හොරුන්ට-දූෂිතයන්ට-මිනීමරුවන්ට පැවැත්මක් නෑ | දිනමිණ

හොරුන්ට-දූෂිතයන්ට-මිනීමරුවන්ට පැවැත්මක් නෑ

* මේ පින් බිමේ පැවැත්ම රඳන්නේ සාධාරණ සමාජයක් කරා යන පිරිසට පමණයි
* රටේ තුනෙන් දෙකක් නියඟයට හසුවෙලා
* ස්වභාවධර්මයේ අභියෝග කොතෙක් තිබුණත් රට වෙනුවෙන් කළ යුතු දේ ආණ්ඩුව උපරිමයෙන් ඉටු කරනවා
* මගේ සංවර්ධන ප්‍රතිපත්තිය යෝධ ව්‍යාපෘති නොවේ
* ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන ප්‍රශ්න විසඳා දීමයි
* තුන් අවුරුදු සැලැස්මකින් පාසල් 246ක් අංග සම්පූර්ණ කරනවා
* විපක්ෂයේ සමහරු කියනවා මැතිසබේ 113ක් හැදුවාම ආණ්ඩුවත් - මාත් ඉවරයිලු මම ඒ අයට කියන්නේ 113 හදාගෙන එන්න වෙන්නෙත් මා ළඟට බවයි

මේ රට පින්වත් රටක් බවත් දුෂිතයන්ට, වංචා කාරයන්ට, මිනී මරුවන්ට, රාජ්‍ය දේපළ විනාශ කරන්නන්ට මේ රටේ පැවැත්මක් නැති බවත් බෞද්ධ පින්බිමක් ලෙස මේ රටේ පැවැත්මක් ඇත්තේ සත්‍ය සහ යුක්තිය සමඟ සාධාරණ සමාජයක් කරා යන ගමනකට පමණක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (31) හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පරිපාලන සහ කළමනාකරණ කටයුතු පහසු කරනු වස් උතුරු මැද පළාත් සභාව රුපියල් ලක්ෂ 45 ක වියදමින් මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර කලාප අධ්‍යාපන කාර්යාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කතා බහක නිරත විය. කලාප අධ්‍යාපන කාර්යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

පොළොන්නරු දිස්ත‍්‍රික්කයේ අධ්‍යාපන කලාප තුනේ ඉදිවූ කලාප අධ්‍යාපන කාර්යාල මීට පෙර පොළොන්නරුවත් දිඹුලාගලත් විවෘත කිරීමෙන් පසුව අද හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය සඳහා ලස්සන, වටිනා පහසුකම් ඇති ගොඩනැගිල්ල ඔබට දායාද කිරීමට හැකියාව ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

අපේ පාලන කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කළ වෙනස්කම් සහ කරගෙන යන වෙනස්කම්, අධ්‍යාපනයේ පරිවර්තනයන්, ලබාදී තිබෙන සම්පත් පිළිබඳව ඉතා දීර්ඝ පැහැදිලි කිරීමක් මහ ඇමතිතුමා කළා .

අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට මතක ඇති මම ඇමැතිවරයෙක් ලෙස සිටිය කාලයේ පාසල් දරුවෝ වෙනුවෙන් වැඩසටහන් රාශියක් කළා. පුලතිසි කලාහවුල, පුලතිසි දරුවෝ, පුලතිසි රාවය ගුවන් විදුලිය, සුජාත දරුවෝ පාසල් වැඩසටහන් ඒ අතර වෙනවා. ඒ කාලයේ මම ඇමැතිවරයෙක් විදියට කටයුතු කළේ මේ දිස්ත්‍රික්කයේ දරුවන් ගමෙන් නගරයටත්, නාගරයෙන් ජාත්‍යන්තරයටත් ගෙනයාම සඳහායි. එහෙත් අපට අවශ්‍ය විදියට සම්පත් සහ පහසුකම් එදා නොලැබුණු නිසා පසුගිය අවුරුදු දෙකහමාර තුළ ඒ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීමටත්, ඇති වූ ප්‍රමාදයන් වළක්වාලන්නටත් ක්‍රියා කළා. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වගේම අනෙකුත් අංශවන සෞඛ්‍ය, කෘෂිකර්මය, විවිධ සුබසාධන සේවා සියල්ල ශක්තිමත් කරමින් කාර්යක්ෂම කරමින් රටේ ක්‍රියාත්මක වන සංවර්ධන ජාතික වැඩපිළිවෙළට සමඟාමීව පිබිදෙමු පොළොන්නරුව නව ව්‍යාපෘතිය ආරම්භ කළා.

