ධනුෂ්කට ටෙස්ට් වරම් | දිනමිණ

ධනුෂ්කට ටෙස්ට් වරම්

ෆවුස් මොහොමඩ්

සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී සාර්ථක පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ටෙස්ට් වරම් ලබා දෙමින් ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඊයේ නම් කරනු ලැබීය.

26 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක පසුගියදා නිමාවට පත්වූ එක්දින තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතක 3ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (14) ආරම්භ වන ‍දෙපිල අතර එකම ටෙස්ට් තරගය සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කලෙකට පසුව වේගපන්දු යවන්නන් ලෙස දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු එක්වීම විශේෂත්වයකි. පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයකට සහභාගි වූ විශ්ව ප්‍රනාන්දුට සහ දකුණු අප්‍රිකානු සංචාරයේ දී අවසන් වරට ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ දුෂ්මන්ත චමීර හෙට තරගයට නම් කළ ශ්‍රී ලංකා සංචිතයට එක්වෙද්දී ආබාධ හේතුවෙන් වේගපන්දු යවන නුවන් ප්‍රදීප්ට අවස්ථාව අහිමිවී තිබේ. මීට අමතරව ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාටද කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නැත. මීට පෙර ටෙස්ට් කණ්ඩායමේ සිටි තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට මෙවර ස්ථානය අහිමිවීම කැපී පෙනේ.

පළමු වරට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය යටතේ හෙට පිටියට බසින ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් වසර තුනකට පසුව ක්‍රීඩකයකු ලෙස එක්වී සිටී.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), ඇන්ජෙලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර.

 

නව අදහස දක්වන්න