අපේ දරුවන්ටත් විදෙස් රටවලින් හොඳ පිළිගැනීමක් තිබෙනවා | දිනමිණ

අපේ දරුවන්ටත් විදෙස් රටවලින් හොඳ පිළිගැනීමක් තිබෙනවා

ICBT ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආචාර්ය මොහාන් පතිරණ

• රටේ පෞද්ගලික අධ්‍යාපනය සඳහා කෙතෙකුත් ආයතන තිබේ. එහෙත් එම ආයතනවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ අනාගතය මවුපියන්ගේ සිහින සැබෑකරන්නේද? එසේත් නැත්නම් සිහිනය සිහිනයක් ලෙසම අවසන් වන්නේද එසේ වීමට හේතුවූ කරුණු කාරණා පිළිබඳව ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය අධ්‍යයන ආයතනයක් වන ICBT උසස් අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ආචාර්ය මොහාන් පතිරණ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මේ ආයතනය පිළිබඳව හැදින්වීමක් කළොත් ?

මේක පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්. පෞද්ගලික විශ්ව විද්‍යාලය කියන වචනය මම පාවිච්චි කරන්නේ නැහැ. මේ ආයතනය අප ආරම්භ කළේ මීට අවුරුදු 17කට විතර ඉස්සර. එදා පෞද්ගලික ආයතන අතලොස්සයි තිබුණේ.

ළමයෙකුට විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වුණොත් මොකද කරන්නේ. සල්ලි තිබෙන කෙනෙකුට විදෙස්ගත වන්නට හැකියි. එසේ මුදල් නොමැති අයත් අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. එවැනි අයට මේ ආයතනයෙන් විශාල සේවයක් වෙනවා.

පාඨමාලා කොපමණ ප්‍රමාණයක් මෙහි පැවැත්වෙනවාද ?

හතළිහකට වඩා පාඨමාලා තිබෙනවා. ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි, ආචාර්ය උපාධිය දක්වා පාඨමාලා තිබෙනවා.

කුමන අංශවලින්ද පාඨමාලා ක්‍රියාත්මක වන්නේ?

කළමනාකරණ පාඨමාලා, තොරතුරු තාක්ෂණ පාඨමාලා, ඉංජිනේරු අධ්‍යාපනය, ඉංග්‍රීසි භාෂා පාඨමාලා මෙහි තිබෙනවා.හෙද, මනෝවිද්‍යාව වැනි පාඨමාලාත් පැවැත්වෙනවා.

මේ ආයතනයෙන් මේවන විට ළමයින් කොපමණ ප්‍රමාණයක් අධ්‍යාපනය ලබාගෙන තිබෙනවාද ?

විසි පන්දහසකට වැඩි ප්‍රමාණයක් උපාධි පාඨමාලා හදාරා පිටව ගොස් තිබෙනවා. මේක මේ රටේ තිබෙන විශාල අධ්‍යාපන ආයතනයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

අපට රටපුරා ශාඛා අටක් තිබෙනවා. නුවර,ගාල්ල, මාතර, යාපනය, මඩකලපුව අපගේ ශාඛා තිබෙනවා.

මේ අධ්‍යාපන ආයතනයේ විදේශ රටවල ශිෂ්‍ය, ශිෂ්‍යාවන් අධ්‍යාපනය ලබනවාද ?

ඔව්. මාලදිවයිනේ ළමයින් දෙසීයක් විතර අවුරුද්දකට එනවා. ඉන්දියාවෙන් , පාකිස්තානයෙන්, නේපාලයෙන් පැමිණෙනවා. යුරෝපීය ළමයින් සුළු පිරිසක්ද පැමිණෙනවා. විදෙස් රටවල ළමයින් පැමිණීමෙන් අපේ දරුවන්ටද අන්තර්ජාතිකව පිළිගැනීමක් ලැබෙනවා.

මෙහි අධ්‍යාපනය හදාරා පිටව යන ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට රැකියා වෙළෙඳපොළ පවතින්නේ කෙසේද ?

අපගේ ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගෙන් සියයට සියයක් තවත් උසස් පාඨමාලා හදාරනවා. නැත්නම් රැකියාවක් කරනවා. රැකියා වෙළෙඳ පොළ සඳහා අපේ පාඨමාලා සකසා තිබෙනවා. අපේ දරුවන්ට හොඳ පිළිගැනීමක් තිබෙනවා.

රැකියා වෙළෙඳ පොළට අවශ්‍ය සම්පත් අප නිෂ්පාදනය කරනවා, උපාධියක් ලබාගත් කෙනෙකුට ආචාර්ය දක්වා යාමට අවශ්‍ය මංපෙත් අප විවර කර දෙනවා. ලෝකයේ තිබෙන හොඳම විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධ වෙමින් අප කටයුතු කරනවා.

ආණ්ඩුවේ විශ්ව විද්‍යාලයන්හි පාඨමාලා සහ මෙහි වෙනස කොහොමද ?

අපේ දරුවන් ඉංග්‍රිසියෙන් අධ්‍යාපනය ලබනවා. රැකියා වෙළෙඳ පොළට ඉංග්‍රිසි භාෂාව අනිවාර්යයි. යම් කෙනෙකුට ඉංග්‍රිසි දැනුම සහ පරිගණක දැනුම තිබෙනවා නම් හොඳ රැකියාවකට යාමට හැකියි. සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හදාරපු කෙනෙකුට වඩා ඉංග්‍රිසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරූ කෙනෙකුට අවස්ථාව වැඩියි. ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලත් ඉංග්‍රිසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරණ අයට රැකියාවකට යාමේදී ප්‍රශ්න අඩුයි.

