අපේ හාමුදුරුවනේ මෙන්න ඇත්ත | දිනමිණ

අපේ හාමුදුරුවනේ මෙන්න ඇත්ත

ශ්‍රී ලංකා රජය අමාත්‍ය මණ්ඩලය විසින් ලාල් විජේනායක සභාපතිත්වයෙන් යුත් සාමාජික 20 කගෙන් කමිටුවක් පත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියට මහජන අදහස් හා යෝජනා ලබාගැනීමටයි. ඒ අනුව අප කමිටුව මුළු රට පුරාම නියෝජනය කරමින් දිස්ත්‍රික් 25 ක මහජන සැසි වාර පවත්වමින් ඒ ඒ දිස්ත්‍රික්කවල ජනතාවගේ යෝජනා සහ අදහස් සමඟ අප කමිටුවේ නිර්දේශ සමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. ඒ අයුරින්ම කිසිඳු වෙනස්වීමක් නොකර මහජනතාවගේ යෝජනා අප ඉදිරිපත් කිරීම ඉටුකළ බව අපේ විශ්වාසයයි.

අද විවිධ දේශපාලනඥයින්ගේ විවිධ වාසි සඳහා කතාකරන දේශප්‍රේමී කියාගන්නා අන්තවාදී පිරිස් හා අන්තවාදී සංඝයා වහන්සේ ලාල් විජේනායක ප්‍රධාන කමිටුව ඉතා පහත් නින්දිත ලෙස අපහාස කරමින් මාධ්‍ය සංදර්ශනය කිරීම සහ මෙම කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් ඔවුන්ගේ එම අසත්‍ය වදන් ඉතා පිළිකුල් සහගතව හෙළි දකිමි. ඔවුන්ගේ අපහාසාත්මක යෝජනා හා චෝදනා අසත්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා මෙන් ද දන්වමි.

විද්වත් කමිටුව

පසුගිය දිනවල මාධ්‍ය සාකච්ඡාවලදී මෙම කමිටුව හඳුන්වා දුන්නේ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරී පිරිසක් ලෙසයි. විදේශ රටවල්වල වුවමනාව පරිදි මුදල්වලට වැඩකරන කමිටුවක් ලෙසයි. එය ද්වේශ සහගත වැරදි ප්‍රකාශයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව පහත සඳහන් අයගෙන් සමන්විත වූ බව අප එම කමිටුවට අවලාද නගන ඇතැම් සංඝයා වහන්සේලාට සහ මහත්වරුන්ට පෙන්වා දෙන්නට කැමැත්තෙමු. ඒ අනුව රටපුරා ජනතාව හමුවූ ලාල් විජේනායක කමිටුව පහත සඳහන් අයගෙන් සමන්විතය.

කමිටුවේ සභාපති ලාල් විජේනායක (කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නීතිඥ) කමිටු ලේකම් වින්සන්ට් පතිරාජා (ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික), (ජ්‍යෙෂ්ඨ නිලධාරි පායිස් මුස්තෆා), (කීර්තිමත් ජනාධිපති නීතිඥයෙකි.) මහාචාර්ය ගාමිණී සමරසේකර (විශ්‍රාමික දේශපාලන විද්‍යා මහාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ඒ. එම්. නවරත්න බණ්ඩාර (විශ්‍රාමික දේශපාලන විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය) මහාචාර්ය එම්. එල්. ඒ. කාදර් (ආරම්භක කුලපති ගිනිකොණදිග විශ්වවිද්‍යාලය), එන්. සෙල්වන්කුමාරන් (නීතිය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා නීතිඥ කොළඹ විශ්වවිද්‍යාලය., එස්. තවරාජා (විපක්ෂ නායක උතුර පළාත් සභාව සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී), කුෂාන් ද අල්විස් (ජනාධිපති නීතිඥ), ආචාර්ය හරිනි අමරසූරිය (සමාජවිද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය), ආචාර්ය කුමුදු කුසුම් කුමාර (සමාජවිද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය), සුනිල් ජයරත්න (ජ්‍යෙෂ්ඨ නීතිඥ), මහාචාර්ය උපුල් අබේරත්න (දේශපාලන විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුහුණු විශ්වවිද්‍යාලය), තේමිය එල්. බී. හුරුල්ලේ (හිටපු විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී), සංඝරන් විජය සන්දිරන් (ආර්ථික විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය), එම්. වයි. එම්. ෆායිස් (ජ්‍යෙෂ්ඨ නීතිඥ), එම්. කේ. නදීකා දමයන්ති (දේශපාලන විද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලය), කාන්ති රණසිංහ (ජ්‍යෙෂ්ඨ නීතිඥ), එස්. සී. සී. ඉලන්කෝවන් (සිවිල් සමාජ ක්‍රියාකාරී), සිරිමසිරි හපුආරච්චි (දේශපාලන ක්‍රියාකාරී)

