දෙහිඅත්තකණ්ඩිය තුවාරගල අමුණේ වැඩ අවසන් කර ගන්න රජයේ ආධාර ඕනෑ | දිනමිණ

දෙහිඅත්තකණ්ඩිය තුවාරගල අමුණේ වැඩ අවසන් කර ගන්න රජයේ ආධාර ඕනෑ

දෙහිඅත්තකණ්ඩිය තුවාරගල ගොවියෝ මුවගම්මන වැවෙන් ගලන උල්පත් ජලය සහ කුඹුරුවලින් ගලන මහවැලි වතුර එකතු වී සමනළතැන්නෙ පහළ කොටසින් පටන්ගෙන හුංගමාල ඔයට එක්වෙන මුවගම්මන ඔය තුවාරගලදී හරස්කර වේල්ලක් බැඳ තම කුඹුරුවලට වතුර ගෙන ඇත. නමුත් මේ උත්සාහය සාර්ථක වී ඇත්තේ 50%කි. ඉතිරි 50% සාර්ථක කර ගැනීමට මේ ගොවීන් ආර්ථික අතින් ශක්තිමත් නැති බව ඔවුහු පවසති.

2017 යල කන්නයේ ගොවිතැන් වැඩ මේ වනවිට පටන්ගෙන තිබුණත් ගොවි පවුලකට මහවැලි අධිකාරියෙන් ලබාදී තිබෙන ඉඩම් අක්කර 2 ½ වගා කිරීමට මහවැලි ජලාශවල ජලය ප්‍රමාණවත් නැත. අක්කරයක් පමණ වී වගා කිරීමට පමණ ජලය ප්‍රමාණවත් වී තිබේ. ගොවිතැන මොවුන්ගේ එකම ආදායම් මාර්ගය වන බැවින් අවුරුදු 10ක සිට අමුණ බැඳගැනීමට මොවුන් උත්සාහයක නිරතවී සිටී.

ඒ. එම්. විජේසිංහ මහතාට මේ ක්ෂේත්‍රයේ දශක හයකට වඩා අත්දැකීම් ඇත. තුවාරගම ගොවියන් විජේසිංහ මහතා හඳුන්වන්නේ අමුණේ ප්‍රධාන ඉංජිනේරුවරයා වශයෙනි. ඒ මහතා දැනට මේ අමුණට රුපියල් දසලක්ෂයකට වඩා වියදම් වූ බව පවසයි.

තුවාරගල විහාරාධිපති පෙරවැල්ලේ චන්ද්‍රානන්ද හිමි - වැය කළ මුදල් මෙන් තවත් දෙගුණයක්වත් මෙහි වැඩ ඉවර කර ගැනීමට අවශ්‍යයි. අමුනෙහි වැඩ අවසන් කරගන්නට හැකි නම් ගොවි පවුල් 300කට යල මහ දෙකන්නයේ වගා කිරීමට අවශ්‍ය ජලය අමුණෙන් ලබාගත හැකියි.

සාමවිනිසුරු ජේ. පී. ආරියදාස මහතා - දැනට ගොවි පවුල් 60කට පමණ මේ අමුණෙන් දෙකන්නයේ වගාවට ජලය ලබා ගන්නවා.

ඩබ්ලිව්. එම්. ජයසිංහ මහතා - අවු. 10කට විතර පෙර මහවැලි සී කලාපයේ හිටපු නේවාසික ව්‍යාපාර කළමනාකාර නෝනා මෙයට විරුද්ධ වුණා. ඒත් අපි වැඩේ අතඇරියේ නෑ.

මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම් මහින්ද රත්නායක , මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර විමල් කුමාර මහත්වරුන් මේ ස්ථානයට පැමිණ සොයා බැලූ බව ද ඔවුහු පවසති. අමුණේ වැඩ ටික අවසන්කර දෙන ලෙස ද එවිට ගමේ හැමෝටම කන්න දෙකම වගාකරගෙන කාටවත් අතනොපා ජීවත්වෙන්න පුළුවන් බව ද ඔවුහු කියා සිටිති.

දෙහිඅත්තකණ්ඩිය සමූහ

නව අදහස දක්වන්න