නයිවල දිවි නැඟුම සතිපොළ වැසීයාමේ අවදානමක් | දිනමිණ

නයිවල දිවි නැඟුම සතිපොළ වැසීයාමේ අවදානමක්

පාරිභෝගිකයින් නොමැතිව වෙළෙඳුන් කල්පනා කරමින් සිටින අයුරු.

බඩු ගන්න සෙනඟ එන්නේ නෑ වෙළෙන්දන්ගෙන් මැසිවිලි

වසර සිය ගණනක් පැරැණි එක් දිනකට රුපියල් ලක්ෂ ගණනින් වෙළෙඳාම් සිදුවුණු ප්‍රසිද්ධ නයිවල බුලත්පොළ ආශ්‍රිත පාරිභෝගික සතිපොළ වෙනුවට පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් රුපියල් කෝටි තුනහමාරක් පමණ වැයකර නයිවල දිවි නැඟුම සතිපොළ ඉදිකර තිබේ. එහෙත් පාරිභෝගිකයන්ගේ නොපැමිණීම නිසා මැස්සන් ඇහිරෙන තත්වයක් යටතේ වෙළෙඳාමේ ආදායම බින්දුවට බැස ඇතැයි වෙළෙන්දෝ පවසති.

ප්‍රධාන මාර්ගයට ආසන්නව පැවැති සතිපොළ එම ස්ථානයෙන් ඉවත්කර උස්වූ විශාල ගොඩනැගිලි කීපයකට මැදිකර හුදෙකලා ස්ථානයක ස්ථාපිත කිරීම මෙයට හේතුව බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

නව ස්ථානයේ ස්ථාපිත කළ සතිපොළ විවෘත කරන අවස්ථාවේදී වෙළෙඳුන් සිය ගණනක් එක්ව සිටි අතර වෙ‍ළෙඳුන් වෙනුවෙන් සකස් කර තිබූ යකඩ කඩ බක්කිවලින් විශාල ප්‍රමාණයක් වෙළෙඳුන් නොමැති නිසා මේ වනවිට පසෙකින් ගාල් කර ඇත. විදුලි රැහැන් පද්ධති හා වටේට වහලයට පහළින් සවිකර තිබූ විශාල ප්‍රමාණයේ සීට් ගැලවී ඇත.

නයිවල දිවි නැඟුම සතිපොළේ ආරම්භ කළ මාළු හා මස් වෙළෙඳසල් දෙකින් පාරිභෝගිකයන්ගේ නොපැමිණීම නිසා මාළු වෙළෙඳ සල වැසී බොහෝ කල්ය.

ගම්බද එළවළු, අල, බතල පමණක් නොව උඩරට එළවළු වර්ගද, මසා නිම කළ ළමා ඇඳුම්, සපත්තු, සෙරෙප්පු, අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයන් සාධාරණ මිල ගණන් යටතේ ලබාගැනීමට එදා පාරිභෝගිකයා පැමිණියේ ගම්බද පොළටයි. නයිවල බුලත් හා පාරිභෝගික පොළ දිවි නැඟුම වී හුදකලා ස්ථානයක ස්ථාපිත වීමෙන් මේ පරිසරය වෙළෙඳ රටාව සම්පූර්ණයෙන් වෙනස්වී ඇත.

මේ තත්ත්වයන් හමුවේ සිදුවූයේ මහජන මුදල් කාබාසිනියා වීමක් බව සිය ගණන් වෙළෙඳුන්ගෙන් ඉතිරිව සිටින වෙළෙඳුන් හය හත‍්දෙනා පවසති.

නයිවල බුලත් පොළ ආශ්‍රිත පාරිභෝගික සතිපොළ මීට පෙර පිහිටා තිබුණේ ගම්පහ දිවුලපිටිය මාර්ගයට ඉතා සමීපව නයිවල පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතියට අයත් භූමි භාගයකයි. වසර සිය ගණනක සිට නයිවල බුලත්පොළ ප්‍රසිද්ධියක් උසුලයි. සෑම සතියකම බදාදා දින අලුයම 3.30 ට 4.00ට පමණ බුලත් පොළ දිවයිනේ නන්දෙසින් එක්වන වගාකරුවන් හා ගැනුම්කරුවන්ගෙන් පිරී පවතී. බුලත් තොග වශයෙන් හුවමාරුවීම නිසා බුලත් වෙළෙඳුන්ට හා වගාකරුවන්ට හොඳ ආදායමක් ලබාදුන් වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. ඒ තත්ත්වය මේ වනවිට වෙනස්වී ඇත.

