වැනසුවොත් වනය වැනසෙයි අපේ දිවිය | දිනමිණ

වැනසුවොත් වනය වැනසෙයි අපේ දිවිය

කන්නෙලිය-දෙදියගල-සිංහරාජ වැසි වනාන්තර අනතුරේ

තෙත් කලාපයේ ඉතිරිව ඇති ස්වාභාවික වනාන්තර එකිනෙක වෙන් වී තැනින් තැන විසිරී පිහිටා ඇත. මෙලෙස සංඛාත්මක වශයෙන් වන භූමි සියයකට ම‍ඳක් වැඩි ප්‍රමාණයක් තෙත් කලාපයේ විසිරී ඇති අතර ඒවා කුඩා කට්ටි ලෙස තේ වගාවන් හා ගම්මාන වලට මැදිවී පිහිටා තිබේ. මෙම වනාන්තරවල ජෛව විවිධත්ව වටිනාකම ගැන අවධානය යොමු කෙරුණු අතර පසුව කරන ලද විද්‍යාත්මක අධ්‍යනය වලින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉතා කුඩා රටක් වුවද ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ මට්ටමක සිටින බව හෙළි වී ඇත. 1990 දී නෝමන් මෙයර් මහතා මේ කරුණු කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමුකර ලෝකයේ සුවිශේෂි වැසි වනාන්තර 18 අතරට ශ්‍රී ලංකාවේ නිරතදිග වැසි වනාන්තරද ඇතුළත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශය ලෝකයේ එවැනි සුවිශේෂ ස්ථාන අතරින් අසාමාන්‍ය ජෛව විශේෂ සංයුතියක්ද අසාමාන්‍ය ඒකදේශීය ජෛව විශේෂ සංඛ්‍යාවකින් සමන්විත බව වාර්තා ගත කර ඇත. එසේම එම වනාන්තර අසාමාන්‍ය ලෙස තර්ජනයන්ට භාජනය වී ඇති බවද සොයා ගෙන ඇත.

ඈත අතීතයේ සිට ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනාන්තර ලෙස නිරිත දිග තෙත් කලාපයේ ඇති වැසි වනාන්තර හා වියළි හා අතර මැඳි කලාපවල ඇති මෝසම් වනාන්තර පැවතුනි. කාලයත් සමඟ වැවිලි බෝග වගාව, කෘෂිකාර්මික සංවර්ධනය හා ජනගහන වර්ධනය සමඟ මෙම වනාන්තර වලින් වැඩි ප්‍රමාණයක් එළි පෙහෙළි කිරීමට භාජනය විය. මේ අනුව 1881 දී 84% ක් ව පැවැති වනගහණය මේ වන විට 25% ටත් වඩා අඩු වී ඇත. තේ, පොල්, රබර්, පොල් හා වී වගාවේ ව්‍යාප්තිය හා වැඩිවන ජනගහනයට පදිංචි වීමට ඉඩ ප්‍රස්ථා අවශ්‍ය වීම ආදී කරුණු නිසා ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශ වන විනාශය එහි අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩක් පමණ එහි භූමි ප්‍රමාණයෙන් 25% ක් පමණ වූ තෙත් කලාපයේ ව්‍යාප්ත වී සිටීම එහි වන විනාශය අධික වීම කෙරෙහි බලපා ඇති මූලික සාධකයක් වී ඇත.

තෙත් කලාපයේ සිදුවන වනාන්තර විනාශය නිසා ස්වාභාවික වනාන්තර ක්ෂය වීමෙන් ඒක දේශීය ජෛව විශේෂ ගණනාවක් වැනසී යාමේ තර්ජනයට මුහුණ දි ඇත. තෙත් කලාපයේ වැසි වනාන්තර 5 ක සිදු කරන ලද අධ්‍යනයකදී ඒක දේශීය ශාක 879 කින් විශේෂ 399 ක් තර්ජනයට ලක්ව ඇති බවද පෙනී ගොස් ඇත. එහෙයින් ශ්‍රී ලංකාවේ නිරිතදිග වැසි වනාන්තර ඒක දේශීය ශාක විශේෂ ගණනාවකටම අනාථාගාර වශයෙන් ක්‍රියාකරන බවට මේ අනුව සැලකිය හැකිය.

සත්ව විශේෂ අතරින් ඒක දේශීය මත්ස්‍යය, ඇම්පිබියා හා උරග විශේෂ සම්බන්ධයෙන් සලකා බැලීමේදී එම සියලුම විශේෂ තර්ජනයට ලක්වී ඇති බව පෙනී යයි. එමෙන්ම මොලුස්කාවන් අතරින් 76% ක්ද එලෙස තර්ජනයට ලක්වී ඇති බවත් පෙනී ගොස් ඇත. තවද සත්ව විශේෂ සියල්ලම පාහේ දැනට ඉතිරිව ඇති නිරිතදිග වැසි වනාන්තර වල අනාථාගාර මට්ටමේ දිවි පෙවෙතක් ගත කරන බවටද කරුණු සනාථ වී ඇත.

මෙම වැසි වනාන්තර වලට ප්‍රධාන වශයෙන් තර්ජන එල්ල වන්නේ ඒ වටා පිහිටා ඇති ගම්මාන වල වෙසෙන ජනතාවගෙනි. ඔවුන් ආහාර, බෙහෙත්, ඉන්ධන හා සත්ව ආහාර එක්රැස් කර ගැනීමටද කෘෂි කර්මාන්තය සඳහා ඉඩම් ලබා ගැනිමටද පාරම්පරිකව මෙම වනාන්තර යොදා ගනු ලබයි. සිංහරාජ වනයේ කරන ලද අධ්‍යනයකදී එම වනාන්තරයේ හා ආරක්ෂක කලාපයේ ඇති ශාක විශේෂ 75% ක් පමණ ඉහත කී ප්‍රයෝජන සඳහා යොදා ගන්නා බව පෙනී ගොස් ඇත.

එලෙසම පවත්නා සෑම රජයක්ම වනාන්තර ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබීම වැදගත් වේ. කෙසේ වෙතත් පනවන නීති අනපනත් අභිබවා මානව වර්ගයා තම පැවැත්ම උදෙසා වනාන්තර විනාශ කිරීම දින දින ඉහළ යාම වහා නතර කළ යුතුවේ. ලංකාවේ නිරිත දිග පිහිටා ඇති වැසි වනාන්තර හා ඒ ආශ්‍රිත ජීවත්වන මුළු මහත් ශාක හා සත්ව ප්‍රජාව ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පතකි.

කන්නෙලිය, දෙදියගල, නාකියාදෙණිය, වනාන්තර හා බැඳුණු සිංහරාජ වනාන්තරය තවදුරටත් ආරක්ෂා කිරීම අප කාගේත් යුතුකම හා වගකීම වන්නේය.

යක්කලමුල්ල විශේෂ
කුමාර උදයරත්න 

නව අදහස දක්වන්න