ජනතා අදහස්වලට ඉඩ

මහජන අදහස් විමසීමේ කමිටුව සිදුකළේ රටේ ජනතාවගේ යෝජනා ලිඛිතව හා වාචිකව ලබාගෙන එම යෝජනා කිසි සංශෝධනයකින් තොරව කෙටුම්පත් කර කමිටුවේ නිර්දේශය සමඟින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි. එසේ වූවද අප විද්වත් මණ්ඩලයද අදහස් හා යෝජනා ඉතා විනිවිදභාවයෙන් ඉදිරිපත් කර ඇත. නමුත් මෙම සියලුම යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බව අවධාරණය කරමු. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ 225ක් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මෙයට සහභාගි වී ඔවුන්ගේ යෝජනාද අප කමිටුවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් ඒ ඒ මන්ත්‍රීවරුන්ගේ විවිධ යෝජනාද ඇතුළත්ව නව ආණ්ඩුක්‍රම සම්පාදන කටයුතු කරගැනීම සඳහා අනුකමිටු 06 කින් සමන්විත මණ්ඩලද පත්කර ඇත. එහෙත් එම සාකච්ඡාවන්ට සහභාගිවී සිටින විපක්ෂයේ විවිධ පක්ෂවල මන්ත්‍රී පිරිස් පාර්ලිමේන්තුවෙන් පිටතට විත් දේශපාලන වාසි සඳහා අසත්‍ය ‍චෝදනා කරමින් ජනතාව උසිගන්වමින් සිටිති. ඇත්ත වශයෙන්ම එය පුදුම සහගතය.

ව්‍යවස්ථාවක අවශ්‍යතාව

බුද්ධාගමටවත් රටේ ඒකීයභාවයටවත් කිසිදු අනර්ථයක් ජනතා යෝජනා තුළින් ප්‍රකාශ වී නැත. නැති දෙයක් ඇතිකොට පෙන්වන්නේ ඔවුන්ගේ විවිධ වාසි සඳහාය. නමුත් කාලීනව නව ව්‍යවස්ථාවක වැදගත්කම ජනතාව පෙන්වා දී ඇත. එය කඩිනම්ව කළ යුතු බව ජනතාවගේ ඒකායන යෝජනාවද වෙයි. ලාල් විජේනායක කමිටුව විසින් ලබාදී ඇති ජනතා යෝජනා හා කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සමාජ යුතුකමක් වනු ඇත. සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඒ සඳහා කැපවෙන ලෙස අප ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින අතර, එම කැපවීම යුතුකමක් හා වගකීමක් බව නැවත නැවතත් මතක් කර සිටින්නෙමු. පටු දේශපාලන වාසි ගැන නොසිතා රටේ ජනතාව ඡන්දයෙන් පත්කර ගත් සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීම හා යුතුකම විය යුත්තේ රටේ වර්ගවාදී අර්බුදයට පක්ෂ භේදයකින් තොරව විසඳුමක් ලබාදීමය. එය කාලෝචිත වැදගත්ම පියවර වනු ඇත.