මම ඇමැතිවරයෙක් විදියට සිටින කාලයේ 2000 වර්ෂයේ දී රජරට නවෝදය ව්‍යාපෘතිය ආරම්භ කර. විශාල වැඩ කොටසක් කළා. පිබිදෙමු පොළොන්නරුව වැඩ පටන් ගත්තා විතරයි. හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 94 කින් පාසැල් 67ක මේ වනවිට ,පිබිදෙමු පොළොන්නරුව, ව්‍යාපෘතියයේ ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වෙනවා. සමහර පාසල්වල ව්‍යාපෘති දෙකක්. සමහර පාසල්වල ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මකයි.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් දී තිබෙනවා. මහ ඇමතිතුමා ප්‍රකාශ කළ ආකාරයට උතුරු මැද පළාත් සභාවේ එතුමා අධ්‍යාපන ඇමැතිතුමා විදියට රජයෙන් ලැබෙන මුදල්වලින් විශාල වශයෙන් මේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩුසකස් කිරීමට කටයුතු කරගෙන යනවා.

මම පොළොන්නරුවේ ගෙදරින් පිටත් වුණේ, මැදිරිගිරිය මීගස්වැව ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමටයි. පොළොන්නරු නගරය පසුකර එනවිට මම ලස්සන දර්ශනයක් දැක්කා. අද නැකත් දවසක, විවාහ වන අලූත් ජෝඩු ඊයේ පෙරේදා විවෘත කළ දීප උයනෙහි ඡායාරූප ගන්නවා. මම සතුටු වුණා. ඒ ඔවුන්ටත් අපි තැනක් හදා දී තිබෙනවා කියායි. ඒ ලස්සන සුන්දර පරිසරයේ දීප උයන සෑදීමට විශාල මුදලක් වැය කොට එහි විවෘත කිරීම කළා. වාඩිවෙන්න, අපේ තරුණ ළමයින්ට කතාබහ කර කර ඉන්න වැවේ සුන්දරත්වය සමඟ හමා එන සුන්දර සුළං රැලි සමඟ තමන්ගේ මනස හොඳින් සකස් කරගන්න පරිසරයක් අපි හැදුවා. දීප උයනට ගිය විට කෙනෙක් කඩදාසි කෑල්ලක්, සිගරට් කොටයක්, ෂොපින් බෑග් එකක්, ලන්ච් සීට් එකක් බිම දමා තිබුණොත් එහි සිටින නිලධාරීන් රුපියල් පන්දාහක් දඩ ගහන බව අමතක කරන්න එපා.

ලෝකයේ බොහෝ රටවල්වල ජනතාවගේ විනය සකස්කර තිබෙන්නේ ඒ ආකාරයටයි. පරිසර සංරක්ෂණය, පිරිසුදුකම, සුන්දරත්වයෙන් කොහොමද වඩාත් යහපත් සමාජයක ගොඩනැගෙන්නේ කියා අපි සිතිය යුතුයි.

මම දීප උයනේ සුන්දරත්ව බලාගෙන එනවිට හාමුදුරුවනේ බොහෝ වැඩ ඉවර කර තිබෙන අයුරුත් දැක්කා. හතමුණ පාරේ එනවිට හතමුණේ පාලම ළඟ දෙපැත්තේම වාහන හිරවී තිබෙනවා මම දැක්කා. පාර හැදුවට පාලම හැදුවේ නැහැ. මම මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයාට කෝල් කරලා කිව්වා හතමුණේ පාරේ වාහන තුනක් යන ආකාරයට වහාම පාලම සෑදීම කරන්න කියා. එතනින් එන ගමන් ආනන්ද බාලිකාව ඉදිරියේ පාර කැඩී හදනවා. වාහන යනවිට විශාල දූවිල්ලක් තිබෙනවා. මම නැවත වරක් කෝල් කළා ඉංජිනේරුවරයාට. මම ඇහුවා, මේ ආනන්ද බාලිකාවේ දරුවෝ දූවිල්ලෙන් නාවන්න ද මෙච්චර දවසක් මේක හදන්නේ නැතුව තියෙන්නේ කියා. කොන්ත‍්‍රාත්කරුවාගේ ප්‍රමාදයක් තිබෙන බව එතුමා කිව්වා. මම කිව්වා මට කොන්ත්‍රාත්කාරයාගේ ප්‍රමාදයෙන් වැඩක් නැහැ ඉතා ඉක්මනින් එම වැඩටික ඉවර කරන්න කිව්වා.

