මානව ගරුත්වය හෙවත් අභිමානය | දිනමිණ

මානව ගරුත්වය හෙවත් අභිමානය

‘අභිමානය සහ අහංකාරය සමාන ලෙස පෙනුණත් එහි විශාල වෙනසක් තිබේ. සාර්ථකත්වයේ ද්‍රෝහියා අහංකාරය වන අතර අභිමානය එහි මිත්‍රයා වේ. අහංකාරය බොහෝ තරගකරුවන් ඇති කරන මුත් අභිමානය තරගකරුවන්ගේ ගෞරවය දිනාගැනීමට සමත් වේ.'

- සිං යුං හිමි.

වෙනත් සත්වයින් හා සසඳා බලන කල මිනිසා ඔවුන්ගෙන් වෙනස් වන ප්‍රධාන කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එකක් නම් මිනිසා සතුව ඇති අභිමානයයි. ඉංග්‍රීසි භාෂාවෙන් අපි එයට Dignity යැයි කියමු. අභිමානය, භෞතික යහපැවැත්ම සහ අධ්‍යාත්මික යහපැවැත්ම වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එම බෙදීම කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551 - 479) නම්වූ චීන අධ්‍යාත්මික නායකයාගේ ඉදිරිපත් කිරීමක් වන අතර අදටත් එය වලංගු වේ. භෞතික යහපැවැත්මට ආහාර, වාසස්ථාන හා ආරක්ෂාව පමණක් නොව අධ්‍යාපනය, රැකියා අවස්ථා ආදී සියලු දේ ඊට අයත් වේ. අධ්‍යාත්මික යහපැවැත්ම පුද්ගලයකුට තම ආගමික සහ සංස්කෘතික ජීවිතය බාධාවකින් තොරව ගෙනයාමට ඇති නිදහසයි. නමුත් එය ඊට වඩා වැඩි දෙයක් වන්නේය.

අධ්‍යාත්මිකත්වය (Spirituality) වනාහී පුද්ගලයකුට ගොඩනඟාගත හැකි ආශ්චර්යමත් බලයකි. නැතහොත් හැකියාවකි. එම බලය සහ හැකියාව එක ක්ෂේත්‍රයකට පමණක් සීමා වන්නක් නොව හැකියා රාශියක එකමුතුවකි. එහි අවසන් ඉලක්කය වන්නේ ආත්ම සංයමය (Self Control) ය. අද අප රටේ තමන් අධ්‍යාත්මික යැයි හඳුන්වා ගන්නා ‍බොහෝ දෙනෙකුට නැත්තේ ද මෙයයි. ඔවුන් අර්බුදයකට දැමූ විට සතුන්ගෙන් වෙනස්වන වගක් පවා නොපෙනේ. ඔවුන් තුළ වෙනත් සංස්කෘතීන්ට අයත් අය කෙරෙහි වෛරය හා බිය පවතී.

එම තත්වය මනෝ විද්‍යාවේ හඳුන්වන්නේ 'Xenophobia' වශයෙනි. එය මානසික ආබාධයකි. ඔවුන් තුළ වෛරී භාෂාව (Hate Speech) ද, යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය ආගමික වශයෙන් සාධාරණීය කිරීම ද, ස්ත්‍රීන්ට සමාන ලෙස නොසලකන පුරුෂෝත්තම උන්මාදය ද පවතී. එනිසා සැබෑ අධ්‍යාත්මිකත්වය වනාහී ආත්ම සංයමය වේ. එය ළඟා කරගැනීමට භාවනාව (Meditation) උපකාරීවන අතර එහිලා සාන්දරණය (Concentration) හෙවත් විසිරී ගිය සිත සමාධිගත කිරීම සහ අවශෝෂණය (Absorption) යන කාරණා දෙක ප්‍රගුණ කිරීමක් සිදුවන්නේය. සාන්දරණය මඟින් ඔබ තුළ ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු වන අභ්‍යන්තර බලය කෙරෙහි අවධානය යොමු කරමින් එය ප්‍රගුණ කිරීමේ ආශාව තහවුරු කරන අතර අවශෝෂණය මඟින් එම අභ්‍යන්තර බලය එළිදැක්වීමට ඇති ආශාව තහවුරු කර ගනී. එවැනි පුද්ගලයන් ආශ්චර්යමත් බලයක් හෝ හැකියාවක් ගොඩනඟා ගත්තෝ වෙති. ඔවුන් සුපිරි මානවයන් ලෙස සලකන්නේය.

