වර්ජනයට මුහුණ දීමට රජය සූදානම් | දිනමිණ

වර්ජනයට මුහුණ දීමට රජය සූදානම්

මහින්ද අලුත්ගෙදර

සයිටම් ආයතනය හා සම්බන්ධ ගැටලුව සඳහා පැහැදිලි විසඳුම් ලබාදී තිබිය දී වැඩවර්ජනය කරන්නේ නම් ඊට මුහුණ දීම සඳහා රජය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අවධාරණය කරයි.

සයිටම් ආයතනය මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉල්ලා තිබෙන කරුණු අටෙන් හතක් සඳහා රජය විසින් විසඳුම් ලබාදී තිබිය දී මේ වැඩවර්ජනය ඉතාම අසාධාරණ මෙන්ම අයුක්ති සහගත එකක් බව පෙන්වා දෙන ඒ මහතා මෙය ලෝක සම්මතයක් නොව කුහකකම සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක් බවද එය තමන්ගේ චනල් සේවාව තවත් අයෙකුට බෙදී යාමෙන් සිදුවන ආදායම බෙදී යාමේ ගැටලුවක් බවද සදහන් කරයි. රජය, විවිධ ආයතන මෙන්ම සමස්ත රටම ප්‍රමිතිගත ආයතන ස්ථාපිත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා විරුද්ධ නොවිය යුතු බවද හෙතෙම කියා සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වර්ජනයේ නිරත වන්නේ නම් හමුදාවෙන් හෝ විදෙස් වෛද්‍යවරුන් යෙදවීම හෝ රජය විසින් සිදු කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් වී තිබෙන බවද අවසාන තීරණයකට නොපැමිණි නමුත් රටේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය තීන්දු, තීරණ ගන්නා බවද සදහන් කරයි. මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රජය විසින් අවශ්‍ය විසඳුම් ලබාදී තිබෙන අතර කැබිනට් පත්‍රිකාවක් හරහා නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට ලබාගැනීමට තීරණය කර තිබෙන බවත් ඒ හරහා එම රෝහල රජයේ රෝහලක් බවට පත්වන බවත්ය. එමඟින් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ළමයින්ගේ ප්‍රායෝගික ගැටලු සඳහා විසැඳුමක් ලබාදීමට හැකි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කරුණු අටක් සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කර තිබෙන නමුත් එහි කරුණු 7ක් ලබාදීමට රජය එකඟ වී තිබෙන බවද නඩුව සම්බන්ධ කරුණේ දී රජයේ මැදිහත්වීම සඳහා යම් යම් සීමා තිබෙන බවද සදහන් කළ ඒ මහතා පෞද්ගලික හෝ රජයේ වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍යවරුන් බිහි කිරීමේ දී අවම ප්‍රමිතීන් තිබෙන බවද පැවසීය.

මේ වන විට එම අවම ප්‍රමිතීන් වෛද්‍ය සභාවෙන් ලබාගෙන නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද එය ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් අටෙන් 7ක් සඳහා විසඳුම් ලබාදී තිබෙන මොහොතක ලෝක සම්මතයට අනුව ඔවුන් වැඩවර්ජනය කරන බවට ප්‍රකාශ කරන බවත් එහෙත් රෝගීන් සඳහා කිසිඳු කරදරයක් නොකර රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් බැදී සිටීම ලෝක සම්මතය බවත්ය. දැන් ඔවුන් විසින් කරන්න යන්නේ ලෝක සම්මතය දැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන් පමණක් සිටින බවද එංගලන්ත වෛද්‍ය සභාවේ වෛද්‍ය වෘත්තිකයන්ට අමතරව අනෙකුත් වෘත්තිකයන් පස්දෙනෙකු සිටින බවද පැවසීය.

ලෝක සම්මතයේ පැය අටක් වැඩ කරන වෛද්‍යවරුන් සිටිය ද අපේ රටේ වෛද්‍යවරුන් පැය දෙකක් දිවා ආහාරය වෙනුවෙන් වෙන් කරගෙන සිටින බවද සයිටම් ප්‍රශ්නය විසඳීම සඳහා පැහැදිලි විසඳුම් ලබාදී තිබිය දී ලෝක සම්මතයට ගොස් වැඩ වර්ජනය කරනවා නම් අපි ඊට මුහුණ දෙන්න සූදානම් බවද කී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සයිටම් ආයතනයේ සිසුන් 1,064ක් මේ වනවිට සිටින බවද මෙයින් උසස් පෙළ විභාගයේ දී බී සාමාර්ථ තුනක් සහ ඒ සාමාර්ථ තුනක් අතර ප්‍රතිඵල ලැබූ සිසුන් 247 දෙනෙකු සිටින බවද පෙන්වා දුන්නේය. 682 දෙනෙකු උසස් සාමාර්ථ ලැබූ සිසුන් මෙහි සිටින බවද එස් තුන ලබාගත් සිසුන් බඳවාගෙන තිබෙන්නේ 2012 වසරට පෙර බවද කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ද මේ අවස්ථාවට එක්විය. 

නව අදහස දක්වන්න