මේ දිස්ත්‍රික්කයේ සංවර්ධනයේ දී වගේම රටේ සංවර්ධනයේ දීත් මිනිසුන්ගේ දෛනික ජීවිතයේ තිබෙන ගැටලූ සහ ප්‍රශ්න හඳුනා ගෙන මේ සංවර්ධන කටයුතු කරනවා.

මම අනුරාධපුරයේ නියඟයෙන් පීඩාවට පත්වී සිටින අසරණ ජනතාව ජීවත්වන ගම්මාන කිහිපයකට ගියා. බොන්න වතුර නැහැ. නාන්න වතුර නැහැ. කන්න තුනකින් අස්වැන්න නැහැ. බරපතළ ආර්ථික අසීරුතා තිබෙනවා. පොළොන්නරු දිස්ත්‍රික්කයේත් ප්‍රදේශ කිහිපයකම ඒ තත්ත්වය තිබෙනවා. රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක නියඟය තිබෙනවා. මේක අපිට විතරක් තිබෙන නියඟයක් නෙවේ. ඉන්දියාවේ තත්ත්වයත් මෙයයි.

අසල්වැසි රටවල්, කලාපයේ රටවල් ගණනාවක තත්ත්වය ඒකයි. පාරිසරික, කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් සමඟ ස්වභාව ධර්මයාගේ අභියෝග කොතෙක් තිබුණත්, ආණ්ඩුවක් විදියට රට වෙනුවෙන් කළ යුතු දේ උපරිමයෙන් ඉෂ්ට කරනවා.

මහ ඇමැතිතුමා කිව්වා වගේ මගේ ප්‍රතිපත්තිය මහා යෝධ සංවර්ධන ව්‍යාපෘති නොවෙයි. නගරයේ සහ ගමේ ජීවත් වන ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන ප්‍රශ්න විසඳා දීම මගේ මූලික ප‍්‍රතිපත්තියයි.

මම පසුගිය සතියේ ත්‍රිකුණාමලයට ගියා. ත‍්‍රිකුණාමලයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වැව් 25ක් හදලා වැඩ අවසන් කරලා ඒවා විවෘත කරන්නයි මම ගියේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැව් 25ක් ප්‍රතිසංස්කරණය කරලා එකවර විවෘත කිරීම මෑත භාගයේ කවදාවත් සිදු වෙලා නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය වැව් අමුණු සියල්ලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන්න මේ අවුරුද්දේ පටන් ගන්නවා. ඒ අනුව කෘෂි ආර්ථිකය, ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීමට ආණ්ඩුවක් විදිහට ගත හැකි, සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගන්නවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින සංවර්ධනයේ වෙනස අද ඔබ දකිනවා ඇති. සමහර අය කතා කරන්න අකමැති වුණත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් නොවෙයි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල් සියල්ලෙහිම අලූතින් ගොඩනැගිලි හැදෙන අයයුරු ඔබට දැක ගන්න පුළුවන්.

මහ ඇමැතිතුමා කියපු විදියට, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් 246 අපේ තුන් අවුරුදු සැලැස්මෙන් කිසිම අඩුපාඩුවක් නැතිව අංග සම්පූර්ණ කරනවා. ලංකාවේ අනිකුත් සංවර්ධනය වූ දිස්ත්‍රික්කවල තත්ත්වයට මේ දිස්ත්‍රික්කයත් පත් කරනවා.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ලේකම්වරයෙක් පසුගිය සතියේ ලංකාවට ආවා. ඔහු මා සමඟ සුළු වේලාවක් කතා බහ කළා. එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා මා සමඟ කතා කරන විට මම හිතා ගෙන හිටියේ එතුමා මගෙන් ප‍්‍රශ්න ගණනාවක් අහයි කියලා. මානව හිමකම් කොමිසන් සභාව, උතුරේ තත්ත්වය, නැවත පදිංචි කිරීම්, අතුරුදන් වූවන් පිළිබඳව අහයි කියලා තමයි සූදානම් වෙලා හිටියේ. ඒ කිසි දෙයක් මගෙන් ඇහුවේ නැහැ. ඔහු මගෙන් ඇහුවේ. මේ රටේ ආණ්ඩුවක් විදියට ඔබ කරන දේවල් ගැන ඇයි රටේ මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැත්තේ කියලායි. මේ ආණ්ඩුව කරන දේවල් පිළිබඳව රටේ ජනතාව සහ ලෝකයා දැනුවත් කිරීම ඇයි මේ තරම් දුර්වල කියලා මගෙන් ඇහුවා. මම කිව්වා ඒ අඩුපාඩුව මම පිළිගන්නවා කියා.

