විශේෂ කාර්ය බළකායේ ආරම්භය ගැන මතක සටහන් | දිනමිණ

විශේෂ කාර්ය බළකායේ ආරම්භය ගැන මතක සටහන්

වර්ෂ 1984 සැප්තැම්බර් මස වන විට මා එක්සත් රාජධානියේ (හැම්ප්ෂයර්) හි විශේෂ පුහුණුවක් ලබා සුළු අවි පරිහරණ නිලධාරියෙකු සේ සුදුසුකම් ලබා දිවයිනට පැමිණ ගතවූයේ කිහිප දවසකි. එම සැප්තැම්බර් 1 වන ඉරිදා දිනයක් විය. පිස්තෝලයෙන් වෙඩි තැබීමේ කණ්ඩායමේ වැඩි දෙනෙක් ප්‍රායෝගික පුහුණුව සඳහා ඉරිදා දිනයේ උදෑසනින් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ සිට වාහනයකින් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට යෑම සිරිතක් විය.

පසුකලක නියෝජ්‍ය පොලිස්පතින්වරුන් වූ එම්. ඩී. පෙරේරා, මුනි ගෝමස්, සුමිත් ලියනගේ සහ සර්නි විජේසූරිය යන මහතුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරින් වන දේව කොරයා සහ ටී. එච්. ඡායා සහ තව කිහිප දෙනෙක් මේ කණ්ඩායමේ වූ අතර එවකට ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පුත් රවි ජයවර්ධන මහතාද අප සමඟ එම රථයෙන්ම ගමනට නිතරම එක් වූහ. පුහුණුව ආරම්භ වීමට ප්‍රථම අපගේ ගිනි අවි පිරිසිදු කළ යුතුව තිබුණි. මේ කණ්ඩායමේ වූ සර්නි විජේසූරිය මහතා ගිනි අවිය පිරිසිදු කරන අතරතුර මා දෙස බලා විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ලෙස අද දින වැඩ භාර ගන්නා බවත් ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් කර ඔවුන් එහි ස්ථානය බාර නිලධාරියා ලෙස කෙනෙක් සොයමින් සිටින බවත්, පවසා ඒ සඳහා සුදුසුම පුද්ගලයා මා බවත් පවසා එයට සම්බන්ධ වන ලෙස යෝජනා කළේය.

ඒ වන විට දිවයිනෙන් බැහැරව එංගලන්තයේ සිටි නිසා විශේෂ කාර්ය බළකාය පිළිබඳ අවබෝධයක් ඒ වන විට මට නොතිබුණි.

හේතු දෙකක් නිසා ඊට වචනයක් නොදුන්නෙමි. එවැනි ඒකකයකට මා සම්බන්ධ වුවහොත් මා හට නැවතත් පුහුණුවීම්වල යෙදීමට සිදුවන නිසාත් මාගේ පවුලෙන් ඈත්ව පිට පළාත්වලට යෑමට සිදුවන නිසාත් මා එයට කැමැත්තක් නොදැක්වූයෙමි. එයට හේතුව මා විවාහ වී අවුරුදු 2ක් පමණ වූ අතර මාගේ එකම පුත්‍රයා දුෂාන්ත් අට මාසයක සිඟිත්තෙකි.

මා ඉලක්කයට වෙඩි තැබීමට ස්ථාන ගතවී සූදානම් වන විට මගේ වම් පසින් සිටියේ රවි ජයවර්ධන මහතාය. ඔහු එක්වරම මා දෙස බලා නිමල් ඔබ විශේෂ කාර්ය බළකායට සම්බන්ධවන සුබ ආරංචිය මට දැනගන්නට ලැබුණා යැයි පැවසුවේය. මා විදෙස් ගතවී සිට ටික දිනකට පෙර ආපසු පැමිණි බවත් පවුලෙන් බැහැරව දිගු කලක් සිටිනිසා ඒ පිළිබඳව රැකියාවක නියුතු මගේ තරුණ බිරිඳගෙන් විමසා බැලිය යුතු බවත් පැවසුවෙමි. නමුත් ඔහුගේ ඉල්ලීම ගැන නැවත සලකා බලන ලෙස ජයවර්ධන මහතා පැවසීය.

