හුස්ම ගන්න කැන්වස් | දිනමිණ

හුස්ම ගන්න කැන්වස්

මදාරා මුද­ලිගේ

කැන්වසයක් මත අඳිනු ලබන සිතුවමක් මිනිස් ශරීරයක ප්‍රතිනිර්මාණය කිරීම කොතරම් සංයමයකින් කළ යුතුද?. එසේ නොවුණහොත් කොතරම් සුන්දර ශරීරයක් වුව ද අවලස්සන වීමට ඉඩ ඇත. ලොව ප්‍රකට චිත්‍ර ශිල්පීන් සහභාගී වූ මිනිස් ශරීර මත සිතුවම් ඇඳීමේ තරගය සහිත උත්සවයක් පිළිබඳව පුවතක් පසුගිය දිනක වාර්තා වී තිබිණි.

දකුණු කොරියාවේ '2017 ඩේගු ජාත්‍යන්තර බොඩි පේන්ටින් උළෙල' ( Daegu Festival) පසුගිය සති අන්තයේ පැවැත් විය. එදින දකුණු කොරියාවේ මෝස්තර නිරූපිකාවන් තම ශරීර මත සිතුවම් ඇඳගනිමින් තම තමන්ට අනන්‍ය වූ විවිධාකාරයේ නිරූපණ ඉදිරිපත් කළහ. මේ අවස්ථාව සඳහා වැඩිවශයෙන් ම සහභාගී වූයේ දකුණු කොරියාවේ සෝල් නුවර මෝස්තර නිරූපිකාවන් ය. එදින සිතුවම්වලින් වර්ණවත් වී සිටි නිරූපිකාවන් හැඳින් වූයේ ජීවමාන කැන්වස් යනුවෙනි. මෙය දකුණු කොරියාවේ කලා උත්සවයක් පමණක් ම නොව ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ දක්ෂතාවයන්ට නිසි ඇගයීමක් හිමිවන තරගයක් ලෙස ද ප්‍රකට ය. තව ද ආසියාවේ පළමුවැනි ශරීර සිතුවම්කරණ උත්සවය වශයෙන් ද මෙය හදුන්වනු ලබයි. ඩේගු ජාත්‍යන්තර බොඩි පේන්ටින් උළෙලට සමගාමීව ඔස්ට්‍රේලියාවේ සීබෝඩන් හි ද බොඩි පේන්ටින් උළෙල පවත්වනු ලැබේ.

රටවල් දහයක පමණ අත්දැකීම්වලින් පරිපුර්ණ දක්ෂ චිත්‍ර ශිල්පීන් මේ සඳහා සහභාගී වී ඇත. මේ සඳහා සහභාගී වන මෝස්තර නිරූපිකාවන් අවශ්‍ය පරිදි තම ශරීරයේ අවශ්‍ය ස්ථාන ආවරණය කර, ශරීරයේ සිතුවම් ඇදීම සඳහා චිත්‍ර ශිල්පියාට අවස්ථාව ලබා දේ. මිනිස් සිරුරේ දැඩි උෂ්ණත්වය හේතුවෙන් සිතුවම්වල ඉක්මනින් මැකී , වර්ණ දිය වී යා හැකි බැවින් තරග සංවිධායකයින් සෑම නිරූපිකාවක් සඳහාම ජංගම විදුලි පංකාවක් ලබා දී තිබේ. එමඟින් නිරූපිකාවන් තමන්ගේ අවස්ථාව පැමිණෙන තුරු ශරීර සිතුවම ආරක්ෂා කර ගනිති. චිත්‍ර ශිල්පීන් තම නිර්මාණයන් සඳහා නවකථාවල එන කථාන්දර,ෆැන්ටසි කථාන්දර හෝ වෙනත් සංකල්පයන් රැගත් තේමාවන් උකහා ගෙන ඇත.

දකුණු කොරියාවේ මෙම උත්සවය ප්‍රථම වරට ආරම්භ කර ඇත්තේ 2008 වර්ෂයේ දී ය. මෙහි දී ශරීර සිතුවම්කරණයට අමතරව සංගීත අංග, මැජික් සංදර්ශන, ගිනි කෙළි මුහුණෙහි චිත්‍ර ඇදීම ආදී සුවිශේෂී අංගයන් දැකගත හැකි විය. සිතුවමේ වර්ණය, මොස්තරය, මෙන් ම සංකල්පය මනාව නිරීක්ෂණය කරමින් අගනාම සිතුවම තේරීමට තරගයට සහභාගී වන විනිශ්චකරුවන් කටයුතු කරයි. මෙහි දී තරගකරුවන්ට සාධාරණ විනිශ්චයක් ලබා දී මුදල් ත්‍යාග ලබා දීමට කටයුතු සුදානම් කළ බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනු ලබයි.

"ඇත්තටම මිනිස් ශරීරයක් මත සිතුවමක් අඳින එක ලෙහෙසි පහසු වැඩක් නෙමේ. ඒ ඇදපු සිතුවම ඒ අයුරින් ම තබා ගන්න එකත් භාරදුර කාර්යයක්. මම පැය 06 පමණ කාලයක් ගත කරලා තමයි මගේ සිතුවම සම්පුර්ණ කළේ" ජපානයේ චිත්‍ර ශිල්පියෙක් වන ඉවසාකි මසාකාසු මාධ්‍යට ප්‍රකාශ කළේ ය.

"ඇත්තටම මට ගොඩාක් සතුටුයි මේ වගේ උත්සවයක් පවත්වපු එක ගැන. අපි වගේ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණශිලීත්වයි, සංකල්ප, දිහා බලලා තමයි චිනිශ්චකරුවන් තරගකරුවන්ට නිසි ඇගයීමක් සහ ත්‍යාග ලබා දෙන්නේ. මම මේ තරගය සංවිධානය කළ පිරිසට ස්තූතිවන්ත වෙනවා" ඉතාලි ජාතික චිත්‍ර ශිල්පිනියක වන ඇනා චපොලවෝ මාධ්‍යට පැවසුවා ය.

“මම ඇදුම් නොඇඳ සිටියත් මට හිතුණේ සිතුවම නිසා මුළු ශරීරයම සම්පුර්ණ වුණා කියලයි. ඇත්තටම මට මේ අවස්ථාව මතක හිටීවි “ යනුවෙන් ග්‍රීක කථාවක තේමාවකින් යුක්ත නිල්පාට සහ කොළ පාට වර්ණයන්ගෙන් යුත් සිතුවමක් තම ශරීරයේ ඇඳ සිටි මුලෙන්බර්ග් නමැති නිරූපිකාව මාධ්‍යට පැවසුවා ය.

අන්තර්ජාලය ඇසුරිණි.

නව අදහස දක්වන්න