අමෙරිකාවේම වර්ණභේදවාදයට විරුද්ධව සටන් කළ ඒබ්‍රහිම් ලින්කන් ජනාධිපතිතුමාට වෙඩි තිබ්බා. ඒ වගේම ආචාර්ය මාර්ටින් ලූතර් කිංටත් වෙඩි තිබ්බා. ඔහු වර්ණභේදවාදයට විරුද්ධව සටන් කරපු පූජකවරයෙක්. ඔහු කිව්වා මානව සමාජයේ ප්‍රගමනයට තිබෙන්නා වූ බරපතළම අභියෝගය යහපත් මිනිසුන්ගේත් බුද්ධිමතුන්ගේත් නිහඬතාවත් පුහු ඝෝෂාකාරීන්ගේ පුහු හඬත් කියලා. එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ලේකම්වරයා මාව මුණගැසී කිව්වා මේ රටේ පුහු ඝෝෂාකාරීන්ගේ සද්දේ තමයි තියෙන්නේ. වැඩ කරන අයගේ සද්දේ ඇයි ඉස්මතු කරන්නේ නැත්තේ කියලා. එතුමා මා සමඟ කතා කළාට පස්සේ මම එතුමාට කිව්වා ඔබ හරියට මා සමඟ කතා කරන්නේ ශ‍්‍රී ලාංකික පුරවැසියෙක් වගේ නේද කියලා.

නමුත් මාධ්‍ය බැලූවමත් අන්තර්ජාලය, ෆේස් බුක්, වෙබ් සයිඩ්වලත් තියෙන්නේ පුහු ඝෝෂාකාරීන්ගේ සද්දේ පමණයි. මේ රටේ යහපත් දේ කරන, වැඩ කරන මේ රටට අවශ්‍ය දේ ඉටු කරන ජනතාවගේ හඬ නොවෙයි ඉස්මතු වෙන්නේ. ඒ නිසා රටේ ජනතාව සුළුතරයක් වැරැදි විදියට ආණ්ඩුවේ කටයුතු ගැන වැරැදි නිරීක්ෂණ සහ නිගමනයන්ට එළැඹී සිටිනවා.

අවුරුදු දෙක හමාරක කාලයක් අපිට තිබුණු බොහෝ බාධාවන් ඉවත් කරගෙන වැඩ කරගෙන යන විට මේ පුහු ඝෝෂාකාරී ශබ්ද ඇති කරනවා. ඒ පුහු ඝෝෂා කරන ගමන් මම දැක්කා ඊයේ ජාතික පුවත්පතක විපක්ෂයේ මන්ත්‍රිරවරයකුගේ පිටුවක් පුරවලා සම්මුඛ සාකච්ජාවක් තිබුණා. මම දැක්කා ඒකේ කියලා තියෙනවා විපක්ෂයට ඕනෑ ආසන 113ක් හදා ගන්න. 113ක් හදා ගත්තාට පස්සේ ආණ්ඩුවත් ඉවරයි. ජනාධිපතිත් ඉවරයි කියලා. මම හිතන්නේ එයා ඔළුවෙන් හිටගෙන තමයි ගණන් හදලා තියෙන්නේ. මට කියන්න තියෙන්නේ එච්චරයි. 113 හදා ගත්තත් ඒ 113 හදාගෙන මන් ගාවට ඇවිත් ආණ්ඩුව හදන්න වෙන්නේ. ඒ විදියට තමයි මේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව හදලා තියෙන්නේ. එක නිසා 113 හදාන්නත් බෑ 113 හැදුවොත් ඒ හදලා ආණ්ඩුව වෙනස් කරන්නත් මගේ සහයෝගය අවශ්‍යයි.

