු කසළවලින් ද පලිබෝධකයන් (vermin) යොදා ගනිමින් ද මිශ්‍ර පොහොර සකස් කර ගැනීමේ යෙදෙති. ඉන්දියාවේ සහ නේපාලයේ ගැමි ජනයා ඉතාමත් ශූර ලෙස මෙවැනි කටයුතුවල නිරත වෙති. දිරාපත් වෙන අපද්‍රව්‍ය වීදි මුළුවල අපතේ නොදමන ඔවුහු මේ සඳහා අටු, පෙට්ටි, කොන්ක්‍රීට් වළවල් වැනි දේ පාවිච්චි කරති. ඒවායේ නිපදවන මිශ්‍ර පොහොර තවාන්වලට ද, ගොවීන්ට ද විකුණති. අපද්‍රව්‍යවලින් ප්ලාස්ටික් කොටස් වෙන් කොට ගෙන ඒවා විකුණා දමති. ඉතිරි කසළ වළලා දමති; නැතහොත් පුළුස්සා දමති.

එහෙත් ජනගහන ඝනත්වය වැඩි ස්ථානවල මෙවැනි දේ කිරීම දුෂ්කර ය. නගරවල එකතු වන කසළ කළමනාකරණය කරන්නට අවශ්‍ය තාක්‍ෂණික පහසුකම් ඇති කරන්නට රජයේ මැදිහත්වීම අවශ්‍ය ය. එසේ කරන්නට නොහැකි නම් ඒ කසළ ජනාකීර්ණ නොමැති සුදුසු වෙනත් ප්‍රදේශ වෙත ගෙන යායුතු වෙයි. මේ සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා කොට විද්‍යාත්මක විශ්ලේෂණයක් මත පදනම් වූ ජාතික පරිමාණයේ වැඩ පිළිවෙළක් දියත් කරන්නට කටයුතු කළ හැකිය.

සැබෑ යහපාලනයක ඇති වැදගත්කම

රටක සැබෑ යහපාලනයක් නොමැති විට රජයේ පරිපාලනය දුර්වල වන්නා සේම ප්‍රතිපත්ති හා විනයගරුක නොවන අකර්ණම්‍ය නිලධාරි පැළැන්තියකින් සමාජයේ සංවර්ධනයට අදාළ උපදෙස් නොලැබීමෙන් දේශපාලකයන් ද නොමඟ යන්නට පටන් ගනියි. බලයට පත් වෙද් දී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නට ඔවුන් තුළ දක්නා ලද දේශපාලන කැප වීම අහෝසි වී ගොස් ය. යහපාලනය ඇති කරන්නට අවශ්‍ය ප්‍රතිපත්ති, යාන්ත්‍රණ සහ වැඩපිළිවෙල පේන තෙක් මානයකවත් දකින්නට නැත. එවැනි තත්ත්වයක් රජයන විට රජයේ සේවය අකාර්යක්‍ෂම බවට පත් වීමත් පළාත් පාලන ආයතනවලට කසළ කළමනාකරණය වැනි අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වා ගෙන යන්නට නොහැකි වීමත් ගැන පුදුම විය යුතු නොවේ.

මෙවැනි අවස්ථාවල දී බලය දරන සහ ඊට ආසන්නව සිටින පුද්ගලයෝ තමන්ට අභිමත පරිදි පුද්ගලික පරමාර්ථ ඉටු කර ගන්නට පෙරට එති. මෙම අකාර්යක්‍ෂමතාවයේ ප්‍රතිඵලය වන්නේ ජනතා විරෝධය බුර බුරා පැන නැඟීමත්, ඒ තුළින් මෙවැනි සමාජ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ජනතා කොටස්ම පුරෝගාමී වෙමින් ඉදිරියට පැමිණීමත් ය. කසළ කළමනාකරණය ගැන ජන කොටස් දැනුවත් කොට පුහුණු කරලීම දුෂ්කර කරුණක් විය නොහැකි ය. අවශ්‍ය වන්නේ කසළ බැහැර කර දැමීමේ දී පවතින ජනතා ආකල්පවල සාධනීය වෙනසක් ඇති කොට කසළ යනු සම්පතක් ලෙස යොදා ගත හැකි දෙයක් ය යන ආකල්පය ජනයා තුළ ඇති කරලීමයි.

මතු සම්බන්ධයි
ලයනල් බෝපගේ

නව අදහස දක්වන්න