බුලත් පොළ උදෑසන පහ පමණ වනවිට අවසන් වෙයි. ඉන්පසු පෙරවරු 7.00 / 8.00 වනවිට පාරිභෝගික ද්‍රව්‍ය වෙළෙඳ පොළටද වෙළෙඳුන් සිය ගණනක් එක්ව සිටින අතර පාරිභෝගික පැමිණීමද දහස් ගණනින් විය. එකිනෙකාගේ ආදායම රුපියල් තිස් හතළිස්දාහ ඉක්මවූවා සේම සමස්ත පොළේ වෙළෙඳාම පිරිවැටුම ලක්ෂ ගණනින් වූ බව පැරැණි වෙළෙන්දෝ පෙන්වා දෙති.

එදා මෙදා අතර වෙළෙඳාම හා ආදායම් වෙනස දැනට ඉතිරිව සිටින වෙළෙඳුන් කිහිපදෙනා පෙන්වා දුන්නේ මෙසේය.

නයිවල එළුවාපිටිය දයාරත්න වීරසිංහ මහතා -

අවුරුදු තිහක කාලයක ඉඳලා මම නයිවල පොළේ වෙළෙඳාම් කරන්නේ. කලින් පොළ තිබුණ ස්ථානය ප්‍රධාන මාර්ගයට ආසන්නයි. මහජනයාට පේනවා පාරෙන් යන කවුරු වුණත් පොළට ගොඩවැදිලා මොනවහරි අරගෙන යන්න පුරුදු වෙලා හිටියේ. එතකොට අපේ දිනක ආදායම රුපියල් 12000 – 15000 අතර වුණා. සමහර දිනවලට රුපියල් 30000 – 40000 ත් අතර වුණා. පොළ තිබූ තැනින් ඉවත්කර මේ ස්ථානයට ගෙනාවට පස්සෙ පරණ වෙළෙඳුන්ටත් තැනක් නැති විදියට වෙළෙඳුන් සිය ගණනක් සිටියා. දැන් තත්ත්වය වෙනස් වෙලා. පාරිභෝගිකයෝ එන්නේ එක්කෙනයි දෙන්නයි.

නයිවල ප්‍රමෝද් ඉන්දික මහතා -

මෙම පොළ කලින් තිබුණ ස්ථානයේ හොඳට බිස්නස් තිබුණා. පාරිභෝගිකයින්ට පොළ පේන්නේ නැහැ. පොළ හොයාගෙන ඇතුළට එන්න ඕනෑ. පාරිභෝගිකයෝ නැතිව කාටද බඩු විකුණන්නේ. බලධාරින්ගෙන් ඉල්ලන්නේ පොළ පෙර තිබූ තැනට හෝ පාරට ආසන්න තැනකට ගෙන යන ලෙසයි.

එළුවාපිටියේ කේ. සමන් කුමාර ජයසූරිය මහතා -

මමත් අවුරුදු තිහක පමණ ඉඳලා ‍ෙම් පොළට වෙළෙඳාමට එන්නේ. පොල් සමිතියට අයත් භූමියේ පොළ තියෙනකොට හොඳ අලෙවියක් තිබුණා. ආදායමක් තිබුණා. බඩු විකුණන්න බඩු ගන්න පාරිභෝගිකයෝ එන්නෙ නැහැ. වැලේ වැල් නැහැ.

මහජන මුදල් වියදම් කර ගොඩනැගිලි හදලා පොළ තිබුණ ස්ථානයෙන් වෙන තැනකට ගෙන යාමෙන් මේ තත්ත්වය උදාවිය හැකි බව එදා නයිවල ප්‍රදේශය නියෝජනය කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පසුගියදා මිය ගිය ඩබ්ලිව්. එස්. එම්. පී. ආරියදාස මහතා පෙන්වා දී තිබුණි.

2012 ජූනි මස 28 වෙනි දින එවකට ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් විවෘත කරන ලද නයිවල දිවි නැඟුම සති පොළට පුරා වසර 5ක් සම්පූර්ණ වනවිට විදුලි රැහැන් පද්ධති කඩා වැටී ඇත.

වෙළෙඳුන් සිය ගණනකට සෑදු කඩ බක්කිවලින් විශාල ප්‍රමාණයක් වෙළෙඳුන් නොමැතිව පසෙකින් ගාල්වී තිබේ. වෙළෙඳුන් හයහත් දෙනෙකුට සීමාවුණු පාරිභෝගිකයන්ගෙන් තොර සති පොළක් බවට පත්වී ඇති බව වෙළෙන්දෝ පෙන්වා දෙති.

නව අදහස දක්වන්න