ඒ නිසා මේ රටේ වංචාව, දූෂණය, නාස්තිය, පවුල්වාදය මේ සියල්ලත් එක්ක රට ගිය ගමන වෙනස් කර, නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහතික කර, අලූත් රටක් ගොඩනඟන විට අපි පුංචි තැනින් එමෙත් නැතිනම් ගමේ ගොවි පවුලකින් ආපු කෙනෙකුගේ නායකත්වය ඉවසා ගන්න බැරි ප්‍රභූ පන්තියේ විවිධ බාධාවන් කරනවා.

නමුත් මේ රටේ ජනතාවට අපි කරගෙන යන වැඩ, සංවර්ධන කාර්යයන් ජාතික වශයෙන් වගේම අන්තර් ජාතික වශයෙන් තිබෙන ප්‍රශ්න විසදීම් සියල්ල ගැන දැඩි විශ්වාසය තබා තාබෙනවා. සියලූ බලවේග පරාජය කර, මේ රට යහපත් ගමනක් කරා ගෙනියන්න අපිට ශක්තියක් තියෙනවා.

මේ රට පින්වන්ත රටක්. මේ රටේ වැරැදි කරපු මිනිස්සුන්ට පවතින්න බැහැ. වංචාකාරයන්ට දූෂකයන්ට, හොරුන්ට, මිනීමරුවන්ට, රාජ්‍ය පාලනයට අතට අර ගෙන රාජ්‍ය බලයෙන් මහජන සම්පත් ගසා කාපු මිනිස්සුන්ට, රාජ්‍ය බලය පාචිචිචි කරලා මිනි මරපු මිනිස්සුන්ට මේ රටේ පවතින්න පුළුවන් කමක් නැහැ. දෙවියන්ගේ ආශිර්වාදය මේ රටට තිබෙනවා. ඒ වගේම මේ රට බෞද්ධ රටක් විදියට ඉතා පැහැදිලි ලෙසම සත්‍යය, යුක්තිය, සාධාරණත්වය පවතිනවා.

පොළොන්නරුව නගරයේ වකුගඩු රෝගීන් සඳහා වූ ජාතික රෝහල ලබන මාසේ පටන් ගන්නවා. ඒ ශ්‍රී ලංකා චින මිත්‍රත්ව රෝහලයි. එය ඇඳන් 500කින් සමන්විතයි. වකුගඩු රෝගීන් රටේ ප්‍රධාන රෝහල බවට පත්වෙන්නේ මේ රෝහලයි. මගේ ඉල්ලීමකට අනුව චින රජයෙන් ලබා දුන්න රෝහලක්.

මම ඉන්දීය රජයෙන් කළ ඉල්ලීමක් අනුව ඉන්දීය ශ්‍රී ලංකා මිත්‍රත්ව පාසල ද ඉදිවෙනවා. ඉන්දීය රජය සල්ලි දෙනවා. ඉන්දීය රජයමයි ටෙන්ඩර් කැඳවීම් කළේත් ඉන්දීය රජයමයි. දැන් ඒ වැඩ කටයුතුත් පටන් අරන්.

හිඟුරක්ගොඩ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉඩම පිළිබඳ ප්‍රශ්න කිහිපයක් තිබුණා. ඒ කටයුතුත් දැන් අපි විසඳා තිබෙනවා. ඒ නිසා හිඟුරක්ගොඩ ජාතික මට්ටමේ ක්‍රිකට් කී‍්‍රඩාංගණයක් ඉදිවෙනවා. ඒ කටයුතු ළඟදීම ආරම්භ කරනවා. මේ සියල්ල කරන්නේ මිනිසුන් වෙනුවෙන් යහපත් රටක් හදන්නයි. යහපත් සමාජයක් හදන්නයි.

මේ දිස්ත්‍රික්කය පුළුල්ව ඉහළම සංවර්ධන වූ දිස්ත්‍රික්කයක් බවට පත්කිරීමේ දී ඔබ සෑම කෙනෙක්ම දක්වන සහයෝගය මා ඉතාමත් අගය කරනවා

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එන්.කේ වරත්න, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත යන මහත්වරුන්, පළාතේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

පොළොන්නරුව දිසා සමූහ
ඇම්.පී. සරත්
ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න