කතකගේ රන් බඩු පැහැරගත් සැකකරුවෝ අත්අඩංගුවට | දිනමිණ

කතකගේ රන් බඩු පැහැරගත් සැකකරුවෝ අත්අඩංගුවට

දරුවා පාසලට රැගෙන විත් ආපසු යමින් සිටි මවකගේ අත කර පැලැඳි රන් ආභරණ කෑගල්ල රංවල මහ මඟදී බලහත්කාරයෙන් ගලවාගන මෝටර් රථයකින් පලාගිය සැකකරුවන් තිදෙනා සහ මෝටර් රථය දැදිගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා කෑගල්ල පොලිසියට භාරදී තිබුණි.

සිද්ධියට මුහුණ පා ඇත්තේ අඹන්පිටිය ප්‍රදේශයේ කාන්තාවක් වන අතර ඇය සිද්ධිය වු අවස්ථාවේදිම එම තරුණයන් තිදෙනා පලාගිය වාහනයේ අංකය, වර්ණය, සහ වාහන වර්ගය පිළිබඳව කෑගල්ල පොලිසියට ක්ෂණිකව පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලට අනුව කෑගල්ල පොලිසිය ප්‍රදේශයේ අනෙකුත් පොලිස් ස්ථාන දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවු බවද පොලිස් ආරංචි මාර්ග වලින් හෙළිවේ.

මහමඟ ගමන් ගන්නා වාහන පිළිබඳව විසිල්ලෙන් සිටි දැදිගම පොලීසියේ නිලධාරින් කණ්ඩායම පලායමින් සිටි මෙම සැකකරුවන් වරකාපොළ කොහොඹදෙනිය ප්‍රදේශයේදී ලුහුබැඳගොස් අත්අඩංගුවට ගැනීමට සමත්වි තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් රජවැල්ලවත්ත -දිගන, දොඩංගොඩ - , සහ ගොඩවෙල තෙල්දෙනිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවටද හඳුනාගෙන ඇත. 

සබරගමුව සමුහ

නව අදහස දක්වන්න