දේශපාලන වාසි සඳහා ඇත්ත විකෘති කරන්න එපා. එමෙන්ම රටේ ජනතාව රවට්ටන්න එපා. විවේචනය කිරීම වරදක් නොවේ. නමුත් සත්‍ය විකෘති කිරීම බලවත් වරදක් බව ඉතා කාරුණිකව පෙන්වා දෙමු. මෙම කමිටුව කිසිදු මුදල් ආධාර හා දීමනා නොමැතිව පුළුල් සමාජ මෙහෙවරක් උදෙසා ඉතා දුෂ්කර තත්ත්වයන් මැද කෙටි කාලයක් තුළ ජනතා අදහස් ලබාගනිමින් ඒවා අධ්‍යයනය කරමින් නිර්දේශ සමඟින් අවසාන වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීමේ පළමු පියවර ලෙස ජනතාව දැනුවත් කළේය. එම නිසා ව්‍යවස්ථාව සෑදීම ජනතාව සමීප වී ඇති බව වැඩිම මහජන සැසි වාර ගණනාවකට සහභාගී වූ කමිටු සාමාජිකයකු ලෙස පෙන්වා දෙමි. මෙම සැසිවාරවලදී බොහෝවිට අදහස් ඉදිරිපත් කරන ලද්දේ විවිධ වෘත්තිකයින්ගේ ආයතන, වෘත්තීය සමිති, විවිධ සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරන පුද්ගලයින් විසින්ය. මෙයට අමතරව දෙස් විදෙස් ජීවත්වන විද්වතුන්ද වෘත්තීයවේදීන්ද අප කමිටුවට දුරකතන හා ලිඛිත නියෝජනයක් ලබාදුන්හ.

අන්තර්ගත කරුණු 20

අප කමිටුවේ සැසි වාර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25ක් තුළ විශාල ජන නියෝජනයක් ලබමින් පැවැත්විණ. මෙම වැදගත් ඓතිහාසික අවස්ථාව නි‍යෝජනය කරමින් නැරඹූ පිරිස් ද අතිවිශාලය. ලැබී තිබුණු කෙටි කාලසීමාව තුළ ජනයාගේ පුළුල් වූ ඒ ඒ පැතිකඩවල් තුළ යෝජනා සහ අදහස් ලබාගැනීමට හැකි තරම් උත්සාහ දැරුවෙමු. මෙම කාලසීමාවේදී මෙම විෂයට කැමැත්ත දක්වන බෞද්ධාගමික නායක ස්වාමීන් වහන්සේලා, රදගුරු නායක හිමිවරුන් හා වෙනත් ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නායකයින්, මහ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන්, ස්වාධීන කොමිෂන් සභා, වෘත්තීය සංවිධාන, විවිධ ජනකොටස් නියෝජනය කරමින් පැමිණි නායකයින් හා විශාල පිරිස් කණ්ඩායම්ද නියෝජනය කරමින් පැමිණි ආදිවාසී නායකයින්ද අඳ ගොළු බිහිරි හා වෙනත් ආබාධිතයින් සහ නියෝජිතයින්, කාන්තාවන් නියෝජනය කරමින් විවිධ කාන්තා සමිති නායක නායිකාවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පාසල් සිසුන්, කඳුරට ජනතාව නියෝජනය කරමින් පැමිණි නායකයින් ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කැමැත්තක් දක්වන ජනතාව බොහෝ සේ අදහස් දැක්වීමෙන් හා ලිඛිත යෝජනා භාරදී දැක්වූ උනන්දුව අතිවිශාලය.

