බොක්සිං ක්‍රීඩක කාවින්ද ඔස්ට්‍රේලියාව බිම හෙළයි | දිනමිණ

බොක්සිං ක්‍රීඩක කාවින්ද ඔස්ට්‍රේලියාව බිම හෙළයි

පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ බහමාස් බොක්සිං වලල්ල ප්‍රාණවත් කළ කාවින්ද සංජය බණ්ඩාර ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ජෝෂප් බෙන්ජමීන් 5-0ක් ලෙස පරාජය කොට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි. බහමාස් ක්වීන්ස් එළිසබෙත් ක්‍රීඩාගාරයේදී පැවැති කිලෝග්‍රෑම් 46- 49 බර පන්තියේ තරග කළ කාවින්ද සංජය එල්ල කළ පහරකින් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා බිම ඇද වැටුණු අතර ශ්‍රී ලංකාවට සම්පූර්ණ ලකුණු ප්‍රදානය විය. ඔහුගේ මීළඟ තරගය වේල්සයේ ජේම්ස් නේතන් සමග අද පැවැත්වීමට නියමිතය.

නාවලපිටිය මධ්‍ය මහා විදුහලේ හා පිළිමතලාව ධීරානන්ද මහා විදුහලේ ක්‍රීඩකයකු වන කාවින්ද සංජය සමස්ත ලංකා පාසල් තරගාවලියේදී වසර දෙකේදීම පිට පිට රන් පදක්කම් දිනා, නැගී එන දක්ෂතම පාසල් ක්‍රීඩකයා සම්මානය දිනාගත් ක්‍රීඩකයෙකි. වසර 2014 එල්. වී. ජයවීර කුසලාන වයස අවුරුදු 13- 14 යටතේ පැවැති කිලෝග්‍රෑම් 41-43 බර පන්තියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ ඔහු, ටී. බී. ඡයා බොක්සිං තරගාවලියේ කිලෝග්‍රෑම් 41- 43 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා බොක්සිං නියෝජනය සටහන් කළ මධුමාලී එරංගා ප්‍රියදර්ශනී ඊයේ සහභාගීවූ පළමු තරගයේදී නවසීලන්තයේ උරන්ගා වයීකී වෙතින් 4-1කින් පරාජයට පත් වූවාය.

ශ්‍රී ලංකා සත් සාමාජික රගර් පිල ඊයේ සහභාගීවූ කැනඩාව සමග තරගයේදී ලකුණු 21- 17ක්, ෆීජී සමග තරගයේදී ලකුණු 14- 7ක් හා සැමෝවා සමග තරගයේදී ලකුණු 36-14ක් ලෙස පරාජයවූ අතර මුල් වටයේදී බහමාස් හා එංගලන්තය සමග තරග ඉතිරිව ඇත.

මේ අතර මීටර් 50 සමනළ ආර පිහිනුම් තරගයේ මූලික වටයේදී අකලංක පීරිස් තත්පර 24. 96කින් සහභාගීවූ ක්‍රීඩකයන් 26කින් දෙවැනි ස්ථානයේ සිටිමින් අවසන් තරගයට පිවිසියද, තරග ආරම්භයේදි ඇතිවූ සුලු ප්‍රමාදයකින් 4වැනි ස්ථානය දක්වා පහළට ගියේය.

ඔහුට මේ තරගයේදී පදක්කමක් දිනා ගැනීමේ පහසු අවස්ථාවක් තිබූ බව බොහෝ දෙනාගේ මතය වුවද තත්පර කිහිපයකින් එය අහිමි විය.

අවසන් තරගයේදී අකලංක පීරිස් තත්පර 24. 99ක් වාර්තා කළ අතර රන් පදක්කම දිනාගත් ස්කොට්ලන්තයේ ඇලෙක්ස් ස්කොට් තත්පර 24. 53ක්, රිදී පදක්කම දිනාගත් සිංගප්පූරුවේ ඩයලාන් ලොන්ග්හේ තත්පර 24. 55ක් හා ලෝකඩ පදක්කම දිනාගත් වේල්සයේ ලුවිස් වෝඩ් තත්පර 24. 66කින් තරගය නිම කළහ.

පිහිනුම් මූලික වටයේ තරගවලට එක්වූ කයිල් අබේසිංහ මීටර් 200 නිදහස් ආර තරගය විනාඩි 1: 54. 99කින්, දිල්රුක්ෂි පෙරේරා මීටර් 50 සමනළ ආර තරගය තත්පර 30.83කින් හා විනෝලී කලුආරච්චි මීටර් 200 සමනළ ආර තරගය විනාඩි 2:18.84 නිම කළ ද අවසන් තරග අහිමි වුණි.

ටෙනිස් මූලික වටයේ ඒකළ තරගයේදී විභූද විජේබණ්ඩාර ෆීජී ක්‍රීඩකයා පරාජය කොට දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී වේල්ස් ක්‍රීඩකයකු සමග සටනට පිවිසේ.

නව අදහස දක්වන්න