රැවුල්කාර සංගීතවේදියා සමුගනී | දිනමිණ

රැවුල්කාර සංගීතවේදියා සමුගනී

 ඔහු රැවුළ කැපුවේ විවාහ වූදා පමණක් බව ප්‍රකට කාරණාවකි. අනෙක් හැමදාම අප ඔහු දුටුවේ මුහුණ පුරා වැවුණු රැවුළ හා බොහෝ විට දිගු කොණ්ඩය සහිතවය. පසුකාලයේ එය සහමුලින්ම සුදු රැවුළක්ව තිබුණි.

අපේ ගී ලොවේ අගනා නිර්මාණකරුවකු වූ මේ රැවුල්කාර සංගීතවේදියා පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය. ඔහු සෝමපාල රත්නායක ය.

කඩුගන්නාවේ ජේමිස් රත්නායක හා සුමනාවතී අබේකෝන් යුවළගේ දරුවන් එකොළොස්දෙනා අතරින් සිව්වැන්නා වූයේ සෝමපාල ය. තුන්වැන්නා වූයේ වික්ටර් රත්නායක ය. චෙලෝ වාදකයෙකු ලෙස සංගීත ලෝකයට ඇතුළු වූ ඔහු පසුව තනු නිර්මාණ ශිල්පියකු හා සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස පෙරට ගියේය. විශේෂයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට ඔහු නම් දරා සිටියේ ය.

ටයිටස් තොටවත්තයන් හැදූ ‘හඳයා’ අති ජනප්‍රිය ළමා චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත ලෝකයට ආ සෝමපාල රත්නායක ඉන් පසුව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ උතුමාණෙනි, සාගර‍යක් මැද, කොටි වලිගය, නොමියෙන මිනිසුන්, අන්තිම රැය වැනි චිත්‍රපටවල මෙන්ම රිදී තැල්ල, පොඩි රාළහාමි, ඔක්කොම රජවරු, දෙමෝදර පාලම, රජද‍රුවෝ, බඹසර බිසව්, වරදට දඬුවම්, පාරාදීසේ, අනුරාගයේ අනන්තය, දරුවනේ, සිංහයා වැනි චිත්‍රපටවලද සංගීත නිර්මාණය කර තිබේ.

බිලිඳුනේ දරුවනේ මගෙ
පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුළින්
මේ ලොව මෙතරම් හැඩ උනේ

සෝමපාල ලීලානන්ද ලියා සෝමපාල රත්නායකගේ සංගීතයට ග්‍රේෂන් ආනන්ද ගැයූ එම ගීතයෙන් ග්‍රේෂන් සම්මානනීයත්වයට පත් විය.

පාන්දර ජාමේ
කුකුළො හඬන්නා
ඉංගි බිංගි ගෑනු ළමෝ
බැල්ම හෙළන්නා

එච්. ආර්. ජෝතිපාල සහ ඩෙස්මන් රුද්‍රිගුට ‘පාරාදීසේ’ චිත්‍රපටය සඳහා එම ගීය හැදූ ඔහුම ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටය සඳහා 'මිහිපිට බිම් අඟලක්’ ගීතය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කිරීමම ඔහුගේ නිර්මාණ පරාසය විහිදුනු අයුරු දක්වන උදාහරණයකි. දිනේෂ් ප්‍රියසාද්ගේ ‘පෙරළිකාරයෝ’ ඇතුළු ඇතැම් චිත්‍රපටවල හින්දි තනු අනුව සංගීත අධ්‍යක්ෂණය කරන්නට ද සෝමපාල රත්නායකට සිදුවිය. කරුණාරත්න අබේසේකර ශූරීන් ලියූ අවසාන චිත්‍රපට ගීතය වූයේ එසේ ඔහු හින්දි තනුවක් අනුව සංගීත අධ්‍යක්ෂණය කළ ‘ජයමංගලම් සුබමංගලම් යුග ජීවිතේ වාසනා’ (පෙරළිකාරයෝ චිත්‍රපටයට ජෝති ගැයූ) ගීතයයි. එය කරු ගීත ලියූ 303 වෙනි චිත්‍රපටය විය. රිදීතැල්ල, වරදට දඬුවම්, පාරාදීසේ, පෙරළිකා‍රයෝ ඇතුළු චිත්‍රපට ගණනාවකම ජෝති ඔහුගේ සංගීතයට ගීත ගායනා කළේය.

කව්රුද කව්රුද දැන් ලොක්කෝ
අපිමයි අපිමයි
දැන් ලොක්කෝ

‘හඳයා’ චිත්‍රපටයට ඔහු හැදූ එම ගීතය මෙන්ම ‘දොස්තර හොඳ හිත’ වැනි කාටුන් වැඩසටහන්වල ගීත ද ජනප්‍රිය විය. සිය සොයුරු වික්ටර් රත්නායකයන්ට මෙන්ම මිල්ටන් මල්ලවආරච්චි, ලතා, ග්‍රේෂන් ඇතුළු ගායක ගායිකාවන් සියල්ලන්ටම පාහේ සෝමපාල ගීත නිර්මාණය කළේය. කිතුනු ගීත වැඩිම සංඛ්‍යාවක් හැදූ බෞද්ධයා සෝමපාල රත්නායක විය හැකි යැයි සිතමි. දයා විමලවීරගේ ‘රජ දරුවෝ’ හා පරාක්‍රම ජයසිංහගේ ‘එකදා වැහි’ චිත්‍රපටවල ‍සෝමපාල රඟපෑවේය. ‘කිරි කඳුළක්’ ටෙලි නාට්‍යය ද ඔහු රඟපෑ ටෙලිනාට්‍යයකි.

සෝමපාල රත්නායක යනු මිතුරු සමාගමය ඉතා ප්‍රිය කළ රසවතෙකි. හැමවිටම සිනාමුසුව සිටි ඔහු හෙමින් කියන රසකතා අපමණය. එමෙන්ම ඔහු තම අයියාට (වික්ටර්) වුවත් කියන්න තියෙන දේ කෙලින්ම - මූණටම කී පුද්ගලයෙකි. බඩේ බිත්තර හංගාගෙන කතා කිරීමේ සිරිතක් ඔහු තුළ නොවීය.

“ඔහු බටහිර සංගීතයත්, රාගධාරී සංගීතයත් ගැන එක හා සමාන දැනුමක් ලබා සිටි කෙනෙක්. එවැනි සංගීතවේදීන් ඉතා අල්පයි. ඒ නිසා සෝමපාල රත්නායකයන්ගේ වියෝව සංගීත ක්ෂේත්‍රයට විශාල පාඩුවක්.”

සෝමපාලයන් ගැන එසේ පවසා තිබුණේ වර්තමානයේ ප්‍රවීණ සංගීතවේදියකු වන නවරත්න ගමගේයි. තමන්ගේ පාඩුවේ සංගීත කටයුතු කරගෙන නිහඬව වැදගත් ජීවිතයක් ගත කළ සෝමපාල රත්නායක ලෝ දහම අනුව මෙලොවින් සමුගෙන ගියත් ඔහු විසින් බිහි කෙරුණු නිර්මාණ සමුදාය කාලාන්තරයක් අපේ ගී ලොවේ පවතිනු නිසැකය.

ආනන්ද පද්මසිරි 

නව අදහස දක්වන්න