ඉලක්කයට වෙඩි තැබීමේ පුහුණුවෙන් පසු සවස් සමයේ, බම්බලපිටියේ මගේ නිල නිවසට පැමිණියෙමි. ඒ වන විට මම පොලිස් පරීක්ෂකවරයකු ලෙස කටයුතු කළෙමි. එම යෝජනාව පිළිබඳ මගේ බිරිඳට පැහැදිලි කරදී විශේෂ කාර්ය බළකායට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන බව මා පැවසුවෙමි.

අපගේ පුතා තවම සිඟිත්තෙක් නිසා, බිරිඳ රැකියාවට යා යුතුව ඇති නිසාත්, බොහෝ කලක් දිවයිනෙන් බැහැරව සිටි මා නැවතත් එසේ ඈතකට යාමට සිදුවුවහොත් ඇය හට එය දුෂ්කර කාර්යයක් වනු ඇත. මා විශේෂ කාර්ය බළකායට සම්බන්ධවීම පිළිබඳව ඇය පූර්ණ වශයෙන් විරුද්ධත්වයක් පෑවේද නැත.

පැයකට පමණ පසු ප.ව. 7.30ට පමණ ක්ෂේත්‍ර බළකායේ කමාන්ඩන්ට් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. බී. දිසානායක මහතාගෙන් ඔහුගේ කාර්යාලයට වහාම එන ලෙස දුරකථන ඇමතුමක් ලැබුණි. මම නිල ඇඳුමද ඇඳ පැලඳගෙන ඔහු හමුවීමට ඔහුගේ කාර්යාලයට ගියෙමි.

යාපනේ තින්නවෙලි හිදී, බිම් බෝම්බයකට හසුවී මරණයට පත් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සිව්දෙනෙකුගේ දේහයන් ගෙන ඒම සඳහා කටුනායක ගුවන් තොටුපළට යා යුතු බව ඔහු විසින් දන්වන ලදී.

මෙය මට උභතෝකෝටික ප්‍රශ්නයක් විය. මේ පිළිබඳව මගේ භාර්යාව කුමක් සිතයිද? මේ පිළිබඳව ඇයට පැහැදිලි කිරීමට ඉමහත් වෙහෙසක් දරන්නට සිදු විය. මා පොලිස් නිලධාරියෙකු වශයෙන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශිෂ්ට දස්කම් පෑ කෙනෙකු ලෙස මට ඉතා හොඳ අනාගතයක් ඇති බව පොලිස්පතිවරයාගේ සිට සෑම නිලධාරියෙක් ගෙන්ම මා හට සහයෝගය ලබා දී තිබිණි.

විශේෂ කාර්ය බළකායට සම්බන්ධවීම සඳහා ඇති උද්‍යෝගය අනුව මම එයට සම්බන්ධ වීමි. අනතුරුව බ්‍රිතාන්‍ය එස්. ඒ. එස්. නිලධාරීන් යටතේ පුහුණුවී‍මක් ලැබීමෙන් පසු කලවන්චිකුඩි කඳවුරේ අණ දෙන නිලධාරියා ලෙස 1984 මා පත් කරන ලදී. එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙකුව සිටි හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා කල්ලඩි කඳවුරේ අණ දෙන නිලධාරි ලෙස පත් කරන ලදී. ආරම්භයේ මඩකලපුව සහ අම්පාරේ දිස්ත්‍රික්කවල විශේෂ කාර්ය බළකා කඳවුරු දෙකක් තිබුණි. මෙය ඉතා භාරදුර රාජකාරියක් වූ අතර එය අප රටේ අඳුරු යුගයක් විය. 1980 දශකයේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනාධිපතිතුමාට දැඩි ආරක්ෂාවක් සැපයීමට සිදු විය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරක්ෂාව සඳහා වූ විශේෂ කාර්ය බළකා ඒකකයේ ප්‍රධානියා ලෙස මා පත් කරනු ලැබීය.

1993 වසරේ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ඝාතනයෙන් පසු අලුතින් පත්වූ අගමැතිතුමාගේ ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂක ලෙස මා පත් කරන ලද අතර මට ඒ තනතුරු දෙකම දැරීමට සිදු විය. කෙසේ වුවද ඒ තනතුරු දෙකම මා විසින් සාර්ථක ලෙස කරන ලදී. ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම සහ ඔවුන්ගේ තිප්පලවල් විනාශ කිරීමේදී භට කණ්ඩායම් මෙහෙයවීමට ඒවා සැලසුම් කොට නායකත්වය දැරුවේ මමය.