අද වැඩි වශයෙන් තිබෙන්නෙ තාක්ෂණය පදනම් කරගත් රැකියා වෙළෙඳ පොළක් නේද?

අප සම්බන්ධ වෙලා තිබෙන්නේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල සමඟ. ඒ නිසා නවින තාක්ෂණය අපේ ශිෂ්‍යයන්ටත් ලැබෙනවා. උදාහරණයක් කීවොත් දැන් ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ට ලැබෙන්නේ 2017 දැනුම.

අප මෝටර් රථ තාක්ෂණය කරනවා. ඒ අයට අද තිබෙන උසස්ම තාක්ෂණය ලැබෙනවා.

උපාධියක් ලබා ගත්තත් සමහරෙකුට අදාළ තාක්ෂණික දැනුම නොමැති නිසා රැකියාවක් ලබා ගන්න බැහැ. එවැනි අයට රැකියා වෙළෙඳ පොළේ සුදුස්සන් කරවීමට ඔබ ආයතනයේ වැඩපිළිවෙළක් තිබෙනවාද ?

අපෙන් යමෙකු ඉල්ලීමක් කළොත් යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. ඉතා පැරණි විෂය මාලා යම් ශිෂ්‍යයෙක් ඉගෙන ගත්තොත් ගැටලු ඇතිවෙනවා.

කොහොමද රටක අධ්‍යාපන ක්‍රමය සැකසිය යුත්තේ?

නිරන්තරව සංශෝධනය විය යුතුයි. ඕනෑම විශ්ව විද්‍යාලයක උගන්වන විෂයන් නිරන්තරව වෙනස් විය යුතුයි. තොරතුරු තාක්ෂණ විෂය ගත්තොත් නිරන්තරව වෙනස් වෙනවා. සමහර විෂයන්වල වෙනස්කම් සිදුවන්නේ කාලයකට පසුව.

පාඨමාලාවක් පැවැත්විය යුත්තේ යම් ප්‍රමිතියකටයි. එහෙම නැතිව දරුවන්ට ලොකු අසාධාරණයක් වෙනවා. කොළඹ නගරයේ විශාල සංඛ්‍යාවක් පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා.

දරුවෙකු පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට ඇතුළත් කිරීමේදී මවපියන් සැලකිලිමත්විය යුතු කරුණු මොනවාද ?

පත්තරවල තිබෙන දැන්වීම් දැකලා අධ්‍යාපනය සඳහා දරුවන් යොමු නොකළ යුතුයි. සමහරු දැන්වීම් වැඩිපුර දමන්නේ කුමක් හෝ ප්‍රශ්න නිසා.

ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මවුපියන් තම දරුවා පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට ඇතුළත් කිරීමේදී පළමුව කළ යුත්තේ අදාළ ආයතනයට ගිහින් ඒ පිළිබඳව සොයා බැලීමයි. පහසුකම් සොයා බැලිය යුතුයි. විද්‍යාගාර පහසුකම් තිබෙනවාද කියා සොයා බැලිය යුතුයි. දේශක මඩුල්ලේ සුදුසුකම් පිළිබඳව සොයා බැලිය යුතුයි. අදාළ පාඨමාලාව පවත්වන්නේ කුමන රටක් සමඟ සම්බන්ධ වෙලාද කියා බලන්න ඕනෑ. අදාළ විදෙස් විශ්ව විද්‍යාලයට ලෝකයේ පිළිගැනීමක් තිබෙනවාද කියා සොයා බැලිය යුතුයි. සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ හැකි අන්දමේ පහසුකම් තිබෙනවාද කියා සොයා බලන්න ඕනෑ.

මෙහි ඉදිරි සැලැස්ම කෙසේද?

ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ගේ දැනුම වර්තමානයට අවශ්‍ය ආකාරයට වර්ධනය කිරීම සඳහා අපගේ දේශකයන් නිරන්තරව දැනුමෙන් සන්නද්ධ කිරීමට අප කටයුතු කරනවා. දේශකයන්ට විදෙස් පුහුණුවද ලබා දෙනවා. විදෙස් දේශකයන්ද අප යොදා ගන්නවා.

අපි මේ ආයතනය නිර්මාණය කළේ, අධ්‍යාපන ආයතනයක් සඳහාමයි. දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් අප ලබාදෙනවා.

සමහර අධ්‍යාපන ආයතන ක්‍රියාත්මක වන්නේ ටැබ් එකක් දෙනවා. ෆොන් එකක් දෙනවා කියා. අපි ක්‍රියාත්මක වන්නේ නිසි අධ්‍යාපනයක් ලබාදීමටයි. හොඳ පහසුකම් සහිත පුස්තකාලයක්ද අපට තිබෙනවා. අපේ විස්තර අන්තර්ජාලයෙන්ද දැනගත හැකියි. මේ ආයතනය පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට මාව ඕනෑම වේලාවක හමුවන් පුළුවන්. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෝකයේ හොඳ තැන්වල සිටින්නේ. ඒක අපට සන්තෝෂයක්.

සාකච්ඡා කළේ - ටී. චන්ද්‍රසේකර
ඡායාරූප- ශාන් රඹුක්වැල්ල

නව අදහස දක්වන්න