මිනිසා සත්වයින්ගෙන් වෙනස්වන දෙවන කාරණය වන්නේ ස්වභාවධර්මයේ ක්‍රියාකාරකම් අධ්‍යයනය කරමින් එය විසින් ඇති කරනු ලබන ප්‍රශ්න අවම කර ගැනීමට ප්‍රයත්න දැරීමයි. නමුදු එම ක්‍රියාකාරකම හිතුවාටත් වඩා දුරදිග ගොස් ඇත්තේ මිනිසා විසින් ගොඩනඟා ගනු ලැබු විද්‍යා හා තාක්ෂණ සංස්කෘතිය සහ ප්‍රාග්ධන සංස්කෘතිය විසින් ස්වභාවික ලෝකය වෙනස් කිරීමට ගන්නා ප්‍රයත්න නිසාවෙනි. සත්වයින්ට මෙය කළ නොහැක. උසස් ගණයේ වානරයකුට පවා ඔවුන් ජන්මයෙන් උරුමකරගත් හැසිරීමකට වඩා වැඩි දෙයක් කළ හැක්කේ ඉතාමත් සීමිතවය. මිනිසා සතු බුද්ධිය සහ ආත්ම විමර්ශනය හේතුකොටගෙන අද ඔවුනට අභ්‍යවකාශයට පිවිසීම ඇතුළුව අහස සැරිසැරීමට හා ඉලෙක්ට්‍රොනික සන්නිවේදන උපකරණ භාවිතා කිරීමටත් හැකියාව ලැබී තිබේ. එනිසා ස්වභාවධර්මය විසින් අප වෙත දායාද කරනු ලැබූ දේට වඩා වැඩියමක් කිරීමට (මරණයෙන් ගැලවීමට පවා) මිනිසා බලාපොරොත්තු රඳවා සිටී. මානවයාට මෙසේ සිය සුවිශේෂීභාවය පාවිච්චි කොට ස්වභාවධර්මය ඉක්මවා යාමට පවා පුළුවන් වී ඇත්තේ ඔවුන් සතු ස්වාධීන හැකියා කරණ කොටගෙනය.

ස්වභාවධර්මය විසින් දායාද කරන ලද දෑ ඒ අයුරින්ම පිළිගැනීමට මැළිවීම ‍යනු එය ඒ හැටියෙන්ම පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමකි. සෙසු සත්වයින් මෙන් ස්වභාවධර්මයාගේ ආධිපත්‍යය පිළිනොගැනීමයි. නිදසුක් ලෙස තත්කාලීන සංස්කෘතිය තුළ ඇති ලිංගිකත්වය පිළිබඳ ආකල්ප බොහෝ දෙනෙකු දකින්නේ ස්වභාවධර්මය කණපිට පෙරළීමක් ලෙසටය. ස්ත්‍රී පුරුෂ ලිංගිකභාවය සහ ප්‍රජනනය අතර ඇති සම්ප්‍රදායික සම්බන්ධයට විරුද්ධ වී සමලිංගික, ඉතරලිංගික, ද්විලිංගික සහ විපරිලිංගික ආදී සබඳතා කෙරෙහි බොහෝ දෙනා දකින්නේ එය ස්වභාව ධර්මයට පිටුපෑමක් ලෙසිනි. නමුදු ඒවා ස්වභාවධර්මයේම කොටසක් ලෙස පිළිගැනීමට හෝ එසේ පිළිගැනීමට බාධා ගෙනදී ඇත්තේ සම්ප්‍රදායික සංස්කෘතික ආකෘති බව පිළිගැනීමට ඇති නොහැකියාව නිසා හෝ බව මෙහිලා පැවසිය යුතුවේ.

ස්වාධීනත්වය (Autonomy) යන වචනයේ මෙම අලුත් අර්ථයෙන් මිනිසාට උදාකොට තිබෙන අසීමිත අවස්ථා හේතුකොටගනෙ මනුෂ්‍යයාගේ වටිනාකම නැතිනම් අභිමානය මැනබැලීමට පැහැදිලි ක්‍රමවේදයක් අද දක්නට ඇත්තේද නැත. නමුදු මනුෂ්‍ය වටිනාකම් අද මැන බැලෙන්නේ මිනිසා තම නිදහස පාවිච්චි කරන ආකාරය අනුව බව කිව යුතුය. මෙම අයිතිය එකිනෙකා විවිධාකාරයෙන් පාවිච්චි කරති. එය පුද්ගල තෝරා ගැනීමක් වන නමුදු අප තවමත් සිටින්නේ අවට සිටින්නන්ගේ පිළිගැනීම ලබාගැනීමට කැමති සමාජ සත්ව කොට්ඨාසයක් තුළය. එනිසා මෙම තත්වය මිනිසාගේ නිදහස පිළිබඳව තිබෙන්නා වූ විරුද්ධාභාසයකි. යම් හෙයකින් අවට සිටින්නන්ට පවා වෙනස් විදිහකට සිතීමට අපිඅවකාස සලකන්නේ නම් එය සමාජ වෙනසක් සඳහා මඟ පාදන පළමු පියවර වන්නේය.