ලාල් විජේනායක කමිටුව පහත සඳහන් කරුණු විස්සක් අන්තර්ගතය තුළින් යෝජනා ලබාදෙමින් ජනතාව දැක්වූ උනන්දුව අතිවිශාලය. ඒ අනුව රජයේ ස්වරූපය, ආණ්ඩුක්‍රමයේ ස්වරූපය (විධායක ජනාධිපති හෝ පාර්ලිමේන්තු ක්‍රමය), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය, පුරවැසිභාවය, ආගම, මූලික අයිතිවාසිකම්, භාෂා අයිතීන් හා රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීම වූ මූලධර්ම ව්‍යවස්ථාදායකය (ඒකීය සභා ද ද්වි සභාවද), පාර්ලිමේන්තුව මූලික විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛ විය යුතුද? ව්‍යවස්ථාදායකය විධායක හා අධිකරණය අතර බලය වෙන්වීම, අධිකරණයේ ස්වාධීනත්වය හා උසාවි ව්‍යුහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, බලහවුල්කාරිත්වය.

පොදු එකඟතාව

බලය පැවරීම හා පළාත් පාලන ආයතන කේන්ද්‍රයේ බල හවුල්කාරිත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හා ස්වාධීන කොමිෂන් සභා, රාජ්‍ය සේවය, මැතිවරණ ප්‍රතිසංස්කරණය පනත් පිළිබඳ අධිකරණය සමාලෝචනය, පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ජනාධිපතිතුමාගේ බලතල, පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ජනාධිපතිගේ බලතල, පාර්ලිමේන්තුවට යටත්, ජනාධිපති පත්කිරීම, මහජන ආරක්ෂාව, මූල්‍ය කටයුතු හා වෙනත් කරුණු යන මාතෘකාවන් යටතේ ජනතාවගේ යෝජනා ලබාගත් බව තතු නොදත් දේශපාලකයින්ට හා අවලාද නගන අන්තවාදී පිරිස් හට දැනගැනීම සඳහා සඳහන් කරමු.

ඉහත සඳහන් කරුණු මත මහජනයාගෙන් ලබාගත් යෝජනා තුළින් හා මූලික කරුණුවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව පුරා පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පොදු එකඟතාවයක් ඇති බවයි.

1. නීතියේ ආධිපත්‍ය ව්‍යවස්ථාපිත කිරීම. පරිපූර්ණ අයිතිවාසිකම් පනතක් තුළින් මූලික මානව හිමිකම් පුළුල් කිරීම හා ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම මගින් රාජ්‍ය ප්‍රජාතාන්ත්‍රිකකරණය කිරීම.

2. පාලන ක්‍රියාවලියේ සහ දේශපාලන ජීවිතයෙහිලා මහජනයාගේ ක්‍රියාකාරී සහභාගිත්වය ලබාගන්නා ආයතන ශක්තිමත් කරමින් පළාත් හා පළාත් පාලන මට්ටමට බලය පැවරීමෙන් හා රාජ්‍ය ව්‍යුහය තුළට ග්‍රාමීය හෝ නාගරික මට්ටමේ පුරවැසියන්ගේ දේශපාලන කටයුතු අන්තර්ගත කිරීමෙන් රාජ්‍ය තන්ත්‍රය ප්‍රජාතන්ත්‍රිකරණය කිරීම.

3. ජාතික ප්‍රතිසංධානය වහා කළ යුතු කාර්යයකි. එය ළඟාකර ගත හැක්කේ කෙසේද යන්න ගැන වෙනස් මත තිබුණි. මේ අතර එක් අදහසක් වූයේ දීර්ඝ කාලයක සිට පැවත එන සුළු ජාතීන්ගේ දේශපාලන ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් ලෙස අර්ථාන්විත බලය පැවරීමක් පිළිබඳව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේදී අවධානය යොමු විය යුතුය යන්නයි.