මඩකලපුවේ කන්ජිකුඩි ආරූහි 48 දරන ත්‍රස්ත කඳවුර, මයිලවට්ටුවානහි 46 දරන ත්‍රස්ත කඳවුර මා විසින් මෙහෙයවන ලද අතර කොක්කඩිචොලයිහි වූ බෙරුට් ත්‍රස්ත කඳවුරද මා විසින් මෙහෙයවන ලද ක්‍රියාන්විත තුළින් අප අත්පත් කරගත් අතර ඒවා ඉතා දරුණු සහ වැදගත් ත්‍රස්තවාදි තිප්පොළවල්ය. මේවා අතරින් සමහර මෙහෙයුම් ගුවන් මගින්ද කරන ලද අතර ඒවා ඉතා අවදානම්කාරි විය. නැගෙනහිර පළාත අපගේ පාලනය යටතට ගන්නාලද අතර 2008 වසර වනවිට ඒ ප්‍රදේශ අප පාලනය යටතට ගන්නා ලදී. ත්‍රස්ත විරෝධි මෙහෙයුම්වලට අමතරව ප්‍රභූ ආරක්ෂාවද සැපයීමට අප හට සිදුවූ අතර පාර්ලිමේන්තුව සපුගස්කන්ද, කැළණිතිස්ස බලාගාරය වැනි මර්මස්ථාන සඳහා ආරක්ෂක සැලසුම් සකස් කිරීමද මා හට භාරව තිබුණි.

මා කෙරෙහි පූර්ණ විශ්වාසය තබා මෙවැනි භාරදුර කාර්යයක් මා හට පැවරීම සම්බන්ධයෙන් රවි ජයවර්ධන මහතාට සහ සර්නි විජේසූරිය මහතාට මගේ ස්තූතිය පුද කරන අතර මෙවැනි වගකීම් විශේෂ කාර්ය බළකා ඒකකයේ සහ මේ රටේ ඉතිහාසයේ ලියැවෙනු ඇත. පසු කලෙක මගේ මේ භාරදූර කාර්යයේදී මාගේ බිරිඳ සහ දරුවන්ගෙන් ලද සහය සහ දිරි ගැන්වීම මා හට ඉමහත් ශක්තියක් විය.

ඉතා අවදානම් සහ වගකීම් සහිත භාරදූර අභියෝගයන්ට මුහුණ දීමේදී මහත් පීඩනයට ලක්වූ අවස්ථාවලදී ලැබුණු සහය ඉතා අගය කොට සලකමි. මේ සෑම කාර්යයකදීම විශේෂ කාර්ය බළකා ඒකකයේ සෑම තරාතිරමකම නිලධාරීන්ගෙන් මට ලැබුණු සහය සහ සහයෝගය අතිවිශිෂ්ටය.

විශේෂ කාර්ය බළකාය / පොලිස් නිලධාරීන් වන අප සතු වගකීම ඉමහත් කැපවීමකින් ඉටු කළෙමු. වර්තමාන සමාජයේ මහජනයා හට ඉතා සාමකාමී ලෙස කල්ගෙවිය හැකිවේ. අප විසින් ත්‍රස්තවාදය තුරන්කර මේ රට සාමකාමී ලෙස ජීවත්වීමට පරිසරයක් ගොඩනැගුවා සේම වර්තමානයේ දේශපාලකයින්ද කැපවීමකින් ජනාධිපතිතුමන් වටා රොක්වී අනාගත තරුණ පරපුරේ දියුණුව සහ සුබසිද්ධිය උදෙසා ක්‍රියා කරනු ඇතිය යනු අපගේ එකම පැතුමයි.

සාමය උදෙසා බොහෝ දෙනා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇති නිසා දේශපාලකයින්ද අප අනුගමනය කළ ආකාරයට ඉතා කැපවීමකින් තමාගේ වගකීම් ඉටු කරනු ඇතැයි විශ්වාස කරමි.

සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නම් අප අනුගමනය කළ ක්‍රියාමාර්ගය වන සුදුස්සා සුදුසු තැනට පත්කොට වගකීම භාරදිය යුතුය. සාර්ථකත්වයේ සංකේතය එය වනු ඇත. මෙය අපගේ අත්දැකීමයි.’

නිමල් ලෙව්කේ
පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණ දෙන නිලධාරි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

අදහස් 1ක් ඇත

meyalata yuda aprada nadu danawane,,,,,,,!

නව අදහස දක්වන්න