අත්‍යන්ත වටිනාකම් නොරැකෙන සංස්කෘතියක මනුෂ්‍යයන් යනු කවුරුන්දැයි හඳුන්වන තවත් අංශයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. එනම් මිනිසාගේ වටිනාකම් මැන බැලෙන ඵලදායිතා (Productivity) මිණුම කෙරෙහිය. අපගේ ස්වයං වටිනාකම (Own self worth) මැන බැලීමට කිසියම් මිණුමක් අවශ්‍ය වන නමුත් සිතූ සිතූ දේ කිරීමට අපට තිබෙන නිදහස හෝ ස්වාධීනත්වය එවැනි මිණුමක් ලෙස සැලකිය නොහැක. අපට ජීවත්වීමට ආහාර පාන අවශ්‍යය. එසේම මිනිසෙකුට ධනය උපයා ගැනීමේ ඉඩ ප්‍රස්ථාත් තිබිය යුතු වේ. ඒ නිසාවෙන්ම අද පුද්ගලයා මැන බැලීමට තිබෙන පොදු ගුණාකාරය බවට පත්ව තිබෙන්නේ පුද්ගලයා සතු ඵලදායීතාවය (Productivity) යි.

අමෙරිකානු ලේඛක පීඨර් ඔගස්ටින් ලෝලර් (Peter Augustine Lawler) ඔහුගේ 'Modern American Dignity: Who we are as persons, and what that means for our future' නම් වූ ග්‍රන්ථයේ සඳහන් කරන පරිදි අද වන විට උසස් මනුෂ්‍ය සද්ගුණ ගැඹුරින් හැදෑරීමට ඉඩ ප්‍රස්ථා සලසන විශ්වවිද්‍යාලවල පවා එවැනි වටිනාකම් හුදෙක් මිථ්‍යා දේවල් හැටියට බැහැර කොට සියලු දේ ඵලදායීතාවය යන දෙවියාට පූජා කර තිබෙන බව කියා සිටී. කිසිදු ඵලදායීතාවයක් නොදක්වන හෝ එවැනි හැකියාවක් නොමැති අය සමාජයට අවශ්‍ය නොවන්නන් ලෙස බැහැර කිරීමට තරම් සමාජය සහ එහි පද්ධතීන් සාහසික වී තිබෙන බව හෙතෙම වැඩි දුරටත් කියා සිටින්නේය. සමාජයට ඵලදායී නොවන මහල්ලන්, රෝගීන්, යාචකයන්, ආබාධිතයින්, දුප්පතුන් සහ ළදරුවන් මෙන්ම දේශපාලන සවිය නොමැත්තන් මේ ගණයට වැටෙන්නේය.

ලාංකීය සමාජය තුළත් මේ රෝගය වැළඳී ඇති ආකාරය පිළිබඳව නිදසුන් ඕනෑ තරම් ගෙනහැර දැක්විය හැකිය. අද මේ ගණයේ කොතෙකුත් පුද්ගලයන් මහ මඟ අත හැර ගොස් සිටීද? මොවුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීමට කෙනෙක් සිටීද? රාජ්‍යය විසින් හෝ සමාජය විසින් හෝ මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් වගකීමක් බාරගනු ලබන්නේද? ආදී ප්‍රශ්න රාශියකට අද අපට මුහුණදීමට සිදුව තිබේ. එසේම දේශපාලන සහ ආර්ථික සවිය නොමැත්තවුන් තමනට හිතූ හිතූ පරිදි පාලනය කිරීමට මෙම සමාජ ක්‍රමය යටතේ සවිය ඇතිවූවන්ට අවස්ථාව ලැබී තිබේ. ස්වභාවධර්මය අද මිනිසාට එරෙහිව කැරලි ගසන්නේය. ඒවායින් විපතට පත් වන්නේ දුප්පත් සාමාන්‍ය ජනතාවය. ස්වභාවධර්මයේ එම කැරලිවලට බලපා තිබෙන්නේ පාරිසරික විනාශයයි. පරිසරය ගැන නොතකා සංවර්ධන ව්‍යාපෘති ඇරඹුවේ දුප්පත් සාමාන්‍ය ජනතාව නොවේ. උමා ඔය ව්‍යාපෘතිය අද ඊට කදිම සාක්ෂිය සපයන්නේය. 

නව අදහස දක්වන්න