4. ජනතාවට සර්ව සාධාරණ දේශපාලනයෙන් තොරව ස්වාධීන වෘත්තිය හා ජනතා සේවයට කැපවූ රාජ්‍ය සේවයක් ව්‍යවස්ථාපිත කිරීම අප කමිටුව කෙරේ පැමිණි ජනතාව තුල තිබූ පොදු මතය හා හැඟීම වූයේ මුළු මහත් රාජ්‍යයම ප්‍රජාතාන්ත්‍රීකරණය කිරීම ජාතික ප්‍රතිසංධානය සඳහා හොඳම අවස්ථාව මේ අවස්ථාව බවයි. එය වහාම කළ යුතු අතර, මෙවරද එය අසාර්ථක වුවහොත් රටට තවත් මෙවැනි අවස්ථාවක් උදා නොවනු ඇතැයි යන්න අප වෙත පැමිණි බොහෝ දෙනාගේ මතය විය.

5. අප රටේ සියලුම ප්‍රදේශවලට යමින් ඉතා ගැඹුරින් සත්භාවයෙන් කමිටුවේ කාර්යයන් මෙහෙයවූයේ කිසිඳු වරප්‍රසාද හා මිල මුදල්වලට නොවන බව ලාල් විජේනායක කමිටුව වෙනුවෙන් අවධාරණය කරමු. දැන් මෙම ලාල් විජේනායක කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය වෙත භාරදී ඇත.

මෙම යෝජනා හා නිර්දේශ තුළින් පාර්ලිමේන්තුවේ අනු කමිටු වාර්තාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මහලේකම් කාර්යාලය විසින් 2017.07.04 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී නිකුත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මූලික අයිතිවාසිකම් පිළිබඳ කමිටු වාර්තාව, අධිකරණය පිළිබඳව කමිටු වාර්තාව, මුදල් අනුකමිටු වාර්තාව, නීතිය හා සාමය පිළිබඳ අනුකමිටු වාර්තාව, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණය පිළිබඳ අනුකමිටු වාර්තාව, මධ්‍ය පර්යන්ත සබඳතා පිළිබඳ අනුකමිටු වාර්තා පිටු 239කින් යුක්තව එදින නිකුත් කරන ලදී.

ඒකීයභාවය ආරක්ෂා වීම

ඒකීය රටක් තුළ රටේ නීති හා සාමය දූෂණය පිටුදැකීම හා යහපාලනයක් ඇතිකිරීම, සැබෑ ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම ආගමික සංස්කෘතික සහජීවනයක් ඇතිකිරීම, රටේ සම්පත් සුරැකීම හා වැඩි වර්ධනය කිරීම, අධ්‍යාපනය, සෞඛ්‍ය කෘෂිකර්ම සහ ධීවර , පරිසරය ගහ කොළ, ඇළ දොළ, මුහුද, සතා සිවුපාවා, වෙරළ සම්පත් රක්ෂණය කිරීම, එමෙන්ම විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හා ළමුන්, කාන්තාවන්, තරුණියන්, ආබාධිතයින්, ආදීවාසීන් සහ වෙනත් ජන කොටස්වල විවිධ ජාතීන් විවිධ ආගම් ආදිය එකට එක්ව සහජීවනයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ඇති කිරීම පොදු ජනතාව‍ගේ හැඟීම හා බලාපොරොත්තුවයි.

ඒනිසා අපි කාගේත් වගකීම එළඹ ඇති අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමින් අප රටේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස් සහ බුද්ධාගම ඇතුළු විවිධ ආගමික නායකයින් ආගමික ජන කොටස්වලට එකඟ විය හැකි නොබෙදුනු සහ නොබෙදිය හැකි තනි රටක් නිර්මාණය කිරීමය. එය අත්‍යවශ්‍යය.

ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට පදනම දමන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදීමේ අවශ්‍යතාවයක් රටට තියෙනවායි ජනතා යෝජනාවලින් කියවෙයි. ඒ අනුව ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම රටේ ජනතාවගේ යුතුකම වන අතර එය යුගයේ අවශ්‍යතාවය වෙයි.

 

සිරිමසිරි හපුආරච්චි

එක්සත් ජනතා පෙරමුණේ නායක සහ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටු සාමාජික

නව අදහස දක්වන්න